page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / cancer / කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයෙන් පිළිකා නසන දිලීරයක් සොයාගනී

කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයෙන් පිළිකා නසන දිලීරයක් සොයාගනී

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එන්ඩොලයිකන දිලීරවල පිළිකා නාශක ගුණයක් පවතින බව සොයාගෙන තිබේ. 2006 වසරේදී ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමඟ සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඔෟෂධීය ගුණ සහිත ජෛව සක්‍රිය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථම වරට සොයාගත්තේද මහාචාර්ය පරණගම මහත්මියයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ‘මව්බිම’ අපි ඇය ඇමතුවෙමු.

“ලයිකනය කියන්නේ තෙත් කලාපීය වනාන්තරවල ශාක කඳන්, ගල් පර්වත වැනි ස්ථානවල හටගන්නා ජීවීන් කොට්ඨාසයක්. මේ පිළිබඳව හොඳින්ම දන්නේ උසස් පෙළ විද්‍යා විෂය හදාරන සිසුන් හා විශ්වවිද්‍යාලවල ජීව විද්‍යාව හදාරන සිසුන්. ඇල්ගීයක් හා දිලීරයක් එකතු වී සාදන සහජීවනය තුළින් ලයිකනයක් සෑදෙනවා. එහි පටක තුළ නිදහසේ ජීවත්වන දිලීරයටයි එන්ඩොලයිකන දිලීර කියලා කියන්නේ.”
ලොව ඉහළම ජෛව විවිධත්වය සහිත රටවල් අතරින් අපේ රටටත් සුවිශේෂී ස්ථානයක් හිමිවන බව ඇය පවසන්නීය. ලයිකන විශේෂ දහසකට අධික සංඛ්‍යාවක් අප රට තුළ පවතින බවත් වාර්තා වේ.

“අපි භාවිත කරන බොහෝ ඔෟෂධවල මූලාරම්භය එක්කෝ ශාකයක්. නැතිනම් දිලීරයක්. එහෙමත් නැත්නම් ජලජ ජීවියෙක්. ඒකට උදාහරණයක් තමයි පිළිකා නාශක ඔෟෂධයක් ලෙස භාවිත කරන වින්ක්රිස්ටීන්. එය හදාගන්නේ මිනීමල් ශාකයෙන් වෙන් කරගත් සංයෝගයකින්. දිලීර තුළ මෙවැනි ඔෟෂධීය ගුණ ඇති සංයෝග නිස්සරණය කර ගත හැකි බවට මුලින්ම කරුණු සොයා ගැනීමට හැකි වුණේ පෙන්සිලින් නමැති ඔෟෂධය සොයා ගැනීමෙන් පසුවයි.

මෙවැනි ඔෟෂධීය සංයෝග නිපදවීම සඳහා ශාක යොදා ගැනීම ජෛව විවිධත්වයට බලපාන කරුණක් වන බවට මත පළවීමත් සමඟ දිලීර, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මෙම සංයෝග ලබාගැනීමට විද්‍යාඥයන් උන්දුව වුණා. මෙවැනි පර්යේෂණ ජාතික වශයෙනුත් ගෝලීය වශයෙනුත් ඉතාමත් වැදගත්.”

මෙම පර්යේෂණ සඳහා මූලිකත්වයත් මූල්‍ය ආධාරත් ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවයි. ලංකාව තුළ මෙවැනි පර්යේෂණයන් සිදු කෙරෙන්නේද ප්‍රථම වතාවටය. සිංහරාජය, හග්ගල, නකල්ස් වැනි වනාන්තරවල ඇති ශාකවලින් ලයිකන රැස්කර ඒවායින් එන්ඩොලයිකන දිලීර වෙන් වෙන් වශයෙන් ගෙන පර්යේෂණාගාරයේ වගා කිරීම අරඹා එහි අඩංගු සංයෝගවල ප්‍රතිජීවක, ප්‍රතිදාහක, ප්‍රතිඔක්සිකාරක, පිළිකා නාශක ගුණනයන් ඇතිදැයි සෙයාබැලීම අද වන විට ආරම්භ කර තිබේ.

“සාර්ථකව භාවිත කළ හැකි සංයෝග සොයාගෙන ඒවා තවදුරටත් දියුණු කර වගා කිරීම හෝ සංශ්ලේෂණ ක්‍රියාවලියක් තුළින් සංවර්ධනය කළ හැකි වෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා. මෙම පර්යේෂණ තවත් ඉදිරියට ගෙනයමින් කඩොලාන පරිසරයේ ඇති ලයිකන විශේෂවලත් තිබෙන එන්ඩොලයිකන දිලීර හඳුනාගැනීම සඳහා අපි පර්යේෂණ ආරම්භ කරලයි තියෙන්නේ. අධික ලවණ සහිත පරිසයේ වැඩෙන ශාක, ශුෂ්ක පරිසරයකට අනුවර්තනය වී ඇති අයුරින්ම එම ශාකවල වැවෙන ලයිකන මෙන්ම එන්ඩොලයිකන දිලීරයන්ද එවැනිම අනුවර්තනයකට ලක්ව ඇති බැවින් එවැනි විශේෂවල මෙතෙක් හඳුනා නොගත් ආකාරයේ සංයෝග තිබිය හැකියි.”

මේ වනවිටත් කඩොලාන ආශි්‍රතව ලයිකන 30ක් හා එහි ඇති එන්ඩොලයිකන දිලීර වර්ග 200කට අධික ප්‍රමාණයකුත් මහාචාර්යවරිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගෙන තිබේ. මෙම පර්යේෂණ මඟින් හඳුනාගත් ලයිකන වර්ග උද්භිද විද්‍යාත්මකව හඳුනාගැනීම සඳහා ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මියගේද සහාය ලැබේ. එමෙන්ම එන්ඩොලයිකන දිලීර හඳුනා ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ආචාර්ය රේණුකා අත්තනායක මෙනවියගේද අනුපමේය මෙහෙය හිමි වන බව මහාචාර්ය පරණගම මහත්මිය පවසන්නීය.

මෙම සියලු පර්යේෂණ කටයුතුවලින් අනතුරුව ඉදිරියේදී එන්ඩොලයිකන දිලීරය ඔෟෂධයක් මට්ටමට වැඩි දියුණු කිරීමට අවශ්‍ය සියලු පර්යේෂණද සිදුකරන බව මහාචාර්යවරිය පවසා සිටියාය.

චාමිණී ගම්මන්පිල, කැලණිය – කුසුම් එස්. හැන්නදි(ලක්බිම)

Check Also

චීස් නිසා පියයුරු පිළිකා අවදානමක්.. තරුණියන් අනිවාරෙන් මේ ගැන දැනුවත් වෙන්න

කිරි ආහාරවල හොඳ මෙන්ම නරකත් පවති. ඒවා කැල්සියම් හොඳින් සපයයි. ඒත් මේදය වැඩි තත්ත්වයක් ද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!