page hit counter
Monday , December 18 2017
Breaking News
Home / buddhism articles / බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?

බුදු රදුන්ගේ ශ්‍රී දේහයට ගිනි අවුළවන්න මල්ල රජදරුවන්ට නොහැකි වුණේ ඇයි?

ලොව පහළ වූ සියලුම බුදුවරුන් අතරෙන් අල්ප ආයුෂ ප්‍රමාණයක් වැළැඳූ බුදුවරයකු වන්නේ ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේය. ගිහිගෙයින් නික්මී දුෂ්කර ක්‍රියා කොට, පසුව මැදුම් පිළිවෙත අනුගමනය කළ උන්වහන්සේ ලෝ සතුන් දුකින් මුදා ගැනීමේ අරමුණින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු රදහු අසූ වැනි වියට එළැඹෙන තුරුම භික්‍ෂු ශාසනය ව්‍යාප්ත කරමින් දුක් සයුරේ ගිලුණු ලෝක සත්ත්වයා දුකින් මුදාලූහ. ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹුන්, මිනිසුන්, සත්ත්වයන් සසර දුකින් මුදාලූ අප තථාගතයාණන් වහන්සේගේ අවසන් කාලවකවානුව එළැඹියේ අසූ වැනි වියට වැඩමවීමත් සමඟයි. දිනක් බේළුව නම් වූ ග්‍රාමයේ වස් සමාදන් වූ බුදු රදුන්ට “ලෝහිතපක්ඛන්දිඛා” නම් වූ දරුණු රෝගය වැලඳිණි.

අසීමාන්විත වූ සමාපත්ති බලයෙන් එම දරුණු රෝගය තාවකාලිකව යටපත් කරගත් උන්වහන්සේ වස් පවාරණය කොට බේළුව ගමේ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙර බලා වැඩම කළ සේක. එහි වැඩම කළ බුදු පියාණෝ උන්වහන්සේගේ අනුගාමික භික්‍ෂුන් වහන්සේ රැස් කොට “මහණෙනි, තව නොබෝ දිනකින් මාගේ පරිනිර්වාණය සිදු වන්නේය” යනුවෙන් වදාළහ. එයින් හටගත් අධික සිත් තැවුලෙන් අනුගාමික භික්‍ෂුහු උන්වහන්සේගේ ශ්‍රී පාද ගෞරවයෙන් වන්දනාමාන කළෝය. ඉන්පසු විසාලා මහනුවර චාපාල නම් වූ චෛත්‍යස්ථානයට වැඩම කළ බුදු පියාණෝ ආයු සංස්කාර අතහැර භික්‍ෂුන් වහන්සේට ධර්මය දේශනා කොට අදින් තුන් මසකට පසුව තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා සිටියහ.

විසාලා මහනුවරින් නික්මී භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම නමැති ගම්වලට වැඩම කළ උන්වහන්සේ ග්‍රාමීය ජනයාට ධර්මය දේශනා කරමින් පාවා නමැති නුවරට වැඩම කළහ. පාවා නුවරට වැඩම කළ බුදුන් වහන්සේ සඳහා චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද දානය වැළැඳීමෙන් පසුව යටපත්ව තිබූ ලෝහිත පක්ඛන්දිඛා රෝගය යළිත් ඉස්මතු විය. සිය පරිනිර්වාණ සමය එළැඹී ඇති බව බුදු ඇසින් දැක ගත් උන්වහන්සේ සිය අනුගාමික භික්‍ෂුන් සමඟ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට අයත් උපවත්තන සල් උයනට වැඩම කොට අනඳ තෙරුන් ලවා සල් වෘක්‍ෂ දෙකක් මධ්‍යයේ උතුරට හිස දමා ඇඳක් සකස් කර ගත්හ. උතුරු ප්‍රදේශයට හිස පිහිටන සේ සිංහ සෙය්‍යාවෙන් ඇඳෙහි සැතැපුණු උන්වහන්සේ යළි නොනැඟිටීමටද අදිටන් කර ගත්හ.

දහස් සංඛ්‍යාත සංඝයාද තථාගතයාණන් වහන්සේ සැතැපී වැඩ සිටින ඇඳ වටා රැස් වී දොහොත් මුදුන් තබා වැඩ සිටි අතර දහස් සංඛ්‍යාත දෙවි දේවතාවෝද අවසන් වරට බුදු රදුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණියහ. දිව්‍ය මලින්, දිව්‍ය ගන්ධයෙන් උපවත්තන සල් උයන සුවඳවත් කළ දෙව් බඹුහු බුදුරදුන් වන්දනාමාන කළහ. එදින රාත්‍රියෙහි පූර්ව යාමයේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මල්ල රජ දරුවන්ට සහ දහස් සංඛ්‍යාත ජනයාට ධර්මය දේශනා කළ අතර මැදියම් රාත්‍රියේ සුභද්‍ර නමැති පරිබ්‍රාජකයා දමනය කොට ඔහු පැවිදි මඟට ඇතුළත් කරගත්හ.

අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ආශීර්වාදයෙන් පැවිදි දිවියට සම්ප්‍රාප්ත වූ අවසන් භික්‍ෂුව වන්නේ සුභද්‍ර භික්‍ෂුවයි. අනතුරුව බුදු හිමියෝ රැස්ව සිටි සංඝයා වෙත හැරී “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් දේශනා කළහ. “මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනියත බැවින් අප්‍රමාදීව කටයුතු කරන්න” යනු එහි සිංහල තේරුමයි. සිය අනුගාමික සංඝයාට අවසන් අවවාදය දුන් උන්වහන්සේ ධ්‍යානයන්ට සමවැදී ඉන් මිදී අලුයම් කාලයේදී අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ සේක. එකෙනෙහිම මහා ගිගුරුම් හඬක් නැඟී අකල් වර්ෂාවක් ඇද හැලුණු අතර පොළෝ ගර්භය දෙදරවමින් මහා භූමිකම්පාවක්ද හටගත් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
දහස් සංඛ්‍යාත සංඝයාගේද, දෙව් බඹුන්ගේද, ජනයාගේද, සත්ත්වයන්ගේද සෝ තැවුල් මැද මහා පරිනිර්වාණයට පත් වූ බුදුරදුන් නමින් සොබා දහමද කම්පා විය. පිරිනිවන වූ දින සිට පුරා දින සතක් තථාගත ශ්‍රී දේහය මල්ල රජ දරුවන් විසින් අප්‍රමාණ පූජාවට පත් කරනු ලැබූ අතර සත් වැනි දින බුදුන්ගේ ශ්‍රී දේහය මකුටබන්ධන නමැති චෛත්‍ය පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කෙරිණ.

ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මල්ල රජදරුවන් විසින් තථාගත ශ්‍රී දේහය අලුත් චීවරයකින් වෙළන ලදී. අනතුරුව නැවැතත් චීවරය මතු පිටින් කපු පටලයක් වෙලූහ. නැවැතත් අලුත් චීවරයකින් ශ්‍රී දේහය වෙලූ අතර මේ අයුරින් චීවර පන්සියයක්ද, කපු පටල පන්සියයක්ද බුදු පියාණන්ගේ ශ්‍රී දේහය වටා එතූ අතර අනතුරුව තථාගත ශ්‍රී දේහය රන් දෙණක තැන්පත් කරන ලදී. ශ්‍රී දේහය තැන්පත් කළ රන් දෙණ මතුපිටින් තවත් රන් දෙණක් තැන්පත් කොට නේකවිධ සුවඳ දරවලින් චිතකයක් සාදා රන් දෙණ එම චිතකයේ තැන්පත් කළහ.

දස දහස් පිරිවරින් සමන්විත සංඝයා වහන්සේද, දෙවි දේවතාවන්ද, ජනයාද බලා සිටියදී මල්ල රජ දරුවෝ සිවු දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදු වස්ත්‍ර හැඳ චිතකය දැල්වීමට උත්සාහ කළහ. එහෙත් කෙතෙක් වෙහෙසුණද තථාගත ශ්‍රී දේහයට ගිනි නොඇවිළිණි. ඉන් පසු මල්ල රජදරුවෝ අට දෙනෙක් ස්නානය කොට පිරිසුදු වී සුදුවතින් සැරසී ශ්‍රී දේහයට ගිනි ඇවිළීමට උත්සාහ ගත්හ. එහෙත් කිසිදු පලක් නොවූ අතර චිතකය නොදැල්විණි. අනතුරුව මල්ල රජදරුවන් දහසය දෙනකු, තිස් දෙදෙනකු ආදී වශයෙන් චිතකය දැල්වීමට උත්සාහ කළද චිතකය නොදැල්විණි. මෙයින් අතිශය විස්මයට පත් වූ මල්ල රජදරුවෝ දිවැස්බලයෙන් පිරිපුන් භික්‍ෂුන් වහන්සේ අතර අගතැන්පත් අනුරුද්ධ මහතෙරුන්ගෙන් මේ පිළිබඳ විමසූහ.

“ස්වාමීනී, චිතකය නොඇවිළීමට හේතුව කුමක්ද?”
“රජදරුවනි, එයට හේතුවක් පවතී. දෙවියන්ගේ කැමැත්ත ඔය නොවේ.” අනුරුද්ධ මහ තෙරහු පැවැසූහ.
“දෙවියන්ගේ කැමැත්ත කිමෙක්ද ස්වාමීනි?” මල්ල රජදරුවන් උන්වහන්සේගෙන් විචාළහ.
“රජ දරුවනි, කාශ්‍යප මහ රහතන් වහන්සේ පාවා නුවර සිට පන්සියයක් භික්‍ෂුන්ද සමඟ තථාගතයන් වහන්සේගේ සිරිපා වන්දනා කිරීම සඳහා කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. උන්වහන්සේ වැඩම වූ පසු තථාගත ශ්‍රී දේහය දැල්වේවා යනු දෙවියන්ගේ ප්‍රාර්ථනයයි.” උන්වහන්සේ පැවැසූහ.

එය එසේම වේවා යනුවෙන් පවසා නිහඬ වූ මල්ල රජදරුවන් කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් පන්සිය නම වැඩම කරන තුරු බලා සිටියහ. පන්සියයක් භික්‍ෂුන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේගේ චිතකය පිහිටි තැනට වැඩමවූ කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා පාංශුකූල චීවරය ඒකාංශ කොට පොරවා ‍ෙදාහොත් මුදුන් තබා බුදු රදුන්ගේ ශ්‍රී දේහය වන්දනා කළහ. තථාගත ශ්‍රී දේහය ඇති දෙණ වටා තෙවරක් වැඩම කළ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ හිස හා පත්ල දිවැසින් දැක මෙනෙහි කොට සිරිපා පිහිටි පස වැඳ වැටී අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සම වැදුණහ. ධ්‍යානයෙන් මිදී උන්වහන්සේ “මාගේ ශාස්තෘෘන් වහන්සේගේ උතුම් සිරිපා යුවළ තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සුවඳ දර සෑයද දෙබා කරමින් මාගේ හිස මත්තෙහි පිහිටන සේක්වා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.

එකෙනෙහිම තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතා තිබූ කපු පුළුන් පටල පන්සියයද, චීවර පන්සියයද, රන් දෙණද, සඳුන් දර සෑයද දෙබෑ කරමින් උන්වහන්සේගේ සිරිපා කමල කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිස මත්තෙහි නළලත මත පිහිටවුණු සේක. කාශ්‍යප මහ රහතන් වහන්සේ තථාගත ශ්‍රී පාද යුගල දෝතින් ගෙන සිය නළල මස්තකයෙහි රුවා ‍ෙදාහොත් මුදුන් තබා වන්දනාමාන කළ අතර රැස්ව සිටි දහසක් දෙව් බඹුහු, මිනිස්සු විමතියෙන් සාදුකාර දීමට පටන් ගත්තෝය. කාශ්‍යප හිමි සමඟ වැඩම කළ පන්සියයක් සංඝයා වහන්සේද බුදු සිරිපා වන්දනා කිරීමෙන් පසු කිසිවකුගේත් මැදිහත්වීමකින් තොරව බුදු සිරුර රන් දෙණ තුළ තැන්පත් විය. කපු පුළුන් පටල හා චීවර යථා පරිදි එතී ගිය අතර දෙබෑ වූ සඳුන් දර සෑයද යථා පරිදි පිහිටුවිණි. එකල්හිම කිසිවකුගේත් බලපෑමකින් තොරව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ චිතකයට ඉබේ ගිනි ඇවිළිණි. දහස් සංඛ්‍යාත පිරිවර අතර සාදුකාරය මැද බුදු රදුන්ගේ චිතකය දැවිනි.

උන්වහන්සේ පිරිනිවන්පෑමට පෙර එක් අධිෂ්ඨානයක් සිදු කළහ. එනම් ලොව පහළ වූ බුදුවරුන් අතර අවම ආයුෂ ප්‍රමාණයක් වැළඳූ බුදුන් වන්නේ ගෞතම බුදුන්වහන්සේ බැවින් මතු පහළ වන සත්ත්වයන්ට උන්වහන්සේ දැක බලා ගැනීමට නොහැකි වන බැවින් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය දැවී ලලාට ධාතුව, අකු ධාතු දෙනම, සතර දළදා සහ අස්ථි ධාතු නොදැවී මතු පහළ වන සත්ත්වයන්ට වන්දනාමාන කිරීමට පවත්වා යන අධිෂ්ඨානයයි. උන්වහන්සේගේ අදිටන අනුව ශ්‍රී දේහයේ සිවිය, සම්, මස්, නහර යන සියල්ලම දැවී අළු හෝ දැලි පමණටවත් නොමැතිව විනාශ වී ගියහ. තථාගත ශ්‍රී දේහය ඔතන ලද පන්සියයක් චීවර අතරෙන් පළමුව ඔතන ලද චීවරය හා අවසන ඔතන ලද චීවරය පමණක් ඉතිරි වී අනෙක් චීවර සියල්ලම හා කපු පුළුන් පටල සියල්ලද දැවී ගොස් තිබිණි. රත්රන් දෙණද නොදැවුණු අතර උන්වහන්සේගේ පෙර කී ධාතුන් වහන්සේ නොදැවුණු චීවරයේ කොටස් වශයෙන් දෙණ තුළ ඉතිරි වූහ.

ධාතුන් වහන්සේ ඉතිරි වන පමණට තථාගත ශ්‍රී දේහය දැල්වෙද්දී ගුවනින් ජල දහරාවක් පතිත වී චිතකය නිවා දැමිණි. එකෙනෙහිම චිතකයට සිවුදෙසින් පිහිටි සල් වෘක්‍ෂයන්හි අතු මතින්ද දිය දහරා පැමිණ චිතකය නිවාලීමට සහාය දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

ඉන් අනතුරුව මල්ල රජදරුවෝ සියලු සුවඳ රැගත් සුවඳ කුඩු දැමූ දිය පැන් දහරක් චිතකයට දමා ධාතු සහිත රන් දෙණ මනාව සරසන ලද හස්ති රාජයකුගේ පිට මත තබා විශාල පෙරහරකින් ඇතුළු නුවරට වැඩම කළහ. අලංකාරවත්ව සරසන ලද රන් මණ්ඩපයක රන් දෙණ තැන්පත් කරමින් පුරා සතියක් ඉමහත් පුද පූජා කරමින් බුදු හිමිගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කළහ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අදිටනින් ඉතිරි වූ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ එවක පටන් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අතර බුදුන් නොදුටු බොදුනුවන් හටද එතුළින් ජීවමාන බුදුරදුන් දැක බලා ගැනීමට අවස්ථාව සැලැසී තිබේ.

මේ ලිපිය මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න අමතක කරන්න එපා..

Check Also

අධිරජ ධර්මාශෝකගේ බිසෝවරු සෙට් එක මෙන්න

මෞර්ය වංශයේ දෙවැනි රජතුමා වූ බින්දුසාර මෞර්යගේ රාජ්‍ය පාලනය පැවැතියේ ක්‍රි.පූ. 297 සිට ක්‍රි.පූ. 273 …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!