page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / cancer / පියයුරු පිළිකා මට්ටු කරන ශාකමය ආහාර මෙන්න

පියයුරු පිළිකා මට්ටු කරන ශාකමය ආහාර මෙන්න

පියයුරු පිළිකාවක්‌ යනු පියයුරු සෛලවල හටගන්නා පිළිකාවකි. එය සාමාෙන්‍යයන් ක්‌ෂීර ග්‍රන්ථි නාළවල ඇතුළත හෝ ඛණ්‌ඩිකාවල හෝ හටගත හැකි ය. පියයුරු පිළිකාවක්‌ ශරීරයේ වෙනත් තැන්වලට ද පැතිරිය හැකි ය. පියයුරු පිළිකා, කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ට ද ඇති විය හැකි අතර කාන්තාවන්ට ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ය.

බොහෝ විට අවුරුදු 50-60 වයස්‌ කාණ්‌ඩයේ කාන්තාවන්ට පියයුරු පිළිකා ඇති වීමේ වැඩි අවදානමක්‌ පවතියි. මේ පිළිකා වර්ගය ඇති වීමට ස්‌ථිර හේතුවක්‌ නම් කළ නොහැකි වුව ද ප්‍රවේණික හා ජානමය හේතු, වයස සහ හෝර්මෝන ප්‍රතිස්‌ථාපන චිකිත්සාව (Hormone Replacement Therapy- HRT) බොහෝ විට පාදක විය හැකි ය.

පියයුරු පිළිකා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පිළිකා මරණ සඳහා දෙවැනි ප්‍රධානතම හේතුව වේ. එසේ වුව ද මෙය නිසි අවස්‌ථාවේ ප්‍රතිකාර කිරීම මඟින් සාර්ථක ව මර්දනය කළ හැකි පිළිකාවකි. එම නිසා මේ තත්ත්වයට ඉක්‌මනින් සාර්ථක ප්‍රතිකාර කිරීම ඉතා අත්‍යවශ්‍ය ය. පිළිකා සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ සාම්ප්‍රදායික ව භාවිත වන ප්‍රතිකාර ක්‍රම වන්නේ ශල්‍යකර්ම (Surgery), ප්‍රතිපිළිකා රසායනික ඖෂධ චිකිත්සාව (anti-cancer chemotherapy), හෝර්මොන ප්‍රතිකාර (Hormone therapy) හා විකිරණ ප්‍රතිකාර වේ.

එනමුදු මේ ප්‍රතිකාර මඟින් කෙටිකාලීන හා දිගුකාලීන අතුරු ආබාධ ඇති විය හැකි ය. අතීතයේ සිට ම ආසියාතික රටවල පිළිකා සඳහා ශාකමය ප්‍රතිකර්ම ලබාගැනීමේ ද ප්‍රවණතාවක්‌ පැවතිණි. අතුරු ආබාධ අවම ශාකමය ඖෂධ මඟින් පියයුරු පිළිකාවලට සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකි ද යන්න ගැන පර්යේෂණ කිරීමට අද විද්‍යාඥයන් ගේ වැඩි නැඹුරුවක්‌ දක්‌නට ලැබේ.

ශාකවල ඵල, පොතු, කොළ, මුල්, මල් හෝ මුළු ශාකයේ ම ඖෂධීය ගුණ ඇති අතර ඒවා විවිධ පිළිකා මැඩපැවැත්වීමට යොදාගත හැකි ය. ශ්‍රී ලංකාවේ ද ශාකමය කොටස්‌ පිළිකා මර්දනය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිත කරනු ලැබේ. සමහර ආයුර්¨වේද ඖෂධවල කාර්යක්‌ෂමතාව (effectivenes) සායනික ව සහ විද්‍යාත්මක ව සනාථ කර නැති වුව ද එම ඖෂධ මඟින් විවිධ පිළිකා මර්දනය කළ හැකි බව වෙනත් නොයකුත් වාර්තාවලින් සනාථ වී ඇත.

නිසුනක්‌ ලෙස ශාක රසායනික (Phytochemicals) අඩංගු ආහාර අනුභවය මඟින් පිළිකා අවදානම අඩු කරගත හැකි බව අනාවරණය වී ඇත. මූලික වශයෙන් ශාක රසායනික අඩංගු පලතුරු හා එළවළුවල ප්‍රතිඔක්‌සිකාරක (antioxidants) ගුණ ඇත. එය පිළිකා සෛල මර්දනයට හා ප්‍රගුණනය අත්හිටුවීමට (antiproliferative) උපකාරී වේ.

පලතුරු හා එළවළු ගණනාවක පිළිකා මර්දන ශාක රසායනික අඩංගු බවට සාධක පවතියි. උදාහරණ වශයෙන් ස්‌ට්‍රොaබෙරි (Strawberry) හා රාස්‌බෙරි (Raspberry)වල ඇති එලගික්‌ අම්ලය (Eකක්‌ටසජ aජසා) බලසම්පන්න පිළිකා මර්දන කාරකයක්‌ ලෙස හදුනාගෙන ඇත. එම අම්ලය MCF-7 පියයුරු පිළිකා සෛල බෙදීම හා වර්ධනය කාර්යක්‌ෂමව මැඩපවත්වන බව අනාවරණය වී ඇත.

මෑතක දී කරන ලද පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවට ආවේණික වූ අඹ ගසේ (Mangifera zeylanica) පොත්තෙහි ඇති ද්විතීයික පරිවෘත්තීය සංඝටක පිළිකා සෛල සඳහා අහිතකර වේ. පිළිකා මර්දන ශාක රසායනික අඩංගු අනෙකුත් එළවළු හා පලතුරුවලට උදාහරණ කිහිපයක්‌ ලෙස ලූනු (Allium sp), සුදු ලූනු (Alliumsativum), ගෝවා, බ්‍රොකෝලි, මල් ගෝවා (Brassia oleracea L), කරවිල (Momordica charantia‌), කටුපිල (Flueggea leucopyrus), බෙලි (Aegle marmelos), පැපොල් (Carica papaya), ආත්තා (Annona reticulata) දැක්‌විය හැකි ය.

පියයුරු පිළිකා මර්දනය කරන ශාක රසායන අඩංගු පලතුරු අතරින් දෙළුම් (Punica granatum)වලට හිමි වන්නේ විශේෂිත ස්‌ථානයකි. දෙළුම් ගෙඩියේ සියලු ම කොටස්‌වල එනම් ඵලාවරණය, බීජ, මල් සහ පිට පොත්තේ පිළිකා මර්දන හැකියාවක්‌ ඇති බවට සනාථ කර ඇත.

ඉහත සඳහන් දෙළුම් ගෙඩියේ කොටස්‌වල සාරය (extract) MCF-7 පියයුරු පිළිකා සෛලවලට බලපාන අයුරු පරීක්‌ෂණ තත්ත්වයේ පවතින අතර එය කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය මඟින් සිදු කරනු ලබයි. දැනට ලැබී ඇති දත්ත අනුව දෙළුම් ගෙඩියේ පොත්තෙන් ලබාගන්නා සාරය වැඩි ම පිළිකා සෛල ප්‍රතිප්‍රගුණන (antiproliferative) හැකියාව පෙන්වයි.

ආචාර්ය චමින්ද්‍රී විතාරණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඉන්දික කරුණාතිලක
වෛද්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලය

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!