page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / School girls / අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන පුංචි දියණිය

අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන පුංචි දියණිය

වෙලාව දවල් 1.30යි. ඉස්කෝලෙ ඇරෙන්න ළඟයි. ඉස්කෝලෙ අරිනකල් මේ අම්මට ඉවසුමක් නැහැ. ඒ තමාගේ පණ සරි දියණිය එනකල්.

අම්මා ඉන්නේ බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඇඳක් මත. එයාට නැගිටින්න බැහැ. ගොත ගහන්නේ නැතිව කතාකරන්නත් බැහැ. එයා අංශභාග රෝගියෙක්. දුව දැන් ඉගෙන ගන්නේ බල්ලකොටුව සුගත විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ.

දියණියගේ නම ආර්.එම්. නිමේෂා (12). අම්මාගෙ නම මාලනී (46).

ඉස්පිරිතාලේ ඉඳන් අම්මාට සාත්තු කරන ගමන් ඉස්කෝලෙ යන මේ පුංචි කෙල්ල දකින්න තවත් පැය දෙකක පමණ කාලයක් ඉස්කෝලෙ අරින්න තිබුණ නිසා, මම ඇය එන තෙක් රෝහලේ ඇති අසිරිය වින්දා.

මේ රෝහල නම් හරියට අසරණයන්ට සරණ වෙන්නේ පන්සලක් වගේ.

මම එහි යනවිට ධර්ම දේශනයක් පැවත්වෙමින් තිබුණා. නේවාසික රෝගීන් වගේම බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි සියයකට වැඩි පිරිසක් මේ ධර්ම දේශනාවට සහභාගිවෙලා හිටියා.

රෝහලේ ඉන්න එකම දොස්තර මහත්තයා වන කැලුම් මනම්පේරි මහත්තයා මෙන්ම අට දෙනකු වන සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම ධර්ම දේශනාවට සහාභාගි වී සිටියා.

ඊට පස්සේ තමයි වැඩ පටන් ගත්තේ. සමහරු කොටනවා. සමහරු අඹරනවා. තවත් සමහරු මිරිකනවා.

මේ තම රෝගීන්ගේ බෙහෙත්, පවුලේ ඥාතීන් විසින්ම සාදා ගන්නා අපූරුවයි.

වෛද්‍ය කැලුම් මෙන්ම ටී.එම්. අමරසිංහ මහත්තයා නිරන්තරයෙන් මේවාට උපදෙස් දෙමින් බෙහෙත් හදන හැටි පරීක්ෂා කරනවා.

ඒ අතරේම තමයි වෛද්‍ය කැලුම් කඩියෙක් වගේ දුව පැන පැන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

හරිම පුදුමයි මේ කැපවීම.

මම නිහඬවම හෝරා දෙක තුනක් මේ සිතට වදින දසුන් නැරැඹීමෙන් පසු වෛද්‍ය කැලුම් එක්ක කතා කළා.

මුලින්ම ඇහුවෙ රෝහලේ ඉන්න අම්මයි දුවයි ගැන.

කැලුම් මහත්තය සියලු වැඩ මොහොතකට නතර කර ඉරිදා ලංකාදීපයට විස්තර කිව්වා.

“නිමේෂා කියන 12 හැවිරිදි මේ දිරිය දැරිය ගැන මුලින්ම දැනගන්න ලැබුණේ, මගේ මිතුරකු වන වැලිමඩ (ජෙමිණි) ගාමිණි විජය බණ්ඩාරගෙන්.

මෙයාලා ඌව පරණගම මැදවෙල මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව හා ජනමාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කරල තියෙනවා.
හේම නලින් මහත්තය එය මෙහෙයවන ගමන් අහලා තියෙනවා, අම්මාට උදව් කරන දූලා ඉන්නව ද? කියලා.

ඒ වෙලාවේ මේ ළමයා කියල තියෙනවා මම උදෙන්ම නැගිටලා තේ හදනවා. ඊට පස්සේ අම්මාගේ මූණ සෝදවලා, වැසිකිළි යවලා, කෑම හදලා අම්මටත් කන්න දීලා, ඉස්කෝලේ යනවා කියලා.

ඒ වෙලාවේ කාටවත් අදහන්න බැරි වෙලා.

අම්මාගේ අසනීප තත්ත්වය සුවපත් කළොත් මේ දරුවා මෙන්ම මව ද ගොඩගත හැකි බැවින් උදව් කරන්න කියල හේම නලින් මහත්තය මගෙන් ඉල්ලීමක් කළා.

මේක මහා පින්කමක්. අපි සැණින් තීරණයක් ගත්තා, මේ දරුවා සහ මව බලන්න යන්න. මාත් එක්ක අමරසිංහ මහත්තයත් විජය බණ්ඩාර මහත්තයත් මැදවෙල විදුහලේ විදුහල්පති රත්නායක මහත්තයත් ඌවපරණගම ලුණුඅටුගම පදිංචි මේ අම්මයි දුවයි සොයාගෙන ගියා.

ඒ යද්දි විදුහල්පතිතුමා තවත් දුක්බර කතාවක් කිව්වා.

“මැදවෙල කනිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා මහා විද්‍යාලයට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දවසේ අනෙක් ළමයි දෙමාපියන් සමග ඇවිත් හිටියත් මේ ළමයා ඇවිත් හිටියේ තනියමයි.

මේ ළමයා තනියම අදාළ ලිපි ගොනුව ඉතා නිවැරැදිව සකස් කර තිබුණා.

හරිම දක්ෂ ළමයෙක්. අපි ඇහුවම මේ ළමයා මේ සියලු විස්තරය කියද්දි, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සියලු දෙනාගේ දෑස තෙත් වුණා.

ඊට පස්සෙ අපි ගුරු මණ්ඩලය රුපියල් සියය ගණනෙ එකතු කරලා මාසිකව පරිත්‍යාගයක් කළා.” යැයි විදුහල්පතිතුමා කිව්වා.
“අපි මේ ගෙදරට ගියාම, මේ දැරිය කරන මහා කාර්ය භාරය ඇස් දෙකටම දකින්න ලැබුණා.

ඒක නම් හිතාගන්නත් බැරි තරම් වූ මාතෘ පූජාවක්.

අම්මා ලෙඩ ඇඳේ පසුවෙද්දි සියලු ඇප උපස්ථාන කරන්නේ මේ දියණියයි.

අපි කොහොම හරි මේ දෙන්නාම ගොඩගන්න ඕනැ කියන අධිෂ්ඨානය ඇතිව ආපසු ආවා.

මම මගේ ප්‍රධානියා වන ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිව්. දිසානායක මහත්තයට මේ විස්තරේ කිව්වම එතුමත් කිව්වා කොහොම හරි උදව් කරමු කියලා.

අපි ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහත්තයටත් මේ විස්තර කිව්වම, එතුමා බොහොම උනන්දු වෙලා, මේ අම්මයි දුවයි දෙන්නම රෝහලේ නතර කරගන්න අවශ්‍ය නීතිමය අවසරය ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය හරහා ලබාදෙන්න පියවර ගත්තා.”

“ඉන්පසු අම්මයි දුවයි මෙහාට ගෙනැල්ලා, අම්මා මේ රෝහලේ දියණියත් එක්කම නතර කරලා, දුව රෝහලට නුදුරින් තියෙන බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයට ඇතුළත් කළා” යැයි ද වෛද්‍ය කැලුම් කීවේය.

මම දෙමහල් වාට්ටු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට පිටත බැලුවෙමි.

පාසල නිමවී ගෙදර යන සිසුන්ගෙන් මහ පාර පිරී ගියේය.

ඔවුන් සිය නිවෙස් බලා යද්දී මා සොයමින් සිටි ආදරණීය කෙල්ල රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වී අම්මා සිටින වාට්ටුව වෙත දිව ගියාය.

කැමරාව අටවා ගෙන මම ඇය පසුපසින් දුවගෙන ගියෙමි.

ලෙඩ ඇඳේ සිටින අම්මාගේ මුහුණ සිනාවෙන් ආලෝක විය. දියණිය ඇඳටම ගොස් අම්මා බදාගෙන සිපගෙන සිපගෙන ගියාය.
“ඔහොම තමයි හැමදාම ඉස්කෝලේ යන්න කලිනුත් මේ විදියටම හාදු දෙනවා” යැයි අසල ඇඳන්වල සිටි රෝගීන් මා සමග පැවැසුවේ සංවේදී සිතිනි.

අම්මාට කෑම දී තමා ද ආහාරය ගෙන පාසලේ දී නියම කළ ගෙදර වැඩ කිරීමට මෙම දැරිය පුරුදු වී සිටින්නීය. ඒ සඳහා මේසයක් පුටුවක් ඇතුළු සියලු පහසුකම් ද සපයා තිබේ.

ඇය රාත්‍රී නින්දට යන්නේ ද අම්මාගේ උණුසුමේය.

මේ දිරිය දියණිය නිමේෂා අපට කීවේ මෙවැනි කතාවකි.

“අපේ තාත්තා නැහැ. අම්මයි මමයි අපේ ගෙදර ඉන්දෙද්දි උදේ 5ට නැගිටල, කෑම උයලා, අම්මට කවලා අම්ම සෝදලා තමයි ඉස්කෝලෙ ගියේ.

මම අම්මට හරිම ආදරෙයි.

කැලුම් ඩොක්ටර් අන්කල් අපි දෙන්නම මේ ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ මට හිතුණා මේ කරන්නේ මොන තරම් ලොකු පරිත්‍යාගයක් ද කියලා.

මම මැදවෙල ඉස්කෝලේ ඉන්දෙද්දි පන්තියේ 4 වැනියා. ඩොක්ටර් අන්කල් කියල තියෙන්නේ කොහොම හරි මේ පාර පළමු වැනියා වෙන්න කියලා. දැන් මම පළමු වැනියා වෙන්න උත්සාහ කරනවා” යැයි නිමේෂා දියණිය කීවාය.

“මම කොහොම හරි මේ අම්ම සනීප කරනවා. ඊට පස්සේ අම්මගෙයි දුවගෙයි අනාගතය සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” යැයි වෛද්‍ය කැලුම් කීවේ මා ඔවුන්ගෙන් සමුගන්නා මොහොතේදීය.

බදුල්ලේ
පාලිත ආරියවංශ
ලංකාදීප

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!