page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / මවු කුසකින් නූපන් ඌවේ කළු බණ්ඩාර දෙවියෝ…

මවු කුසකින් නූපන් ඌවේ කළු බණ්ඩාර දෙවියෝ…

පතපොතේ සඳහන් අන්දමට දෙවියන්ගේ ප්‍රධානියා ශක්‍රයාය. ඔහුගේ පිරිසේ තවත් දෙවිවරු තිස් තුන් කෝටියකි. විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි යන සිව්වරම් දෙවියන් සේම සමන්, දැඩිමුණ්ඩ, සරස්වතී, දෙවිවරුන් අතර ප්‍රසිද්ධ තවත් ප්‍රධාන දෙවිවරු කීප දෙනෙකි.

මෙම තිස්තුන් කෝටියක් වූ දෙවිවරු හැරුණු විට අප රටේ විවිධ ප්‍රදේශයන්ට අරක්ගත් ගම්බාර දෙවිවරුන් නමින් හැඳින්වෙන තවත් දෙවිවරු කොටසක්ද වෙති.

ගම්බාර දෙවියන් ලෙස දේවත්වයට පත්වූ ඇතැමෙක් මිනිසුන් ලෙස ජීවත් වී ඔවුන් සමාජයට කළ යහපත් දේ මෙන්ම අයහපත් දේ නිසාද පසුකලෙක දේවත්වයට පත් වූවෝය. මොවුන් සමහරකු විටෙක යක්ෂ වේශයකින්ද තවත් විටෙක දේව විලාසයකින්ද පෙනී සිටින බවද ගැමීහු විශ්වාශ කරති.

විවිධ ප්‍රදේශයන්ට ගම්බිම්වලට අරක් ගත් ගම්බාර දෙවිවරුන් සිටින බව සනාථ කරවන කවියක් ඉපැරණි පත පොතේ මෙලෙස සඳහන්ව ඇත.

“රටකින් මා ආ හින්දා උපත පටුන බැරි කියන්ඩ
ගමකින් ගමකට දේවතාව වරම් ලබා පිහිට වන්ඩ
සැණෙකින් මම කියන මෙපද වරද ඇතොත් සමාවන්ඩ
විගසින් මේ ගමෙ දෙවතා සුරිඳුනි මේ ගොටුව ගන්ඩ”

දඹානේ ආදිවාසීන් ඇතුළු ඌවේ ගැමියාට බැලුම් හෙළමින් ඔවුන් ආරක්ෂා කිරීමට කැප වී සිටින කළුබණ්ඩාර දෙවියන්, එසේත් නැතහොත් කළුකුමාර දෙවියන්ද එවැනි ගම්බාර දෙවි කෙනෙකි.

රීරි යක්ෂයා ලෙස හඳුන්වන්නේ ද කළුබණ්ඩාර දෙවියන් යැයි ඇතැමුන් පවසතත් එය පිළිගන්නට මැළිවන්නෝද සිටිති. කෙසේ වෙතත් මේ නිසාම කළුබණ්ඩාර දෙවියන්ට ඌවේ ගැමියා දක්වන්නේ අපමණ ගෞරවයකි. අපමණ බිය පක්ෂපාතීත්වයකි.
දඹාන ආදිවාසී ගම්මානයේ ජනතාව පවසන පරිදි කළුබණ්ඩාර දෙවියන්ගේ සැබෑ උරුමක්කරුවෝ ආදිවාසීහුය. කැලේ ඉපිද කැලේ කොළේ ගැවසෙන ආදිවාසීන් සහ කළුබණ්ඩාර දෙවියන් අතර ඇත්තේ දැඩි සමීපත්වයකි. ඔවුන්ගේ සියලු පුද පූජා බාරහාර සිදු කරන්නේ ද කළු බණ්ඩාර දෙවියන් සිහි කිරීමෙනි.

කිසියම් කටයුත්තක් ආරම්භ කරතත්, කැලේට ඇතුළ් වෙතත් ඔවුහු කළුබණ්ඩාර දෙවියන් සිහිපත් කරන්නේ ඒ නිසාය. තමුන්ට සේම තම කැකුළන්ටද උන්වහන්සේගේ ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබෙතැයි ඔවුහු විශ්වාස කරති. කළුබණ්ඩාර දෙවියන් යනු තම පරම්පරාවේම ගෝත්‍රික නායකයකු බවද ඔවුහු විශ්වාස කරති.

කළුබණ්ඩාර දෙවියන් ලොව පහළ වීම සම්බන්ධයෙන් මෙන්ම කර්‍ළුබණ්ඩාර දෙවියන්ගේ තතු විත්ති ගැන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ මෙසේ අදහස් දැක්වූහ. (ඔබගේ පහසුව තකා ඔහුගේ කතාවේ සිංහල පරිවර්තනය පමණක් මෙසේ ඉදිරිපත් කරමු)

“කළුබණ්ඩාර දෙයියො කියන්නේ දේවත්වයට පත්වූ කෙනෙක්. සමහරෙක් කඩවර යක්ෂයා කියන්නෙත් කළුබණ්ඩාර දෙවියො කියලම හිතාගෙන ඉන්නව. හැබැයි මේ සම්බන්ධය ගැන කියන්න නම් මම දන්නේ නැහැ.

හැබැයි කඩවර කාරිය කියන ගුරුකමේදි නම් කළුබණ්ඩාර දෙවියො තමා වැඩම කරවන්නේ. මන්තරවල තියෙන විදිහට කඩවර යකා කඩවර යක්ෂණී කියලා දෙන්නෙක් ඉන්නවා. කඩවර කියන වචනෙයි කළුබණ්ඩාර කියන වචනෙයි ටිකක් සමාන නිසා තමා මේ නම් පැටලැවිල්ල හැදිලා ඇත්තේ. හැබැයි මට හරියටම කියන්න බැහැ කඩවර යකාටමද කඩවර දෙවියෝ කියන්නේ කියලා.”

කඩවර දෙවියන් ලොව පහළ වීම ගැන ඇති ජනප්‍රවාද ගැනද ආදිවාසී නායකයා විස්තර කළේය.

අතීත කතාවල සඳහන් වන විදිහට කුඩා කොහොඹා බණ්ඩාර, මහ කොහොඹා බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, සඳුගල් බණ්ඩාර, වියෙන් උපන් විය රජ්ජුරුවෝ, මලෙන් උපන් මළ රජ්ජුරුවෝ කියලා පරම්පරාවක් ඉඳලා තියෙනවා. කළුබණ්ඩාර දෙවියොත් මෙන්න මේ පරම්පරාවටම අයිති කෙනෙක් විදිහට තමා සැලකෙන්නේ.

කළුබණ්ඩාර දෙවියන්ගේ උපත ගැන හරි අදහසක් නැහැ. නමුත් එක කතාවක තියෙනව මේ කළුබණ්ඩාර දෙවියන් බවට පත් වුණේ කුවේණීගේ මාමා කෙනෙක් කියල. කුවේණීගේ මාමා කෙනෙක් වුණ කළුව කියන පුද්ගලයගෙන් මේ දෙවියො දේවත්වයට පත් වුණා කියලා තමා මම අහලා තියෙන්නේ”

එම කතාවට අනුව කළුබණ්ඩාර දෙවියන්ට වරම් හිමිවූ ආකාරය සහ එතුමාගේ පිරිවර ගැන කියවෙන මන්තර කොටසක්ද ආදීවාසී නායකයා ගායනා කළේය.

“ඌර ගලට, ඊරී ගලට, අතලාගලට, කොතලාගලට, හන්තානට, මොරපතනට, කුඩා බෝපත්තලාවට, මහ බෝපත් තලාවට, දේවිදියක් දාලා අරංගල වැද්දන් මරංගල වැද්දන්, ඌරාගල වැද්දන් ඊරීගල වැද්දන්, අතලාගල වැද්දන්, කොතලාගල වැද්දන්, හන්තානේ වැද්දන්, මොරපතනේ වැද්දන්, භූත පන්සියයක්, අභූත පන්සියයක්, කැලෑකෝරලේ විසිහතර කට්ටුවක්, උප්පන් දොළහක් මැලෙයි හැටහතර කට්ටුවක් පිරිවරා ගත්තු රාජ කඩවර දෙවියන්නාන්සේ.

“මේ මන්තරයේ හැටියට උන්නාන්සේ හඳුන්වලා තියෙන්නේ රාජ කඩවර කළුබණ්ඩාර කියලා. එතකොට මේ සියලු_ කණ්ඩායම්වල ප්‍රධානියා තමා කළුබණ්ඩාර දෙවියෝ කියන්නේ.

කුවේණි කියන්නේ විජය රජ්ජුරුවන්ගේ පළමු බිසව. එයා යක්ෂ ගෝත්‍රයේ දුවක්. මෙයාට හිටිය කළුව කියලා මාමා කෙනෙක්. මෙයා අපේ ගෝත්‍රයේ නායක ඇත්තෙක්. විජය රජ්ජුරුවො කාලෙකදි කුවේණි රජ මාලිගාවෙන් පන්නලා දානකොට කුවේණීය, ජීවහත්ත හා දිසාලා කියන තමන්ගේ දරු දෙන්නත් එක්ක කැලේට යනවා. කුවේණී මියෑදුණාට පස්සේ මේ දරු දෙන්නා රැක බලාගෙන තියෙන්නේ මෙන්න මේ කියන කළුව කියන කුවේණිගේ මාමා. කුඩා කාලේ ඉඳලම මේ දරුවො දෙන්නට විවිධ දුක් ගැහැටවලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා. ඔය කුඩා කොහොඹා බණ්ඩාර, මහ කොහොඹා බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, සඳුගල් බණ්ඩාර කියන පිරිස මේ දරු දෙන්නට හරියට හතුරුකම් කරල තියෙනව. ඉතින් ඒ පිරිසගෙන් මේ දරුවො දෙන්නා හංඟගෙන කවාගෙන පොවාගෙන මේ දරු දෙන්න රැක බලා ගන්න ඔය කියන කළුව සෑහෙන වෙහෙසක් අරන් තියෙනවා. එතෙන්දි අපේ ගෝත්‍රයේ අයත් ඔහුට වගේම මේ දරුවෝ දෙන්නටත් උදව් කරලා තියෙනවා.

ඉතින් කළුවා තමා මේ දෙන්න කැලේ හංඟගෙන රැක බලාගෙන තියෙන්නේ. මේ තුන්දෙනා කාලයක්ම ඉඳලා තියෙන්නේ මහවැලි ගං ඉවුර දෙපැත්තේ තියෙන කැලෑවල.

දවසක් මේ කළුවා මහවැලි ගඟේ මෙහා ගොඬේ ඉන්නකොට එයාට පේනව එහා ගොඬේ මී මැස්සො රංචුවක් මල් පැණි අරං හුන්නස්ගිරිය පැත්තට පියාඹනව. මේ මීමැස්සො මේ විදිහට පැණි අරං යන්නේ හුන්නස්ගිරිය පැත්තේ තියෙන යහන්ගල පැත්තට වෙන්න ඕනෑ කියලා හිතන කළුවත් ගඟේ ගල් උඩින් පැනපැන මී මැස්සො පස්සෙන් යන්න පටන් ගත්තා.

කරුමෙකට වගේ එක ගලකින් පනිද්දි කළුවා බිම ඇදගෙන වැටිලා ඔළුව ගලක ඇනිලා එතනම මියගියා. හැබැයි එයා මිය යද්දිත් අර රැකගත්ත දරු දෙන්න ගැන තිබුණු අපමණ සෙනෙහසින් තමා අන්තිම හුස්ම හෙළුවේ. ඒ නිසාම ඔහු මිය යාමෙන් පස්සේ හුන්නස්ගිරිය කැලේම කළුබණ්ඩාර දෙවියො විදිහට යළි උපත ලබලා මේ දරු දෙන්නට ආරක්ෂාව දීලා ලොකුමහත් කරලා තියෙනව. ඉතින් ඔය කාලේ හිටපු අපේ ගෝත්‍රයේ අනිත් පිරිසත් කැලේ හිටපු මේ හුරතල් දරුවො දෙන්නට පලවැල ගෙනැත් දීගෙන එයාලා රැක බලාගෙන තියෙනවා. ඒ නිසා තමා උන්නාන්සේ අදටත් මේ ආදිවාසී ජනතාවට බැල්ම දාගෙන ඔවුන් ආරක්ෂා කරන්නේ.

උන්දැ ඔය මී ඇදුමෙදි (මී කඩන්න යද්දි) මිය ගිය නිසා තමා අදටත් තොවිල් පවිල්වලදී මී කැඩීම කියලා නැටුමක් කරන්නේ. ඔය මල් එළි නටනකොටත් බඹර කැපිල්ල කියලා එකක් කරන්නේ මේ නිසයි.

ඔහුගේ යළි උපත ගැන කියැවෙන පද කීපයක්ද ආදිවාසී නායකයා අප හමුවේ ගායනා කළේය.

“හුන්නස්ගිරිය වැඩ හිටි හාමුදුරුවනේ
දුන්නක් අරන් සීතා එළිය වැඩි මිනේ
වැදි දන සත හැමට සිරි සෙත සදාගෙනේ
සිරිකොත හරිනු කඩවර හාමුදුරුවනේ”

ආදිවාසීහු බොහෝ අවස්ථාවන්හිදී කළුබණ්ඩාර දෙවියන්ට පුද පූජා සත්කාර කරන බවද ආදිවාසී නායකයා පවසයි.
මහියංගණ සමන් දේවාල පෙරහරේදී මේ කඩවර දෙවියන්ට විශේෂ තැනක් දෙන්නට ආදිවාසී ජනතාව කටයුතු කරනවා. විශේෂයෙන්ම ඒ පෙරහරත් එක්කම රෑ මැදියමේ තියෙන පැණි පෙරහරේදිත්, (පැණි ඇඟේ තවරාගෙන ඒ මත පුළුන් දවටාගෙන කරන නැටුමකි) උදේට තියෙන දොඩම් පෙරහරේදිත් කළුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් බොහෝ පුද පූජා පැවැත්වෙනවා. ඒ වගේම අපේ තොවිල්වලදිත් උන්නාන්සේ වෙනුවෙන් නැටුම් කරනවා.

අපිට නිරතුරුවම උන්නාන්සේගේ පිහිට ලැබෙනවා. කාලෙකට ඉස්සර මේ රටේ තිබුණු මහ වසංගතවලදි ගම්මාන පිටින් විනාශ වුණා. නමුත් උන්නාන්සේගේ බැල්ම නිසා මේ ආදිවාසින්ට කිසිම දෙයක් උණේ නැහැ.

හැබැයි ඉතින් උන්වහන්සේ ගැන විශ්වාසය අඩුවෙලා උන්වහන්සේ සමච්චලේට ලක් කළොත් නම් ඒ අයට දඬුවම් ලැබෙනවා. ඒ වගේ සිද්ධි මහ ගොඩක් තියෙනවා.

දවසක් තිබුණා තොවිලයක්. ඕක බලන්න ආව ගැටයෙක්. කළුබණ්ඩාර දෙවියො නටද්දි උසුර්‍ළු විසුළු කරන්න පටන් ගත්තා. පහුවදා එළි උණේ අර ගැටයට ලේ බඩ යන්න පටන් අරගෙන. මොන දේ කළත් සුව වුණේ නැහැ. අන්තිමට කළුබණ්ඩාර දෙයියන්ට පුද පූජා තියලා උන්දැගෙන් සමාව අරන්, හඳුන්
ගොටුවකට යැදලා නූලක් දාලා තමා සනීප වුණේ.

ඒ විතරක් නෙමෙයි උන්නාන්සේගේ උදහසට ලක් වුණොත් ඇස් රෝග හොරි දද කුෂ්ට රෝග වගේ දේවලුත් හැදෙනවා. හැබැයි ඉතින් මේ හැම දේටම වඩා අපි උන්වහන්සේ විශ්වාස කරගෙන වැඩ කරන නිසා අපිට කිසි අපල උපද්‍රවයක් නැහැ.

බොහෝ දෙවිවරුන්ට මෙන්ම කළුබණ්ඩාර දෙවියන්ටද ආවේණික ශරීර කායක් තිබේදැයි අපි නායක ඇත්තන්ගෙන් විමසුවෙමු. ඔහු මෙසේ කීය. කළුබණ්ඩාර දෙයියන්ගේ රූපයක් ගැන නම් කියන්න අමාරුයි. හැබැයි ඉතින් උන්වහන්සේටත් තියෙන්නේ දෙවිවරුන්ගේ රූපයට සමාන රූපයක්. උන්වහන්සේගේ සිරුර තද කර්‍ළු පැහැතියි කියල තමා කියන්නේ.

උන්වහන්සේගේ රූපයක් මහියංගණ සමන් දේවාලයේ තියෙනවා මම දැකලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ කළුවර ලීයකින්. එක අතක මලා ලීයෙන් හදපු ගල් දුන්නක් තියෙනවා. අනිත් අතේ හෙල්ලයක් හරි කෙටේරියක් හරි තියෙනවා. මට ඒක හරියට කියන්න මතක නැහැ. මුහුණ හරියට දේව රූපයකට සමානයි. කළුබණ්ඩාර දෙවියන්ට පුද පූජා පවත්වන්නේ ආදිවාසීන් පමණක් නොවේ, ඌව පළාතේ සිංහල බෞද්ධයෝද සෙසු ආගමිකයෝද කළුබණ්ඩාර දෙවියෝ විශ්වාස කරති. පුද පූජා පවත්වති.

වසර විසි තිස් ගණනක් තිස්සේ කළුබණ්ඩාර දෙවියන් ඇතුළු ප්‍රාදේශීය දෙවිවරුන් වෙනුවෙන් ගම්බාර දේවාලයක් ඉදිකරගෙන උන්වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වන මීගහකිවුල අරාව පාරේ දේවාලේගෙදර ඩී.එම්. මුතුබණ්ඩා මහතා කළුබණ්ඩාර දේවතාවුන් ගේ උපත ගැන මෙසේ කීවේය.

“කළුබණ්ඩාර දෙවියෝ නැතිනම් කඩවර දෙවියෝ කියන්නෙ මව්කුසකින් උපන් කෙනෙක් නොවෙයි. එතුමා රාවණා රජුගේ දියණියක් වන සීතාපතී නුවර සීතාපතී බිසවුන් වහන්සේගේ ලේ ගර්භය (හදවත) පළාගෙන උඩ ගිය ලේ බින්දුවෙන් උපන් කෙනෙක් විදිහට තමයි මන්ත්‍ර පොත්වල සඳහන් වෙන්නේ. කළුබණ්ඩාර දෙවියන්ට කඩවර යක්ෂයා කියලත් සමහරු කියනවා.
ඒ ගැන සඳහන් මන්ත්‍රයක කොටසක්ද මුතුබණ්ඩා මහතා ගායනා කළේය.

“සීතාපතී නුවර සීතාපති බිසවුන් වහන්සේගේ මාතා මා ගර්භය පළාගෙන උඩගිය ලේ ගොබයෙන් කඩවර රීරි දේවතාවා උපන්නේය, බිම වැටුණු ලේ බින්දුවෙන් කඩවර රීරි යක්ෂණිය උපන්නේය. මේ දෙදෙනා උපන් තුන් පැය මුක්ඛාලයට මේ නරලොව ගොඩ බසින්නට ඕනෑයි කියා අන්ද කඩවර, මන්ද කඩවර, ඇවලුම් කඩවර, වෙව්ළුම් කඩවර, හිට්ටි කඩවර, ඉරමුදුන් කඩවර, සඳ මුදුන් කඩවර, සැන්දෑ කඩවර, පෙරයම කඩවර, අලුයම කඩවර ආදී වූ කඩවර හැට හතර කට්ටුවක් පිරිවරාගත් රීරි දේවතාවා………….

කඩවර දේවතාවාගේ ඇල්ම බැල්ම වැඩිපුරම ඇත්තේ මහියංගණ බිම්තැන්න වෙල්ලස්ස වියළුව ආදී පළාත්වලට බවද මුතුබණ්ඩා මහතා පැවසීය. ඔහු ඒ ගැන මෙසේද කීවේය.

මහත්තයෝ, කළුබණ්ඩාර දෙවියො වැඩියෙන්ම මේ පළාත් වල ඉන්න හේතුවක් තියෙනවා. ඉස්සර ඉඳලම මේව ගොම්මන් කැලෑ. ඒ වගේම දොළ පාරවල් කදුරු හැම තැනම තියෙනවා. කළුබණ්ඩාර දෙවියො කියන්නේ වැදි යක්ෂයාගෙම කොටසක් නිසා උන්වහන්සේ කැලෑවට ගහට කොළට හරිම ආදරෙයි. විශේෂයෙන්ම ඉර නගින, ඉර මුදුන් වෙන වගේම ඉර බහින වෙලාවට තමා උන්නාන්සේගේ බැල්ම වැඩිපුරම වැටෙන්නේ. ඒ වගේම සිකුරාදා, ඉරිදා සහ අඟහරුවාදා දිනවල ඔහු වඩාත්ම බලගතුයි.

හැබැයි ඉතින් උන්නාන්සේ මේ ඕනැම තැනක ඕනැම වෙලාවක ඉන්නවා. අර කතරගම දෙවියන්ට වගේ විශේෂිතව කියන්න තරම් රූපකායකුත් උන්වහන්සේට නැහැ. හැබැයි හරිම කර්‍ළුයි. ඒකනේ ඒ නම වැටිලා තියෙන්නේ. මෙයාට හැට හතර කට්ටුවක වැදි සේනාවක් ඉන්නවා. කළුබණ්ඩාර දෙවියන් ඇදහීම වැඩිපුරම කරන්නේ වැදි ජනතාව. කොළ අතු ඉණ වට බැඳගෙන නටන එක වගේම කිරි කොරහ නැටීම තුළිනුත් ඒ අය කඩවර දෙවියන්ට පුද පුජා පවත්වනවා.

නාන තොටවල්වලදී මෙන්ම මහ වනාන්තර රුක් ගොමු ආදියේදීද කඩවර දේවතාවන්ගේ ඇල්ම බැල්ම වැටෙන බවද මුතුබණ්ඩා මහතා පවසයි.

“ගොම්මන් කැලෑ. දොළ පාරවල් කඳුරු වගේ තැන්වලට ගියාම කළුබණ්ඩාර දෙවියන්ගේ බැල්ම වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට කඳුරුවල නාද්දි ඇඟට වැලි වැටෙනවා. සමහර වෙලාවට හූ කියනව ඇහෙනවා. එහෙම නැතිනම් ගල් ගහනවා ඇහෙනවා. කළුබණ්ඩාර දෙවියො තමා එහෙම කරන්නේ. මේ වගේ වෙලාවට අපිත් හූ කියන්න ගල් ගහන්න ගියොත් කේන්ති ගන්න කළුබණ්ඩාර දෙවියො ඒ තැනැත්තාට ඇල්ම බැල්ම දිෂ්ටිය දානවා.

කළුබණ්ඩාර දෙවියන් මිනිසුන් ප්‍රිය කරන සෑම ආහාරපානයකටම එක සේ ප්‍රිය කරන බවත් කළුබණ්ඩාර දෙවියන්ගේ දිෂ්ටිය වැහුණු කෙනෙකු සුවපත් කරන්නට නම් ඒ සියලු දේ ඇතුළත් තට්ටුවක් ඔහු වෙත පූජා කළ යුතු බවත් මුතුබණ්ඩා මහතා පැවසිය.

කළුබණ්ඩාර දෙවියන්ගේ දිෂ්ටිය වැටුණොත් මොන ප්‍රතිකාර කළත් හරියන්නේ නැහැ. දොළ පිදේනි දීල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා තමා එළවන්න වෙන්නේ. ඒ සඳහා අල පහ, බඩ පහ, කැවිලි පහ, භෝජන පහ, පුළුටු පහ, හත්මාළු බත්, පාට නවයක බත්, රා ගොටු හතක්, මල් පහන් ආදිය අසුරන ලද මල් බුලත් තට්ටුවක් තියන්න ඕනෑ. මේ සියල්ල කරලා යාදිනිය කළාම එතුමන් දිෂ්ටිය අත්ඇරලා යන්න යනවා.

ඒ සඳහා භාවිත කරන මන්ත්‍රයක කොටසක්ද මුතුබණ්ඩා මහතා සිහිපත් කළේය.

මතුරට ගලාද ඔකඳ ගලේයා, වතුරට බොරදිය උස නොගනීයා
අකුරට ශිල්පය හට නොනගීයා, සීතාපති නම් මව් බිසවුන්නේ
දේවරජ්ජුරුවෝ දෙයියෝ කියන්නේ, තනයේ කිරි දෙන්නෙකුට පොවන්නේ
සුළැඟිල්ලේ කිරි බොන කුමරුන්නේ, කඩවරටයි මුව මළ සිටුවන්නේ
ඉඩෝරෙටයි මළ කඳුළු සිඳෙන්නේ කෝවිලටයි රන් ආයුධ ගන්නේ
කළුවර කළුබණ්ඩාර වඩින්නේ

අතු අග රුක් පල ගති නාරං, එළවා තලවා පැන යන වඳුරන්, ගොදුරට බැදු දැමුවා වැනි මදුරන්, හිමයට අධිපති කඩවර දෙවිදුන් කළුවෙන් කළුවට කලුවැඩි සාමි ……………………..

කළුබණ්ඩාර දෙවියන්ගේ දිෂ්ටිය වැසී ඇද්දැයි දැන ගන්නේ පතුරු පේනයක් බැලීමෙනි. කෙසෙල් පතුරු දෙකක් ගෙන දෙපසින් දෙදෙනෙකු එය සමාන්තරව අල්ලාගෙන සිටිද්දී කපු මහතෙකු කළුබණ්ඩාර දෙවියන්ට එය දිෂ්ටි කරයි. දුම්මල ගසමින් මෙලෙස දිෂ්ටි කරද්දී කෙසෙල් පතුරු දෙක ළංවන්නේ නම් ආතුරයාට වැසී ඇත්තේ කළුබණ්ඩාර දෙවියන් යැයි ගුරුන්නාන්සේලා තේරුම් ගනිති. ගුරුකම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

“මහත්තයො අපි තොවිල් නටන කට්ටිය. සමහර වෙලාවට තොවිල් නටනකොට තොවිල් පිටියේ ඉන්න අයට කළුබණ්ඩාර දේව දිෂ්ටිය වැහෙනවා. ඊට පස්සේ ආරූඩෙන් නටනවා. ඒ වෙලාවට දහ පහළොස් දෙනෙක් ඇල්ලුවත් ආයෙ පාලනය කරනවා බොරු. පුදුම බලයක් තියෙන්නේ.

කළුබණ්ඩාර දෙවියන්ගෙන් පොට වරද්දා ගත් කීප දෙනෙකුටම සිදුවූ අතරතැබ්බ ගැනද මුතුබණ්ඩා මහතා තම මතකය අවදි කළේය.

“වැඩි ඈතක නෙමෙයි මේ එහා අග්ගලා උල්පත ගමේ කෙනෙක් දවසක් ගිහින් කදුරක නාලා තියෙනවා. නාද්දි වැලි වගයක් ඇඟට වැටිලා තියෙනවා. මෙයා හිතලා තියෙන්නේ කවුරු හරි කොලොප්පමට මේක කරනවා කියලා. එයත් හූවක් දෙකක් කියල කැලේට ගල් දෙක තුනක් ගහලා තියෙනවා. හැබැයි වැලි ගහපු කෙනෙක් ඉඳලා නැහැ. අන්තිමට මෙයා ගෙදර ඇවිත් තියෙනවා. ඒ ආව විතරයි එයාට මතක. මේ මනුස්සය මගේ ළඟට ගේනකොට හරියටම රෑ දොළහයි. අත් කකුල් බැඳලා හත් අට දෙනෙක් අල්ලගෙන තමා ආවේ. “මට නාන්න යන්න දීපියව්” කියාගෙන මේ මනුස්සය කෑ ගහනව. හූ කියනවා. අල්ලගෙන ඉන්න මිනිස්සුත් එක්ක පෙරළන්න හදනවා. අන්තිමට අපි එකතුවෙලා දොළ පිදේනි දීලා ගුරුකමක් කළා. ගුරුකම පටන් ගත්ත විතරයි මෙන්න අර දඟලපු මිනිහ මල් බුලත් තට්ටුව දිහා බලාගෙන හරිම සාන්ත විදිහට ඉන්නවා. අන්තිමට ගුරුකම ඉවර වෙද්දි මිනිහට හොඳටම සනීපයි.
කළුබණ්ඩාර දෙවියන් සමග විහිළු තහළු කරන්නට යාමත් ඔහු රවටන්නට යාමත් ජීවිත අනතුරේ හෙළීමක් බවද හෙතෙම පැවසීය.

“කළුබණ්ඩාර දෙවියන් වහන්සේ හොඳට හොඳයි, හැබැයි ඉතින් පොට වරද්ද ගත්තොත් ඉතින් විනාශයි. හොඳ කතාවක් කියන්නම්. මම මුලිනුත් කීවනේ මෙයාට යදිනකොට මිනිසුන් කන බොන හැම දේම තියන්න ඕනෑය කියලා. විශේෂයෙන්ම මෙයා වෙනුවෙන් රා ගොටු හතක් තියන්න ඕනෑ. රා හොයා ගන්න නැතිනම් අරක්කු හරි තියන්න ඕනෑ. දවසක් මිනිහෙක් ගොටුවලට දාන්න ගෙනාව අරක්කු ටික බීලා ඒ වෙනුවට වතුර පුරවල මල් බුලත් තට්ටුව සූදානම් කළා. යාතිකාව පටන් ගත්ත විතරයි. කළුබණ්ඩාර දෙවියො ආවේශ වුණ ආතුරයා සම්පූර්ණ විස්තරේ කියමින් නටන්න පටන් ගත්තා. අන්තිමට ආතුරය හොඳටම ලෙඩ වුණා. උණ ගැනිලා ලේ බඩ ගිහින් අන්තිමට ආතුරය මිය ගියා. කිසිම කෙනෙකුට බේර ගන්න බැරි උණා”

ගුරුකම් කරනකොට එකඑක යකැදුරෝ දෙවිවරුන්ට වගේම යක්ෂයන්ට ආරාධනා කරනවා. මුලින්ම ගෙන්වන්නේ කළුබණ්ඩාර දෙවියො. හැබැයි අත්දැකීම් අඩු එක ගුරුන්නාන්සේ කෙනෙකුට මේක අත් වරැද්දකින් අමතක වුණා. ලෙඩාට තිබුණේ කර්‍ළුබණ්ඩාර දිෂ්ටිය. හැබැයි මෙයා තුන්පාලිය ගුරුකම කළාට කර්‍ළුබණ්ඩාර දෙවියන්ට අවශ්‍ය මල් බුලත් තට්ටුව හැදුවේ නැහැ. දිෂ්ටි කරගෙන යනවත් එක්කම ලෙඩාට ඔල්මාදේ හැදුණා. දිව එළියට ඇවිත් ලේ බින්දු වැටෙන්න පටන් ගත්තා. ගුරාටත් දැන් කර ගන්න දෙයක් නැහැ. අන්තිමට මට පණිවිඩයක් ආව ආතුරයට හොඳටම අමාරුයි කියලා. මම යනකොට ආතුරයගේ කටට ගිරයක් දාල. මනුස්සයට හොඳටම ඔල්මාදේ. කටෙන් නහයෙන් ලේ ගලනවා. මම වුණේ මොකක්ද කියලා තේරුම් ගත්ත. ඉක්මනට කළුබණ්ඩාර දෙවියන්ට පැහැදුම් හදලා කුකුලෙක් යැදලා දිෂ්ටි කළා. ඊට පස්සේ තමා අර මනුස්සය සනීප උණේ. හැබැයි අපි පමා උණා නම් එයා එදා මැරෙනවා.

මෙයා දෙවි කෙනෙක් වුණත් යක්ෂ දිෂ්ටියක් තියෙන කෙනෙක්. අමු මස්, පුළුටු, රීරී කුකුල්ලු ආදියට තමයි කැමැති.
අප ඇසූ බොහෝ ජනප්‍රවාදවලට අනුව කළුබණ්ඩාර දෙවියන් යනු කලෙකට පෙර මනුස්සාත්මයක් හිමිව තිබූ පුද්ගලයෙකි. ඔහු දේවත්වයට පත්ව ඇත්තේ තම ගෝත්‍රික සමාජය වෙනුවෙන් ඉටුකළ ඉමහත් සේවා නිසාමය.

කළුබණ්ඩාර දෙවියන්ගේ පුරාවත ගැන කවුරුන් කුමන අදහසක් දැරුවද ඒ කතා තුළින් වත්මන් සමාජයටද උගත හැකි පාඩම්ද බොහෝය. සමාජයට හොඳ වැඩ කරන්නෝ මිය ගියද ඔවුන්ගේ නාමය නොදිරන බව අපි අසා ඇත්තෙමු. “නාමේ නොදිරනා – කුණු කය දිරනා ………….” යනුවෙන් හැත්තෑව දශකයේදී ඒ.එම්.යූ. රාජ් නම් දමිළ ගායකයාට ගයන්නට සිංහල ගීත රචකයෝ ඒ ගැන කියවෙන පදවැල් ඇමිණුවේද ඒ නිසාමය.

සමාජයට යම් යහපතක් කොට යමෙකු මිය ගියද ඔහුගේ නම කිසි දිනෙක මිනිසුන්ට අමතක නොවෙයි. දේවත්වයට පත්වීම හෝ නොවීම හෝ කෙසේ වෙතත් මිනිසුන් අතර දෙවියකු වීමට අප සමාජයේ ඕනෑම අයෙකුට දුර්ලභ මිනිසත් බව තුළින් අවස්ථාවක් හිමිව තිබේ.

(විශේෂ ස්තූතිය – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ භාෂා පරිවර්තක දඹාන රේඩියෝවේ සන්නිවේදක ඌරැවරිගේ විමලරත්න ඇත්තන්ට)

කතාව සහ පින්තූර
වියලුවේ නිශාන්ත කුමාර

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!