page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / election / “ඔක්තෝබරයෙන් පසු ඡන්දයට සූදානම් වෙන්න” – මැකෝ – වැඩියෙන් බැනුම් මටයි

“ඔක්තෝබරයෙන් පසු ඡන්දයට සූදානම් වෙන්න” – මැකෝ – වැඩියෙන් බැනුම් මටයි

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩියෙන්ම බැණුම් අහන පුද්ගලයා තමා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

ඡන්දය කෝ මැකෝ යනාදී ප්‍රකාශ සටහන් කරමින් ෆේස්බුක් ගිණුම හරහා මෙන්ම කෙටි පණිවුඩ හරහාද තමන්ට පණිවුඩ ලැබෙන බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි දේ පවා පණිවුඩ ලෙස ලැබෙන බවද කීවේය.

රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත කොට පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් කැමැත්ත පළ කළ බවද ඒ මහතා කීවේය.

ඡන්ද කොට්ඨාස ගණනය කිරීම හා සීමා නිර්ණය ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවත් පළාත් පාලන ඡන්ද පනතේ පැවැති තාක්ෂණික දෝෂ නිවැරදි කර ගැනීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනා බවත් ප්‍රකාශ කළේය.

ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ අවශ්‍යතාවය වුවත් පනතේ ගැටලු මත ඡන්දයක් කැඳවීමේ හැකියාවක් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් කීවේය. ඡන්දය නොපවත්වන බව පවසමින් දිනකට පණිවුඩ හා සටහන් පහක් හයක් ලැබෙනා බව පැවැසූ සභාපතිවරයා තරුණයන්ට සිය කේන්තිය ප්‍රකාශ කිරීමේ අයිතිය සලකා නිශ්ශබ්දව සිටින බවද කීවේය.

පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණද ඔක්තෝබර් මාසයෙන් පසු පැවැත්විය හැකි බැවින් ඡන්ද රාජකාරි කටයුතු සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන්ට සූදානමින් සිටින ලෙස දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඡන්ද නිලධාරීන් කැඳවීමේ චක්‍ර‍ලේඛය ජූලි 1දා නිකුත් කරනා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඡන්ද රාජකාරි සඳහා සහභාගි කරගන්නා නිලධාරීන් සංගණනය කරනා බවද හෙතෙම පැවැසීය.

රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය. ඡන්ද මධ්‍යස්ථාන ලැයිස්තුද මේ වන විට සකස් කර අවසන් බවද ඔහු පැවැසීය.

නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන් හි නිල කාලය සැප්තැම්බර් මස අගවන විට අවසන් වන බව පැවැසූ සභාපතිවරයා නිල කාලය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ දින ප්‍රකාශ කිරීමේ බලය හිමිවන බවද පැවැසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්විය හැකි අතර එය නැවැත්විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හා ජනමත විචාරණයකින් පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත වී ඡන්දය ප්‍රකාශ කළහොත් ඡන්දය පැවැත්වීමට දින 75ක කාලයක් අවශ්‍ය වන බවත් පළාත් සභා ඡන්දය දින 55ක් තුළ පැවැත්විය හැකි බවත් සභාපතිවරයා කීවේය.

පළාත් පාලන මැතිවරණයට හා පළාත් සහ මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙන බවද ඒ මහතා පැවැසීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!