page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සුව අරණ / ඔබට නොදැනිම ඔබේ සිරුරට ඇතුළුවන වසකාරක ගැන දැන්ම දැනගන්න

ඔබට නොදැනිම ඔබේ සිරුරට ඇතුළුවන වසකාරක ගැන දැන්ම දැනගන්න

නිවසේ සකස් කළ ආහාර පරිභෝජනය තුලින් ඔබ සීයට සීයක් ආරක්ෂිතය යන හැඟීම ඔබට ඇති විය හැකිය. මේවන විට ආහාරයක තිබෙන ආවේණික රසය ඉක්මවා පොල් සම්බලයක් තුළ වුවත් කුකුළු මස් රසය සොයන තැනටම නිවසේ ආහාර සකස් කරන්නියන්ද පත්ව සිටින අවස්ථා හමුවෙයි. ආහාරයක රසය පිළිබඳ අප දන්නේ එයට ආවේණික වූ රසය අප විඳ ඇති බැවිනි.

මේ නිසා දෑස වසා අපට ආහාර කැවූවත් අප මේ කන්නේ පොළොස්ද මස්ද නැති නම් මාලු ද යන්න අඳුනාගැනීමට තරම් රස පිළිබඳ දැනුමක් අප ලබා ඇත්තේ එවන් අනන්‍යතාවයක් සෑම ආහාරයක් තුළම පවතින බැවිනි. ආහාර සකස් කරන්නට පැරැන්ණන් යොදාගත්තේ ස්වභාවික කුළු බඩු ය.

ඒවා විෂ වී කිසිවෙකුත් ප්‍රතිකාරගත් බවක් අද වන තුරුත් අප අසා නැති නමුත් දැන් දැන් ආහාර විෂ වීම් සම්බන්ධයෙන් ඇසෙන පුවත් බහුලය. ආහාරවලට රසකාරකයන් එක්වෙන්නට පටන්ගත් දා පටන් සිදුවන මේ වසකාරක එක්වීම බහුලව සිදුවූයේ කඩ කෑම තුළින් වුවත් දැන් දැන් ගෘහණියන්ද ගෙදර පිසින කැමට මුදල්ගෙවා ලබාගත් වස එක්කරවීම මෝස්තරයක්වී තිබේ. අද සෞඛ්‍ය පිටුව වෙන්වෙනුයේ ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමුකරවීමටයි.

රස, යනු අපගේ සිරුරේ සංවේදන ඉන්ද්‍රියයන්ගෙන් එකක් වූ දිව අත්විඳින සංවේදනයකි. දිවේ යම් යම් ස්ථාන මෙසේ විවිධ රසයන් අපට දැන්වීමට සමත්ව පිහිටා තිබෙයි. එයින් අප රසයන් සේ සැලකුවහොත් පැණි රස සහ ලුනු රස තිත්ත රස ප්‍රමුඛව දැවිල්ල සීතල උනුසුම යන දැනීම් සමග බැදී පවතින්නකි.

ලුනු ඇඹුලක් ඇතිව කැම ටිකක් කන්නට ඕනෑ යන්න, අතීතයේ ජන සමාජගතව පැවති හොඳ අදහසකි. නමුත් නාගරීකරණය වෙන්න වෙන්නට බටහිර ආහාර රටාවට නැඹුරුවෙන්නට වෙන්නට මේ ආහාර කුසගින්න නිවිම සඳහාය යන අරමුණට වඩා රසය හා දිව පිනවීම යන අරමුණ වෙත යොමුවිම තුළ විවිධ විෂ වර්ග ඔස්සේ රසකාරක යන සංකල්පය එළිදැකීම ආහාර තුලින් වස ශරීරගත කිරීම පමණක් නොව ආහාර හේතුකොට ගෙන විවිධ බෝ නොවන රෝග වෙත ලංවන්නට මිනිසා හුරු පුරුදුව සිටියි.

මෙයිනුත් වඩාත් නැඹුරුව ඇති රසයන් දෙක වනුයේ පැණි රස සහ ලුණු රසයි. මේ හැරෙන්නට මේදය සහිත ආහාර නැති නම් තෙලින් බදින ලද ආහාර වෙත වැඩි නැඹුරුවක් දැක්වීම නිසා බෝ නොවන රෝගවලට අමතරව ෆැටී ලිවර් නැතිනම් අක්මාවේ තෙල් තැන්පතු ඇතිවීම මෙන්ම එයට අමතරව කොලෙස්ටරෝල බැඳීම නිසා රුධිර නාල අවහිරවීම දියවැඩියා තත්ත්ව අධි රුධිර පීඩනය සහ පිළිකා රෝග මේවන විට ඉතාම බහුලව පවතී. ආහාර රසකාරක ලෙස මෙරටට පැමිණි මෙවැනි වස කාරක අතර ලංකාවේ බහුලම වස කාරකය ලෙස නිරන්තරයෙන් කතාබහට පක්වනුයේ එම් එස් ජී නැතිනම් මොනොසෝඩියම් ග්ලූටමේටි නම් ලුණු රසයක් පදනම් කරගත් රසකාරකයයි.

මේ රසකාරක පැමිණෙන්නට පළමු අපේ ගෘහණියන් ආහාර රසට පිසින්නියන් බවට පත්ව සිටියේ නැතිද? කහබතක් එළවළු බතක් රසට පිසින්නට ඉගෙන සිටියේ නැතිද? අපි නම් මේ අසවල් රසකාරකය දාන්නේ නැහැ. කඩෙන් කෑම කන්නෙත් නැහැ.

වළවළු බතක් හදනවා නම් ( ප්‍රයිඩ් රයිස් එකක්) අපි හදන්නේ ඒවා මුකුත් නොදා. නමුත් ඉතිං ඒකෙ රස පොඩ්ඩක් වැඩිවෙන්න සුප් කැටයක් නම් දානවා. ඒවා හදනවාය කියන්නෙත් කුළු බඩු ආදිය එකතු කරලා කුකුල් මස්වලින්මලුනේ.? යැයි සිතන බොහෝ දෙනා ඒතුළ තිබෙන මොනොසෝඩියම් ප්‍රමාණය ගැන සිතන්නේම නැත.

සුප්කැට පමණක් නොව බොහෝ විට ඔබ නොදැනුවත්වම මේ වසකාරකය ඔබ වෙළඳ පොළෙන් ගෙනෙන දරුවන්නට අරන් දෙන බොහෝ ආහාරවල අන්තර්ගතය. ඔබ එය හඳුනන්නේ මොනොසෝඩියම් ග්ලූටමේට් ලෙස වුවත් එම් එස්. ජී. යනුවෙන් යොදා ඇත්තේත් මෙම රසකාරකයම බව බොහෝ දෙෙනකු නොදනී.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ආසියාතික රටවල කළ පර්යේෂණයන් සම්බන්ධයෙන් කතාබහක් නැතත් ඇමරිකාවේ නොර්ත් ඊස්ටර්න් විශ්වවිද්‍යාලය විසින් කළ පර්යේෂණයකට අනුව එම්. එස්. ජී. යනු මද සරුභාවය කෙරෙහි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මහත් බලපෑමක් ඇතිකරන සංයෝගයක් බව සොයාගෙන ඇත.

මේ රසායණිකය වඳභාවයට මෙන්ම ලිංගික බෙලහීනභාවයට හේතුකාරක සපයන ස්නායු කෙරෙහි ප්‍රභලව විෂවන පිළිකා කාරකයක් සේ ක්‍රියාකරන ආහාර ආකලනයක් බවට එම පර්යේෂකයන් විසින් අණාවරණය කර ඇත. ඔවුන් පවසන අන්දමට පුරුෂයින්ගේ ශුක්‍රාණුවල සරුභාවය සියයට පණහකින්ද ස්ත්‍රීන්ගේ ගැබ්ගැනීමේ හැකියාව සියයට පණහකින්ද මෙමගින් අඩුකරන බව මෙහි ඇති තවත් කතාවකි.

මොනොසෝඩියම් ග්ලූටමේට් යනු ආහාරවල රසය යාමනය කරන රසකාරකයකි. අප මෙහිදී ආරමිභයේම පැවසූ පරිදි දිවේ රස අංකූර නැතිනම් රස හඳුනාගන්නා සෛල උත්තේජනය කිරීම එයින් කරන කාරියයි.

මොනොසෝඩියම් ග්ලූටමේටි යනු ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීම සඳහා නැතිනම් පරිභෝජනය සඳහා උසිගන්වන ඇබ්බැහිකාරකයෙකි. එවැනි ආහාරයක් ගත් පසු කෙනෙකු දිගින් දිගටම එම ආහාරම සෙවීමට උත්සහ දරනුයේ ඒ ඇබ්බැහිවීම හේතුවෙණී.

බොහෝදෙනෙකු මේ වසකාරකය භාවිතයට ගන්නේ එකම ක්‍රමයකින් නොවේ අපි මේවා ආහාරවලට දමන්නේ නැහැ යැයි කීවත් වෙළඳ පොළෙන් මිලදී ගත හැකි ස්වභාවික ආහාර රසකාරක, අනුමත රසකාරකයන් සේ හඳුන්වන රසකාරක, දියුණු කළ ආහාරමය පිෂ්ටය, මස් වර්ග ආදිය පිසිමේදී සීසනිං ලෙස නැතිනම් පදම්කාරක ලෙස යොදන මිශ්‍රණවල ,අන්තර්ගතය බොහෝ විට මොනෝ සෝඩියම් ග්ලූටමේට්ය.

අපි නම් අරවා කෑම වලට දමන්නේ නැතියි ඔබ වගකීමෙන් පැවසුවද අවසානයේ ඔබ වෙනත් ආකාරයකින් ඒවා ආහාරයට එක්කර ගෙන ඇත්තේ එවැනි දේ තුළ අඩංගුව ඇත්තේ මොනවාද යන්න එතරම් සොයා නොලබන බැවිනි.ඇසුරුම් කළ එවැනි රසකාරක ඇසුරුම්වල මෙම රසකාරකය වෙනත් ආකාරවලින් සඳහන් වන්නේ මෙසේය.

ආහාර ඇහුරුමේ එහි අඩංගු දෑ මොනවාද යන්න සඳහන්වන ස්ථානය දෙස හොඳින් බලන්න. එහි අඩංගු E අංක ලෙසත් සඳහන්ව පැවතිය හැකිය. E අංකය 620 සිට 637 දක්වා ඇත්තේද ග්ලූටමේටිහි නෑයන්ය. මේ අංක දෙස හොඳින් බලන්න.

E 620 – glutamic acid
E 621 – monosodium glutamate
E 622 – mono potassium glutamate

මේ ආකාරයෙන් දක්වා ඇත්නම් එයින් කියවෙන්නේද එහි අප මේ කියන රසායණිකය අඩංගු බවයි. මේ ආකාරයෙන් ඔබ නොදැනුවත්වමත් ඔබට මේ රසකාරකය ශරීරගතවන්නට අවස්ථාවක් තිබේ. කොත්තු ප්‍රයිඩ්රයිස් පමණක් නොව සමහර කට්ලට් ,පැටිස්, රෝල්ස් ,නිෂ්පාදකයන්ද ඒවාට පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට මේ රසකාරකය යොදති.

ඇතැම් බේකරි නිෂ්පාදනවලටද මේවා හොර රහසේ රිංගා තිබෙන අතර කාර්යබහුලතාවය පිළිබඳ පැමිණිලි කරමින් කෙටි ආහාර සංස්කෘතියකට අප පුරුදුව සිටින්නේ මේ වසකාරක පරිභෝජකයන්ව පෙරමුණේ සිටිමිණි.

එහෙයින් අප පරිභෝජනයට ගන්නා කෙටිකෑම සමහරෙක අඩංගු දෑ මොනවාද යන්න ලේබල් කියැවීමටද අවස්ථාවක් නොපවතී. ඒ මික්ෂර් බයිට් පැකට්, මුරුක්කු පැකට් වැනි දෑ තුළය. මේවා ආහාරයට ගත් පසු ඔබට කිසියම් දිනක අධික පිපාසයක් ඇතිවී තිබේද? ඇතැම් විට හිසරදයක්, කැස්ස සහ කරකැවිල්ල ඔක්කාරගතියක්, බඩපිපුමක් වැනි දෙයක් ඇතිවී නම් එයට හේතුව අධි මාත්‍රාවකින් ඔබේ සිරුර තුළට මොනොසෝඩියම් ග්ලූටමේට් නම් රසායනිකය එක්වීමෙණී.

කිසියම් ආහාරයක එම් එස් ජී යන රසායණිකය ග්‍රෑම් දශම පහකට වඩා වැඩියෙන් පැවතීම හානිකර යැයි පැවසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරිදේශය වනුයේ ළමුන්ගේ නැතිනම් ළදරුවන්ග් ආහාර සඳහා මොනෝ සෝඩියම් ග්ලූටමේට් කිසිවිටක අන්තර්ගත නොවිය යුතු බවයි. නමුත් ඇතැම් සැන්ඩ්විච් ස්ප්‍රෙඩ්ස් ආදි දරුවන් ප්‍රියකරන ආහාර සංයෝගවලට මේවා යෙදීම සකස්කළ මස්වර්ග ආදියට යෙදීම තුළින් දරුවන්ට මෙම වසකාරකය ඇතුළුවීම සිදු විය හැකිය.

බොහෝ මවුවරු හෝටලවලින් මිලදී ගෙනෙන ප්‍රයිඩ් රයිස් ආදිය දරුවන්ට කෑමට නොදී නිවසේ එම ආහාර හදන්නට ඉදිරිපත්වන අතර ඒ හදන විට යහමින් සුප් කැටදෙක තුනක් යෙදීම සිරිතක් කොට ගෙන සිටී. ශ්‍රී ලාංකික ආහාර කලාව තුළ කොතැනකවත් කවදාවත් සුප් කැට යැයි දෙයක් තිබී නැති අතර සුප් එකක් සඳහා හැම විට යොදා ගනු ලැබුවේ ස්වභාවික ආහාර රසකාරකයන්වන කොත්තමල්ලි, සූදුරු මහදුරු ,කුරුදු, ගම්මිරිස් ,උළුහාල් වැනි දෑය.

ඒ නිසා ඒ ආහාර ගත් පසු කිසිවෙකුට ක්ලාන්තය හිසරදය ආදී ඒ කියූ කිසිම ලක්ෂණයක් ඇතිවෙන්නටද ඉඩක් නොතිබිණි. දරුවන් විවිධ ආහාරවලට කැමති බව සැබෑය. නමුත් මවක් වශයෙන් තම දරුවාගේ ආහාරය වස විස වලින් තොරව සකසා දීමට දැනුවත්ව සිටිය යුතුය.

ඇතැම් දරුවන් මේවා යෙදූ ආහාර නිසා නිතර කැස්ස ඇතිවී එය ඇදුම යැයි වටහාගෙන ඊට විවිධ ඖෂධ ලබාගන්නා අවස්ථා අප කොතෙකුත් දැක තිබේ. මොනෝ සෝඩියම් ග්ලූටමේට් යනු ඔබේ මිතුරෙකු නොවේ. නොදන්නා යකාට වඩා ඔබ දන්නා යකුන්වන අප රටේ කුළු බඩු ආහාර රසකාරක ලෙස යොදනවා විනා මෙවන් රසකාරක හරහා විවිධ රෝග කැඳවා ගැනීම අත්හැර දමන්න.

-පෝෂණවේදී රෝෂාන් දෑල බණ්ඩාර, අද පුවත්පත ඇසුරින්

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!