page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / “තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම” – දුලාංජලී ප්‍රේමදාසය

“තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම” – දුලාංජලී ප්‍රේමදාසය

ජනපතිවරයකුට වඩා රණසිංහ ප්‍රේමදාස කියන ඔබගේ පියා ගැන දියණියක ලෙස ඔබේ මතකය කොහොමද?
මම කුඩා අවධියේ පටන්ම දැකපු එක දෙයක් තමයි මගේ පියා වැඩ ගොඩකට මැදිවුණු පුද්ගලයෙක් කියන කාරණය. ඔහුට තරම් වැඩ රාජකාරි තිබුණ කෙනෙක් මම අදටත් දැකලා නැහැ. මන්ත්‍රී කෙනෙක්, ඇමැති කෙනෙක්, අගමැති කෙනෙක් ලෙස පමණක් නොවේ ජනාධිපති කෙනෙක් විදියට ඔහු පුදුම කැපවීමකින් තමයි වැඩ කළේ.

මේ වැඩ රාජකාරි මැද ඔබත්, සජිත් සමග පියෙකු ලෙස ගත කරන්න ඔහුට කාලයක් තිබුණාද?
තාත්තාට ඒ මොන රාජකාරි තිබුණත් අයියටයි මටයි බෙහෙවින් ආදරය කරන්න වෙලාව තිබුණා. ඒ ආදරය කවදාවත් වචනවලට සීමා දෙයක් නොවෙයි. උදාහරණයක් හැටියට පාසල් නිවාඩු කාලය ආවහම තාත්තා අපිව හැම තැනම එක්කගෙන යනවා. යාල බලන්න යනවා. මේ වගේ ලංකාවේ සෑම පළාතකම ඇති වැදගත් තැන් බලන්න අපිව එක්කරගෙන යනවා. ඒ විතරක් නොවෙයි සමාජයට මුහු වෙන්නේ මොන විදියටද කියන කාරණයත් කියලා දුන්නා.

තාත්තාගේ දේශපාලනය ගැන ඔබට තිබෙන මතකය කොයි වගේද?
මට තාත්තගේ දේශපාලනය ගැන මුල්ම මතක සටහන තියෙන්නේ 1977 මැතිවරණයත් එක්කයි.

එතකොට ඔබේ වයස.?
මගේ වයස අවුරුදු හයයි. මැතිවරණ රැලි එක්ක තාත්තටත් රට වටේම යන්න සිදුවුණා. ඒ ගමන්වලට මාත් අයියාත් අම්මාත් එකතු වෙනවා. මේ රැස්වීම්වල දී මට මතක එක් දෙයක් තමයි තාත්තගේ කතාව තියෙන්නේ අන්තිමටයි. මේ අතර වේදිකාව ළඟම බෝම්බ පුපුරන වෙලාවල් වගේම වහින වෙලාවලුත් තියෙනවා. ඒ මොකක් වුණත් මිනිස්සු ගෙදර යන්නේ නැහැ තාත්තගේ කතාව ඉවර වෙනකම්. ඉතින් මම ඒ වෙලාවට අම්මට කියන කාරණයක් තමයි අනේ තාත්තට ඉක්මනට කතා කරන්න කියන්න එතකොට අපිට ගෙදර යන්න පුළුවන්නේ කියලා. ඒ වෙලාවට ළඟ ඉන්න අය කියනවා එහෙම බෑ බේබි තාත්තගේ කතාව අහන්න තමයි මිනිස්සු ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා ඉක්මනට කතා කළොත් මිනිස්සු රැස්වීම දාලා යනවානේ කියලා. පස්සේ තමයි මට තේරුණේ මිනිස්සුන්ගේ කතාව ඇත්ත කියලා.

පුංචි කා‍ලේ කරපු දඟ වැඩවලට තාත්තගෙන් මතක හිටින ආකාරයේ දඬුවම්, එහෙම ඔබට ලැබිලා ඇති
තාත්තා කෙනෙක් දරුවෙක්ගේ වැරැද්දකට දඬුවමක් දුන්නාම ඒක මතක තබාගෙන සිටින දෙයක් ‍නෙවෙයිනේ. මගේ තාත්තා රටට ජනාධිපති වුණාට එයා මට මගේ තාත්තා. සමහර වෙලාවට මට ඔය කියනාකාරයේ දෙයක් මතක නැතිව ඇත්තේ මම දඟ වැඩ එදා නොකරපු නිසා වෙන්න ඇති. අපට තාත්තා අවවාද දුන්නට අරම කරන්න මෙහෙම කරන්න මේ විදියට ඉන්න ඕනේ කියලා නියෝග දීලා නැහැ. ගොඩක් දේවල් අපටම අවබෝධ කර ගන්න ඉඩ දුන්නා.

පවුලක් විදියට ඔබ හතර දෙනා අතර පැවැති බැඳීම කොහොමද?
දරුවෝ දෙමාපියෝ කියන ගෞරවය අප දෙපාර්ශ්වය අතර පැවැතුනා. පියාට වැඩ රාජකාරි බොහෝමයක් පැවතියත් ඔහු අපිව තනි කළේ නැහැ. පුළුවන් තරම් අපත් සමග ගත කළා. හැකි හැම වෙලාවකම තාත්තා අපිව ඒ ගැන උනන්දු කළා. ඒ විතරක් නමෛයි අපිව හුරතල් කළා. තාත්තා ගෙදර ඉන්න වෙලාවට නිතරම අපි දෙන්නාම ළඟට අරගෙන අත්දෙකට තුරුලු කර ගන්නවා. වයසින් වැඩෙද්දී මම තාත්තට ගොඩක් ළංවුණා. ඒකට හේතුව තාත්තයි මමයි එක විදියට හිතන අය කියලා තමයි මම නම් හිතන්නේ. තාත්තා නිතරම කිව්වේ මං වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක් නොවන විදියට ඔළුව කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියට කියලායි.

තාත්තා නැති වෙනකම්ම මං හිටියේ ‍පොඩි බබෙක් වගෙයි. තාත්තා මට කතා කළෙත් බේබි කියලා. දවසේ තුන් වේලම අපි පුළුවන් විදියට එකට කෑම කෑවා. තාත්තා එළවළුයි බතුයි කන්නේ. ‍පොල් සම්බෝලයි, පරිප්පුයි ඔහුට නැතුව බැහැ. තාත්තා කෑම කන්නේ අපිවත් ළඟට අරගෙනයි. ඇත්තටම තාත්තා අනලා කවන බත් කට තරම් රස බත් කටක් අදටත් මම කාලා නැහැ. තාත්තා මිය යන තුරුම අපිව දැක්කේ පුංචි දරුවෝ විදියටයි. බේබි මෙහෙට එන්න කියලා සමහර දවස්වලට පැය බාගයක් විතර මාව තුරුලු කරගෙන ඉන්නවා. ඒ බැඳීම් මතක් වෙද්දී තාත්තා නැතුව අපි මෙතරම් කාලයක් ගත කළා නේද කියලාත් හිතෙනවා.

ඔබගේ පියා ඝාතනය වන විට ඔබ කොහේද හිටියේ..?
තාත්තා මිය ගියා කියන පණිවුඩය ලැබෙන කොට මමයි රොහානුයි (සැමියා) හිටියේ සතියක නිවාඩුවකට එංගලන්තයට ගිහිල්ලයි. මුලින්ම දුරකතනයෙන් මට පණිවුඩය දුන්නේ බෝම්බයක් පිපිරිලා තුවාල වූ තාත්තාව එස්.ටී.එෆ්. එකෙන් ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා කියලායි. මට කෙහොමත් හිතුණේ නැහැ තාත්තාට මේ වගේ දෙයක් වෙලා ඇති කියලා. මට හිතුණෙම තාත්තාව එස්.ටී.එෆ් එකෙන් අරන් ගියා කියලා විතරයි.

ඊට පස්සේ මොකද වුණේ.?
ඇත්තටම තාත්තගේ මරණයෙන් පස්සේ ඇති වුණ දුක කවදාවත්ම අපේ හිත්වලින් අයින් කරන්න බැහැ. තාත්තා මේ රටට කරපු වැඩ කොටස ජනතාවගේ සිත් තුළ තවමත් තියෙනවා. මට මතකයි තාත්තා මිය යන්න කලින් දවසේ මට කතා කරලා ඇහුවා “බේබි පෙළපාළියේ ඇවිදින්න එනවද කියලා. මට ඒ ගමන යන්න බැරිවුණේ මගේ මහත්තයා රොහාන් තව දවසක් එංගලන්තේ ඉඳලා යමුයි කියලා කිව්ව නිසයි. කොහොමවුණත් මේ තාත්තගේ අන්තිම දවස් ටික කියලා දැනගෙන හිටියා නම් මම ඔහු ළඟින් හෙල වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියා නම් මම හරි ඔය බෝම්බෙට පනිනවා. මම එදා ආවානම් තාත්තත් එක්කම ඔය ගමන මටත් යන්න වෙනවා.

ඔබේ පියා දේශපාලන දිවියේදී බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්න කෙනෙක්. ඒ අවධියේ ඔහු කටයුතු කළේ කුමනාකාරයකටද?
ඇත්තටම තාත්තගේ ජීවිතේ හැම දෙයක් තුළම අපට ඉගෙන ගන්න පාඩමක් තිබුණා. දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තිබුණත් තාත්තා ඒ ප්‍රශ්නය හමුවේ කලබල වුණේ නැහැ. තාත්තා ඕනම දෙයක් මැදහත් සිතින් විසඳගන්න සමත් පුද්ගලයෙක්. තමන්ගේම අය විරුද්ධකම් කළත් ඔහු නොසැලි ජනතාව වෙනුවෙන් සේවය කළා. ගම්උදාව කරද්දී ඉතාම කඩිසරව දුවලා පැනලා ඔහු ඒ කටයුතු කළා.

තාත්තා අද හිටියා නම් ඔහු ගැන ඔබේ තක්සේරුව කුමක්ද?
රටට හොඳක් කරන්න මිසක් තාත්තට අවශ්‍ය කළේ අපට හම්බ කරලා දෙන්න නොවෙයි. ඔහු සැබෑ දේශපාලනඥයෙක්. ජනතාවාදී නායකයෙක්. තමන්ට මුකුත් නැතුව රටට වැඩකරනවා කියන්නේ ඔහු නියමාකාරයෙන්ම දේශපාලනය කරනවා කියන එකයි. ඔහු හොඳ තාත්තා කෙනෙක්. මගෙයි අයියගෙයි විතරක් නොවෙයි මුළු රටටම ඔහු තාත්තා කෙනෙක් වුණා.

-ලසන්ත වීරකුලසූරිය

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!