page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / Education / sri lanka history / තිඹිරිපොළ රම්පත ගලෙන් හමුවුණේ බුදුන්ගේ දකුණු සිරිපතුල ද?

තිඹිරිපොළ රම්පත ගලෙන් හමුවුණේ බුදුන්ගේ දකුණු සිරිපතුල ද?

‘මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිර පෙදෙසින්නේ
මද සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ …..’

අමරදේවයන් විසින් එසේ ගීතයට පාත්‍ර කරන්නේ ලාංකේය සමාජයේ එදා මෙදා තුර කතිකාවට ලක්‌වුණ සමාජ හැඩගැසීමකි. මුණි සිරිපා සිඹ එන සුළඟ පවා සැනසීමක්‌ ගෙන දෙන බව අපේ වැඩිහිටියන්ගේ හැඟීමයි. ඔහු ගීතයෙන් එලෙස කීව ද ඊට බොහෝ කාලයකට පෙර වුවද මහත් හදබැඳි බැතියක්‌ සිරිපා පද්මයට ලංකාවේ ජනයා දක්‌වන්නට විය. මඟ හසර කටුක ලෙස ගෙවා වන ලැහැබ්, ගල් කුළු පසුකරමින් හිමයට පිවිසෙන්නේ සමන්දෙව් රැකවරණ ලැබ භක්‌තියෙන් යුතුව මුණිඳුන්ගේ වම් සිරිපතුල මත හිස තබා නමස්‌කාර කරන්නටය. නමුත් අද අපි කතා කරන්නේ සමනළ සිරස රැඳි සිරිපතුල ගැන නොව සිරිපා අඩවිය ඈත පේන මායිමේ ගමකින් මතුවුණ දකුණු සිරිපතුලක්‌ ගැනය. මේ විශ්මිත පුවත සොයා අපි එම සිරිපතුල හමුවූ ගමට යන්නට විය.

මේ විශ්මිත දකුණු සිරිපතුල හමුවන්නේ තිඹිරිපොළිනි. තිඹිරිපොළ දෙහිඕවිට -ඇහැලියගොඩ මාර්ගයේ දෙහිඕවිට මාර්ගය පසුකර කිලෝ මීටර් 02 ක්‌ පමණ ගිය තැන හමුවන පැරණි ගමකිනි. මෙම තිඹිරිපොළ පෙර රජ දවස සීතාවක රාජධානියට අයත්ව තිබූ ගමකි. තිඹිරිපොළ ගම්මානය පසෙකින් ගලා බසින සීතාවක ගග කොමලිය ඈත සමනොල පව්වේ සිට මුදු මොලොක්‌ සීතල කැටි කරගනිමින් ගලාවිත් සීතාවක නගරයෙන් කැලණි නදියට මුසු වේ. සීතාවක කොමළිය කැලණි ගඟ හා මුහුවන්නට කිලෝ මීටර් කිහිපයක්‌ මෙපිටින් හමුවන රම්පත ගලේ මේ විශ්මිත පා සටහන දැක ගන්නට පිළිවන.

සුප්‍රකට භෛරන්ඩි කෝවිලේ සිට සැතපුමක්‌ පමණ ගඟ දිගේ ඉහලට ගිය විට තිඹිරිපොල ගං ඉවුරේ හමුවන අඩි 20 ක්‌ පමණ උසැති ගල් කුලක්‌ මත මේ විශ්මිත දකුණු පා සටහන දැකගන්නට පිළිවන. දිගින් අඩි 04 ක්‌ පමණ වන මෙම පා සටහනේ ඉදිරිපස පළල අඟල් 22 කි. විලුඹ අසල පළල අඟල් 19 කි. පා සටහනේ ඇඟිල්ලක්‌ අඟල් 8 ක්‌ පමණ දිගින් යුක්‌තය. මෙහි පෙති 8 නෙළුම් මල් 02 ක්‌ හා අර්ධ නෙළුම් මල් 04 ක්‌ ද නෙලා ඇත. අඟල් 02 ක්‌ පමණ ගල තුළට එරා ඇති ලෙස පිහිටි මෙම සිරිපතුල ඇති ගල තිඹිරිපොල ගැමියන් හඳුන්වන්නේ රම්පතගල ලෙසය. සීතාවක රාජසිංහ රජුගේ අග බිසවගේ රම්පට මෙම ගලෙහි තැන්පත් කර ඇතැයි සිතන නිදන් අපේක්‌ෂකයෝ ද වෙති.

වරක්‌ සීතාවක රාජසිංහ නිරිඳුන්ගේ අග මෙහෙසියද සිරිපා වන්දනා කිරීමට ඇති වූ ආශාව සංසිඳවීමට රජුන් විසින් මෙම ගලෙහි පතුලක්‌ කොටවා මෙහෙසිය ලවා වන්දනා මාන කළ බවට ජනප්‍රවාදයේ එන ජනප්‍රිය කතා පුවතකි. මෙවැනිම පා සලකුණක්‌ කුරුණෑගල ඉබ්බාගල මුදුනේ ද ඇති බවට මෙම තොරතුරු සොයා යැමේ අප හට දැනගන්නට ලැබිණ. එයද පරාක්‍රමබාහු රජුගේ මවට සිරිපා වඳිනු සඳහා කැටයම් කල පා සලකුණක්‌ ලෙස ජනප්‍රවාදයේ එනු ලබන බව කියෑවෙයි. මේවා සැසඳීමේදී පා සටහන් කරවා මුනිඳුන් වන්දනා කළ යුගයක්‌ පැරණි කාලයේ තිබූ බවට අප හට සිතිය හැක.

මේ තොරතුරු තිඹිරිපොළ ගැමියකුගෙන්ම අසා දැන ගැනීමට සිතා තිඹිරිපොල ගමේ ගැමියකු වන මල්දෙණියේ වෙදමහතා සොයා අපි ගියෙමු. ඔහු ඉතා දුර්ලභ සර්ප වෙද මහතකු වූ අතර, ඔහු විසින් මේ රම්පතගල හා පා සලකුණ පිළිබඳ බැඳුනු කතා පුවත මනාවට අප හට පැහැදිලි කරන්නට විය.

මල්දෙණියයේ වෙද මහතා

මේ ගම පැරණි ගමක්‌. මගේ තාත්තත් මේ ගමේ පැරණි සර්ප වෙද මහතෙක්‌. අපේ තාත්තත් කියලා තියෙනවා මේ ගලේ ඇති පාද සලකුණ සීතාවක රාජසිංහ රඡ්ජුරුවන්ගේ කාලයේ බිසවට හැදුනු දොළ දුකත් සංසිඳ වීමට රජු විසින් කොටපු සලකුණක්‌ කියලා. ඉස්‌සර මේ ගඟ දිගේ ඔරුවල ඇවිත් මේ පාද ලාංඡනය මිනිස්‌සු නැරඹුවලු. අග බිසවට සමනල කන්ද තරණය කරන්න අපහසු වෙයි කියලා හිතපු රජතුමා ඒ විදියට මේ ගල තුළ පතුලක්‌ කෙටව්ව කියල තමයි ජනප්‍රවාදයේ එන්නේ. හැබැයි ඔතන තවත් හිතන්න මතයක්‌ තියෙනවා. ඒ තමයි සමනල කන්දේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ වම් සිරිපතුල.

මෙහේ තියෙන්නෙ දකුණු පා සටහන. සමනල කන්ද සිරිපතුලට සමාන සිරිපතුලක්‌ මෙතන තැනෙව්වා නම් මේකත් වම්පා සලකුණක්‌ වෙන්න ඕනෙ. සමනල පතුලේ මෙන් මෙහි මංගල ලකුණ ද නොමැතිවීම මෙහි වෙනත් අරුතක්‌ ඇති බව කීමට තවත් නිදසුනක්‌ වෙනවා. එහෙයින් මෙය බුදුන්ගේ පහස ලද පා සටහනක්‌ නොව කේරල ප්‍රදේශයේ මෙන් රාමපාද සටහනක්‌ බව සිතන්න පෙළඹුණ පිරිස්‌ ද මේ ගමේ ඉඳලා තියෙනවා. මල්දෙණියේ වෙද මහත්තයා එසේ කියන්නට විය.

මල්දෙණියේ වෙද මහත්තයා කියපු කතාව සත්‍යයකි. තම ගමේ වූ මේ අපූරු ඓතිහාසික ස්‌ථාන පිළිබඳ පැහැදිලි වටපිටාවක්‌ පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කර නැති නිසා ජනප්‍රවාද කරුණු ගොනුකර ගනිමින් ගම්මුන් නොයෙක්‌ කතා රචනා කරන්නට ඇත.

කරුණු කෙසේ වෙතත් ඉහත කී රම්පතගල අසලින් ගලන සීතාවක ගඟ දිගේ පැරණි ඔරු සේවාවක්‌ ගමන් කර ඇති බවට ද මතයක්‌ පවතී. මෑතකදී සීතාවක නදියෙන් හමුවුණු වටිනා මැණික්‌ පොදි පෙර රජ දවස ගමන්ගත් ගිලුණු මැණික්‌ ඔරුවක තිබී සොයාගත් බවද, ඒ හා සම්බන්ධ මිනිසුන් ප්‍රකාශ කරයි. තවද රම්පතගල අසලින් සීතාවක ගඟ තරණය කොට කඳු බෑවුම දිගේ මද දුරක්‌ ඉහළට යන විට ‘රජලෙන්’ නමින් ගැමියන් හඳුන්වන ගල් ලෙනක්‌ හමුවෙයි. මෙහි සිට මානියංගම රජමහා විහාරයටද ඇත්තේ සමීප දුරකි. මානියංගම විහාරය ක්‍රි(පූර්ව ගණන් වල වළගම්බා රජු සැඟව සිටි තවත් ස්‌ථානයක්‌ ලෙස හඳුනාගත් ස්‌ථානයකි. මේ ප්‍රදේශයේම ඇති සල්ගල, ලෙනගල, වැනි ස්‌ථාන වලද වළගම්බා රජු සැඟව සිටි බවට සැලකේ.

මානියංගම රජමහා විහාරයේ ඉතිහාසය පිළිබඳව ඓතිහාසික ලිපි ලේඛන සොයාගෙන නැතත් තිඹිරිපොළ පා සලකුණ පිහිටි රම්පත ගලට යාබදව ඇති රජලෙනෙන් සොයා ගත් බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ලිපි දෙක ක්‍රි(පූර්ව පළමුවෙනි සියවස දක්‌වා පැරණි බවට සොයාගෙන ඇත. එහෙයින් වළගම්බා රජ දවසත් සීතාවක, මානියංගම, තිඹිරිපොළ ජනාවාසව තිබූ බවට නම් සැකයක්‌ නැත. මෙවැනි ඓතිහාසික තොරතුරු ඇති ස්‌ථාන කිහිපයකට සමීපව පිහිටි රම්පතගල පාද ලාංඡනය ජනප්‍රවාද කරුණුවලට එහා ගිය එකක්‌ යෑයි සිතීමට පිළිවන. කුරූණෑගල ඉබ්බාගල, රම්පතගල, සමනල පාද ලාංඡන හා සමාන මාර්ගයේ තවත් පාද ලාංඡන තිබිය හැක. එසේ නම් මේ සත්‍ය වශයෙන්ම කවරකු හෝ ගමන්ගත් ගමන් මාර්ගයක්‌ ද?. නොසොයා ගත් ඉතිහාස කතා විශ්මය ජනක විය හැක. වර්තමානයේ ලෙස නොව අතීතයේ පැරැන්නන්ගේ මනෝ ඤාණය වගේම තාක්‌ෂණයද ඉඳුරාම වෙනස්‌ය. එහෙයින් රට පුරා තැනින් තැනින් හමුවන මෙවැනි පා සටහන් අද්භූත මාර්ගයක මං සලකුණු ද විය හැක.

අනුර ජයසේන – ඇහැලියගොඩ
ඡායාරූප – චතුලා පුංචිහේවා

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!