page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / රාජපක්ෂලා ඇති කළ තවත් සාපයකට යහපාලනය ආණ්ඩුව වන්දි ගෙවයි | ViDEO

රාජපක්ෂලා ඇති කළ තවත් සාපයකට යහපාලනය ආණ්ඩුව වන්දි ගෙවයි | ViDEO

රට ගැන නොසිතා තම සාක්කුවට වැටෙන මුදල සහ තම ඌෂාර් එක ගැන පමණක් සිතා රාජපක්ෂලා විසින් කළ කී සියළු ක්‍රියාවන්ගේ පව් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවට ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, සයිටමය ආදී සියළු ප්‍රශ්න එවැනි ඒවා වන අතර යහපාලන ආණ්ඩුව විසින් ඒවාට යම් විසඳුමක් ගෙණෙන විට රාජපක්ෂලා විසින් ඊටද විරෝධතා දක්වමින් අකුල් හෙළති. සයිටම් විරෝධතා එහි හොඳම උදාහරණය වෙද්දී ඊයේ එවැනි තවත් විරෝධතාවයක් බණ්ඩාරවෙල පැවැත්විණ. ඒ නම් රාජපක්ෂලා විසින් තම ගම් පළාත වූ හම්බන්තොට ට වතුර ගෙන යෑම උදෙසා, නියමිත පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කරන ලද උමා ඔය යෝජනා ක්‍රමය හේතුවෙන් විවිධාකාරයෙන් විපතට පත් වූවන් දඩ මීමා කරගෙන ජවිපෙ මෙහෙයැවීමෙන් බණ්ඩාරවෙල නගරයේ පැවැත්වූ විරෝධතාවයයි.

“උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ“ නමැති සංවිධානයකින් පැවැත්වූ මෙම විරෝධතාවයට බණ්ඩාරවෙල ව්‍යාපාරික සංගමය, තොග වෙළද සංගමය, පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද සහාය දැක්වූහ. බණ්ඩාරවෙල, වැලිමඩ , ඇල්ල, හාලි ඇල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන්හි පීඩාවට පත්වූ පිරිස් මීට සහභාගී වූ අතර නගරයේ කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබිණ. පාසැල් වසා දමා තිබිණ. විරෝධතා කරුවෝ බණ්ඩාරවෙල නගරය මධ්‍යයේ රැස්වීමක් ද පැවැත්වූහ. (උද්ඝෝෂනයේ අවස්ථා සේයාරූ වල දැක්වේ)

මෙය ආණ්ඩු විරෝධී මෙන්ම පළාතේ ජනප්‍රිය එජාප නායකයා වන හරීන් ප්‍රනාන්දුට විරෝධය පෑමක් සේ දකින්නට ලැබුණු නමුදු මෙම විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය රාජපක්ෂලා විසින්, නියමිත පරිසර වාර්තා නොමැතිව ආරම්භ කරද්දීම ඊට විරෝධය දැක්වූයේ හරීන් ඇතුළු එදා විපක්ෂයේ සිටි එජාපය යි. අද වීරයන් වී සිටි බොහෝ දෙනා එදා දකින්නටවත් සිටියේ නැත.

හොර පරිසර වාර්තාව හැදුවේ චම්පික: මුල්ගල තිබ්බේ නිමල් සහ චමල්

සත්‍ය වශයෙන්ම 2008 දී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරද්දී මුල් ගල් තැබූ පිරිස අතර නිමල් සිරිපාල ද සිල්වා ද, චමල් රාජපක්ෂ ද, ඩිලාන් පෙරේරා ද වූ නමුත් අද ඔවුන් සුදනන් ය. රාජපක්ෂලාගේ බල කිරීම මත අසම්පූර්ණ හොර පරිසර වාර්තාවක් ඉදිරිපත් කෙළේ අන් කිසිවෙකු නොව එදා පරිසර ඇමැති වූ චම්පික රණවක ය. එම හොර වාර්තාව සැකසූ අනෙක් පුද්ගලයා නම් අද රාජපක්ෂලා සමග එකතු වී ‘විද්‍යාඥයා‘ සේ පම්පෝරි කෙළින එදා පරිසර ලේකම් වූ චරිත හේරත් ය.

රාජපක්ෂලා දන්නා පරිසර විද්‍යාවක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය වූයේ හම්බන්තොට ට කොහෙන් හෝ කෙසේ හෝ වතුර ගෙන ගොස් වීරයන් වීමය. මේ සඳහා මුදල් සොයා ගත්තේ මුළු ලෝකයෙන්ම කොන් වී සිටින ඉරානයෙනි. එය ඩොලර් මිලියන 578 ක් තරම් විශාල මුදලක් විය. එය හම්බන්තොට වරායටත් වඩා විශාල වියදමකි. උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරන්නේ ද ඉරානයේ නොදියුණු තාක්ෂණයෙනි.

1991 දී ප්‍රතික්ෂේප කළ එකක්

උමා ඔයේ ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යාමේ පළමු සැලැසුම සකස් වූයේ 1991 දී ය. එය සකස් කැරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඒ වාර්තාව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වෙනවා කියා එම ව්‍යාපෘති වාර්තාව ප‍්‍රතික්ෂේප කෙරිණ. නමුත් එවැනි සදාචාරවත් දේ අහලාවත් නැති මැදමූලන ගොබ්බ වාහේලා ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ සල්ලි වලින් ව්‍යාපෘතිය ආරම්භ කෙළේය. ලංකාවෙන් යොදවන මුදල රු.මිලියන 400 ක් වැනි සොච්චමක් වන අතර රාජපක්ෂලාගේ කාලයේ දීම එම මුදල් ගෙවා ඉරාන මුදල් ද රැගෙන ගහ ගන්නා කොමිස් කුට්ටිය ගහ ගෙන, යහපාලන ආණ්ඩුව එන විට ව්‍යාපෘතියෙන් සියයට 50 ක් විතර අහවරද කර තිබිණ.

මෙම ව්‍යාපෘතියේ අසීරු කාරිය නම් කිලෝ මීටර් 15 ක් දිග උමගක් හරහා ජලය ගෙන යෑමයි. දැන් එහි කිලෝ මීටර් 10.2 ක වැඩ අහවරය. නමුත් අවාසනාවකට යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු සිදුවූයේ නොදියුණු උපකරණ මගින් උමග හෑරීමේ දී ඇති වන කම්පනයන් නිසා භූගත ජල තට්ටුව රඳා පවත්නා පාෂාන ස්ථරය පැලී යාමයි. ඉන් භූගත ජලය කාන්දු වීම ආරම්භ විය. ජල කාන්දුව කොතෙක් විශාල ද යත් එය තත්ත්පරයට ගැලුම් 978 ක් හෙවත් විනාඩියකට ගැලුම් 58000 ක් තරමි විශාල විය. ඒ සමග බණ්ඩාරවෙල අවට මහජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ජලය පොළොවෙන් අතුරුදහන් වන්නට විය. ලිං සිඳී ගියේය. වගාවට අවශ්‍ය ජලය නැති විය. රාජපක්ෂලා හම්බන්තොට සරු කරන්නට ගොස් බණ්ඩාරවෙල ජනතාවට මරු කැඳෙව්වේය. ඉරාන කාරයන්ගේ නොදියුණු උපකරණ වලින් සිදුවන අති විශාල කම්පනය නිසා මතුපිට පොළොව ඉරිතලා ගියේ ය. ඊට කම්පනය පමණක් නොව පෙර කී භූ ගත ජල ස්ථරය කාන්දු වීමෙන් ඇතිවන හිදැස වසා ගැනීමට ඉහල පස් ස්ථරය පහතට බැසීමද හේතු විය. ඒ මත ඉදි කළ නිවාස ඉරි තලා විනාශ විය. මීට ඉහත කොත්මලේ වැනි වාරි යෝජනා ක්‍රම වලදී උමං ඉදිකර තිබුනේ තේ වතු යටින් වන නමුදු අනෙක් මිනිසුන්ගේ ජීවිත තඹ දොයිතුවකට නොතකන රාජපක්ෂලා විසින් මේ උමං ගෙන යෑම සැලසුම් කෙළේ ජනාකීර්ණ ප්‍රදේශ යටින් ය. එබැවින් නිවාස ඉරි තැලීම අධික විය. එය මේ වන විට නිවාස 3800 ක් පමණ වේ.

සියයට 70 ක් නිමා කළ ව්‍යාපෘතියක් වහන්නද?

යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමග හරීන් ප්‍රනාන්දුගේ මැදිහත් වීම මත මෙම උමා ඔය ව්‍යාපෘතිය නතර කර දැමුවද ඒ වන විට සියයට 50 ක් පමණ නිමා කර තිබූ ව්‍යාපෘතියක් නතර කර දැමීමෙන්ද සිදුවන සුගතියක් නැත. දැන් මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට 70 ක් පමණ නිමා කර තිබේ.

යහපාලන ආණ්ඩුව විසින් ගණන් බැලූ පසු මෙම ව්‍යසනය බලපාන සියළු ජනතාව 10,000 ක් පමණ වේ. ඒ ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩුව මැදිහත් විය. විනාශ වූ නිවාස සඳහා වන්දි ගෙවීමට රු.මිලියන 500 ක් වෙන් කෙරිණ. බණ්ඩාරවෙල තිබෙන රජයේ නිල නිවාස 70 කට අධික ප්‍රමාණයක් නිවාස අහිමි ජනතාවගේ පදිංචිය සඳහා නොමිලේ ලබා දුන්නේ ය. තවත් නිවාස අහිමි වූ පිරිස් වලට තාවකාලිකව වෙනත් නිවසක විසීමට නිවාස කුලියක් ලබා දුන්නේ ය. නමුදු ප්‍රශ්නය වන්නේ නිවාස වලට වූ විනාශය තක්සේරු කිරීමට යන නිලධාරීන්ට එය අහවර කර ගැනීමට නොහැකි වීමයි. මන්ද දිනපතා විනාශ වන නිවාස ගණන ඉහල යන්නේ ය. එම නිසා වෙන් කෙරෙන මුදල් මදි වන්නේ ය.

බීමට අවශ්‍ය ජලය නොමැති වූ පවුල් 2800 කට පානීය ජලය ලබා දීම සඳහා යහපාලන ආණ්ඩුව වෙනම ජල ව්‍යාපෘතියක් හැදීම ආරම්භ කෙළේය. ඒ සඳහා ද රු. මිලියන 378 ක් වෙන් කෙරිණ. දැන් එම ව්‍යෘපෘතිය ආරම්භ වී තිබේ. එතෙක් දින දෙකකට වරක් බවුසර් මගින් පානීය ජලය සැපයේ. දිනෙන් දින පානීය ජලය අහිමි වන පවුල් සංඛ්‍යාව ඉහල යෑම නිසා ජනතාවට ලැබෙන ජලය මදිය.

වගාවට අවශ්‍ය ජලය නැති වීමෙන් වගා හානි වන ජනතාවට ජීවත් වීමට ද වන්දි මුදල් ගෙවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. නමුත් බොහෝ මිනිසුන් වගා කර ඇත්තේ අනවසර ඉඩම් වලය. එබැවින් හානි තක්සේරු කරද්දී තක්සේරු නිලධාරීන් අවුලකට පත්වේ. නමුත් මෙතෙක් ප්‍රශ්නයක් නොමැතිව ජීවත් වූ ජනතාවකට ජීවත් වීම ප්‍රශ්නයක් වී තිබේ.

එබැවින් ඊයේ මහජනතාව දහස් ගණනින් පක්ෂ පාට බේදයෙන් තොරව බණ්ඩාරවෙල විරෝධතාවයට පැමිණ සිටියහ.

අවශ්‍ය මොනවද හැම දෙයක්ම මං දෙන්නම්

පෙරේදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ ප්‍රශ්නය ඉහලින්ම සාකච්ඡා කෙරිණ. ජනාධිපතිවරයා පළාතේ ඇමැතිවරයා වූ හරීන් ප්‍රනාන්දුට කියා සිටියේ ‘අවශ්‍ය මොනවාද කියන්න, මං ඒ හැම දෙයක්ම දෙන්නම්‘ කියා ය. දැන් උමා ඔය ව්‍යාපෘතිය නතර කරන්නටද නොහැකිය. කරගෙන යන්නටද නොහැකිය.

කෙසේ වෙතත් කැබිනෙට්ටුව මේ ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලදී. දෛවයේ සරදමකට මෙන් එදා රාජපක්ෂලාගේ බල කිරීමට අසම්පූර්ණ පරිසර වාර්තාවක් ලබා දුන් චම්පික රණවක ද ඊට ඇතුලත්ව සිටියේ ය. විජිත් විජිතමුණි සොයිසා සහ මහින්ද අමරවීර අනෙක් දෙදෙනා වෙති.

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ඉංජිනේරු මහතෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ භූගත ජල ධාරකයේ පැල්ම නිසා සිදුවන ජල කාන්දුව උමං මග නිමා වී ජලයෙන් පිරුණු පසු වසර දෙකක දී පමණ යලි යථා තත්ත්වයට පත් වනු ඇති බවයි. එවිට නිවාස ඉරි තැලීම් නිමා වනු ඇති බවයි. නමුත් එතෙක් ජනතාව විඳින දුක නිමා කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ යුතුය. රාජපක්ෂලා ඇති කළ සාපයෙන් මහජනතාව ගලවා ගත යුතුය.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-(ලංකා ඊ නිව්ස්)

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!