page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / ආදරය වෛරයකට පෙරළී ගැහැනියක මරා දැමූ අජන්තගේ හදවත් කම්පා කළ සංවේදී කතාව

ආදරය වෛරයකට පෙරළී ගැහැනියක මරා දැමූ අජන්තගේ හදවත් කම්පා කළ සංවේදී කතාව

ඔහු නමින් අජන්තය. ගැහැනියක මරා දැමීමේ වරදට ඔහු අද සිර දඬුවම් විඳින්නේය.
ජීවිතය සුන්දරව ගතකළ ඔහුට මේ දඬුවම ලැබුණේ ආදරයට වඩා වෛරය ඉස්මතු වූ නිසාය. මේ ඔහුගේ කතාවයි.

හොඳට ඉගෙන ගත්තද?

“මං හැමදාම පන්තියේ පළවෙනියා වුණා. අපේ පවුලේ හැමෝම ඉගෙන ගන්න දක්ෂයි. මගේ නංගිලා තුන්දෙනා පුංචි කාලේ ඉඳලම ඉගෙනීමට දක්ෂයි. ඒත් බාල මල්ලි ඉගෙනීමට වඩා දක්ෂ ක්‍රීඩාවට. අපි ඉගෙන ගන්න දක්ෂ වුණාට අපේ අම්මා කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. පුදුම වැඩේ කියන්නේ අම්මට කතා කරන්න පුළුවන්. අකුරු ලියන්න බැහැ. තාත්තා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ දෙකේ පන්තියට විතරයි. ඒ වුණත් ඉගෙන ගන්න කියලා අපිව උනන්දු කරන්න එයාලට පුළුවන්කම තිබුණා. මම විශ්ව විද්‍යාලයට තේරුණා කියලා දැනගත්ත දවසේ එදා හරියට ගෙදර මඟුල් ගෙයක් වගෙයි. අපිට ලයිට් තිබුණේ නැහැ. තාත්තා පෙට්රෝල් මැස් ලාම්පුව පත්තු කරලා සැරෙන් සැරේ ඒකට හුළං ගහනවා.

අම්මා මගේ ළඟට වෙලා ඔලුව අත ගගා අවවාද දෙනවා. නංගිිට හරි සතුටුයි. මම විශ්ව විද්‍යාලයට ආවා. එත් මං ගෙදර අය දාලා එන්න දුකයි. මම හැම සති අන්තෙම ගෙදර ගියා. ඒක හරි දුෂ්කර ගමනක්. ‘පුතේ මාසෙකට සැරයක් ගෙදර එන්න. පුතා හොඳට පාඩම් කරන්න’ අම්මා සැමදාම කියන්න ගත්තා. අපේ ගමේ හුඟක් අය වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. මම තමයි ගමෙන් ඉස්සෙල්ලාම විශ්ව විද්‍යාලයට ආවේ. ඒ නිසා ගමේ කවුරුත් මට ආදරය කළා.”

කොහොමද විශ්ව විද්‍යාල ජීවිතේ?

“ඒ ජීවිතේ හරි සුන්දරයි. මේ දැන් වාගේ පාරවල්වල පිකටින් කරන්නේ නැහැ. අපි ඉගෙන ගත්තා. නාට්‍ය බලන්න ගියා. චිත්‍රපට බලන්න ගියා. මම ඉගෙන ගත්තේ වානිජ අංශයෙන්. අම්මලාට බරක් වෙන්න බැරි නිසා මම කැම්පස් ඇවිල්ලා දෙවන අවුරුද්දේ ඉඳලා ටියුෂන් දෙන්න පටන් ගත්තා. අපේ ජීවිත එහෙම පිටින්ම කඩා වැටුණා වගේ. තාත්තාගේ මරණයෙන් පස්සේ උසස් පෙළ විභාගය ලියන්නේ නැතිවම චූටි මල්ලි ගෙදර නතර වුණා. එයා අම්මත් එක්ක කඩේ කරගන ගියා. ලොකු නංගියි අනිත් නංගියි නිවුන්නු. ඒ දෙන්නා විද්‍යා පීඨ තේරුණා. පුංචි නංගි අපි හිතපු නැති විදිහට කොල්ලෙක් එක්ක පැනලා ගියා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුණා. මට බැංකුවක රස්සාවක් ලැබුණා. මගේ තාත්තා හිටියා නම් එදා හොඳටම සතුටු වෙනවා.

අම්මා මාව බදාගෙන ඇඬුවා. රස්සාව ලැබිලා කාලයක් ගියා. මට පිටරට පුහුණුවකට යන්න වුණා මාස කිහිපයකට. ඒ මාස කිහිපය බොහෝම ඉක්මනට ගෙවිලා ගියා. අපේ ආර්ථිකය ගොඩ නැඟුණා. මම ගමේ ගේ හැදුවා. ඒත් ඒ ගෙදර පදිංචියට මම ගියේ නැහැ. චූටි මල්ලිට ගේ දුන්නා. එයා විවාහ වුණා. අම්මා ඊට පස්සේ ඉඳලා හැම වෙලේම කිව්වේ ලොකු පුතේ පිළිවෙලක් වෙන්න කියලා.”

පිළිවෙලක් වුණාද?

“නංගිලා දෙන්නා විවාහ වෙනතුරු මම විවාහයක් ගැන හිතුවේ නැහැ. ඒ වුණත් මගේ හිතෙත් ආදරයක් තිබුණා. ඒ ආදරේ තිබුණේ මගේ හිතේ විතරයි.”

ඇයි එහෙම කියන්නේ?

“චන්දිමා මා එක්ක එකට විශ්ව විද්‍යාලයේ හිටියේ. එයා හරි ලස්නයි. හැමෝම චන්දිමා දිහා බලනවා. මමත් බැලුවා. එයා සල්ලිකාර පවුලක කෙනෙක්. ඒ නිසා එයා කාවවත් ගණන් ගත්තේ නැහැ. නමුත් මං හිතාගත්තා කොහොම හරි එයාට ළං වෙනවා කියලා. ”

චන්දිමාව ළං කර ගත්තද?

“ඒක හිතපු තරම් ලේසි වුණේ නෑ. මගේ නංගිලා දෙන්නාගෙන් එක් කෙනෙක් විවාහ වෙලා පිටරට පදිංචියට ගියා. අනෙක් නංගි විවාහ වෙලා වෙන ගමකට ගියා. අම්මා හිටියේ මල්ලි ගාව. නමුත් මම මටම කියලා ගෙයක් හදලා පිළියෙල වුණාට පස්සේ අම්මා මං ගාවට ආවා.”

එතකොට චන්දිමා?

“චන්දිමා කියන්නේ හීනයක්. අවුරුදු පහකට විතර පස්සේ චන්දිමා අපේ බැංකුවට ආවා. එදා එයා මාව අඳුන ගත්තේ නැහැ. මම එයාව අඳුන ගත්තා. ඒ වෙනකොට චන්දිමා විවාහ වෙලා. ඒ බව දැනගත්තම මම හොඳටම කලබල වුණා. මං හිත හදා ගත්තේ බොහෝම අමාරුවෙන්. මාස ගාණක් ගෙවිලා ගියා. දවසක් චන්දිමා බැංකුවට ආවෙ සුදු ඇඳගෙන. මුහුණත් මළානික වෙලා . මම එදා එයාව මගේ ළඟට ගෙන්නගෙන කතා කළා.”

“අනේ අජා මගේ මහත්තයා මැරුණා” චන්දිමා එහෙම කියලා අඬන්න ගත්තා. මං එයාගේ ගෙදර ගියා. චන්දිමාට දරුවෝ හිටියේ නැහැ. ඉන් පස්සේ මං නිතර නිතර එහෙ ගියා. ඒ ගිය ගමන්වලදී තමයි මං දැන ගත්තේ චන්දිමාගේ මහත්තයා කෝටි ගණනින් ණය වෙලා කියලා. එයා මොනවද කළේ කියලා චන්දිමා දැනගෙන ඉඳලා නැහැ. චන්දිමාගේ දෙමාපියන් දුන්න දේපලත් ඒ මිනිහා නැති නාස්ති කරලා. මට හිතාගන්න බැරිව ගියා කොහොම චන්දිමාව ගොඩ ගන්නද කියලා. අන්තිමට මං චන්දිමාට කිව්වා ඒ ඉන්න ගේ විකුණන්න කියලා. බැහැ බැහැ කිය කිය ඉඳලා එයා ඒ ගේ විශාල මුදලකට විකුණුවා. ගෙදර බඩුත් විකුණුවා. ඊට පස්සේ ඒ මුදල්වලින් තිබ්බ හැම ණයක්ම බේරලා දැම්මා. චන්දිමා පුංචි ඇනෙක්ස් එකක නතර වෙන්න ගියා.”

චන්දිමාගේ ඥාතීන් නැද්ද?

“නැහැ. ඒ වෙන කොට අම්මයි තාත්තයි මැරිලා. සහෝදර සහෝදරියෝ නැහැ.”

ඔයා චන්දිමා බැන්දද?

“නැහැ. මං චන්දිමා ගැන හුඟක් හිතුවා. මං නංගිටයි මල්ලිටයි කිව්වා. අම්මා බොහෝම නිහඬව අහගෙන හිටියා. ‘පුතේ ඔය කියන ළමයව බැඳලා ඔයාට අනාගතයක් තියේවිද?’
අම්මා එහෙම කිව්වට පස්සේ මං ඒ ගැන බොහෝම දුර හිතුවා. නමුත් මගේ හිතේ චන්දිමා ගැන ආදරයක් තිබුණා. මං දවසක් එයාට ඒ ගැන කිව්වා. මුලින් අකමැති වුණත් පස්සේ එයා කැමති වුණා. මංගල්‍යයක් ගන්න ඕන නැහැ කියන මතේ තමයි මම හිටියේ. චන්දිමා කියන්නේ සල්ලිකාර පවුලක කෙනෙක්.

මං දන්නේ නැති වුණාට එයා ක්ලබ් ගියා. හෝටල් ගාණේ ගියා. මං ඒ හැම දේම දැනගත්තේ පස්සේ. මේ අතර මට මාස දෙකකට පිටරට යන්න වුණා. මං යන දවසේ චන්දිමා දුක් වුණා එයාට පාළුයි කියලා. මං එයාට කිව්වා මගේ අම්මත් එක්ක මගේ ගෙදර නතර වෙන්න කියලා.

ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. මං පිටරට ගියා. මාස දෙකකට ගිය මම මාස හයක්ම එහෙ හිටියා. මං චන්දිමාට කතා කළා. එයා හොඳ සතුටින් ඉන්න බව තේරුණා. මං ලංකාවට එද්දී එයාට මඟුල් මුද්ද, මාලය හැමදේම අරගෙන ආවා. නමුත් ලංකාවට ආව ගමන්ම මට එයාව හමුවෙන්න යන්න බැරි වුණා. දවසකට දෙකට විතර පස්සේ තමයි එයාව බලන්න ගියේ”.

ඇයි මොකද වුණේ?

මට තේරුණා එයා හුඟක් වෙනස් කියලා. එදා මම තිරණය කළා තව ටිකක් හිතලා බලල එයා ගැන තිරණයක් ගන්නවා කියලා. මං දවසක් උදේ වැඩට යන ගමන් චන්දිමාව බලන්න ගියා.

මොන එහෙකටද මන්දා මට එයාව බලන්න යන්න හිතුණේ. අපි දෙන්නා අතර ඒ වෙනකොටත් බැඳීමක් තිබුණා. එත් මට හිතාගන්න බැහැ ඇයි මට යන්න හිතුණෙ කියලා . සමහර විට මට චන්දිමාගේ හොර අල්ලන්න හිතෙන්නත් ඇති. මම චන්දිමාගේ ගෙදරට ගියාම එයා සිටියේ බය වෙලා. වෙනදා වගේ මාව කාමරයට එක්කගෙන ගියේ නැහැ. චන්දිමා මට තේ හදන්න කුස්සියට ගිය අතරේ මම කාමරයට එබුණා. ඒ වෙලාවේ තමයි මං දැක්කේ කවුදෝ මිනිහෙක් ඒ කාමරේ ඇදේ නිදාගෙන ඉන්නවා.

මං කිසිම දෙයක් නොදැක්ක විදිහට චන්දිමා ගෙනාව තේ එක බීලා පිටත් වුණා. එදා දවස මට මුකුත්ම කරන්න හිතුණේ නැහැ. මං හිටියේ හුඟක් අවුල් වෙලා. දවස් දෙක තුනක් මං කල්පනා කළා මොකද කරන්නේ කියලා. මම හිටියේ චන්දිමා ගැන පුදුම වෛරයකින්.

මට ඕන වුණේ එයාගෙන් පළිගන්න. මම දවසක් හැන්දෑවක එහෙ ගියා. එයා මාව බොහොම ආදරෙන් පිළිගත්තේ. ‘ගෑනුන්ට මේ තරම් රඟපාන්න පුළුවන්ද’ මට හිතාගන්න බැරිව ගියා.

එයා වෙනදා වගේම මට ආදරෙන් තුරුළු වුණා. ඒත් මං යන්ත්‍රයක් වගේ. මගේ හිතේ වෙනදා තියෙන ආදරය තිබුණේ නැහැ.
ඒ වෙනුවට තිබුණේ වෛරය. චන්දිමාත් මමත් ඒ පුංචි කාමරේ තනි වුණා. ආදරය වෙනුවෙන් වෛරය ඉස්සරහට ආවා.
මං හොඳ සිහියෙන් නෙමෙයි හිටියේ. ‘අනේ එපා එපා’ කියද්දී මං චාන්දනීට පිහියෙන් ඇන්නා. මට ඒකිව කීතු කීතු කරන්න තරම් තරහවත් තිබුණේ. මං බලාගෙන ඉන්දැද්දි චන්දිමාගේ පණ ගියා.”

ඉන් පස්සේ?

“මොනවා වෙන්න ද මට හිරේ ලගින්න වුණේ බොරුවට නෙමෙයිනේ. මම ගැනියෙක්ව මැරුවා. මගේ අම්මා විලාප දිදී ඇඬුවා. දැන් නම් අම්මා ජීවතුන් අතර නැහැ. නංගිලා මල්ලිලා වුණත් දැන් මාව බලන්න එන්නේ නැහැ. කාත් කවුරුවත් නැති වෙන තරමට හොඳයි.”

චන්දිමාව මතක් වෙන්නේ නැද්ද?

“මට හැම වෙලේම මතක් වෙනවා. අවුරුදු ගාණකට කලින් බලපු චිත්‍රපටයක රූප රාමු පෙලක් වගේ මං චන්දිමා එක්ක බැඳුණු අතීතය මතක් වෙනවා. කරපු වැරැද්ද අමතක කරන්න බැහැනේ.”

-අද දෙරණ

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!