page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / අවාරේ ශ්‍රීපාදය අදෘශ්‍යමාන බලවේග වලින් ගහනයි.. සමන් දෙවියන්ගේ සුදු ඇතා සිරිපතුල වදින්නේ අවාරෙටයි

අවාරේ ශ්‍රීපාදය අදෘශ්‍යමාන බලවේග වලින් ගහනයි.. සමන් දෙවියන්ගේ සුදු ඇතා සිරිපතුල වදින්නේ අවාරෙටයි

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්වෙයි. සැම්බර් මාසයේ උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි.

ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වීම සනිටුහන් වන්නේ ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් චාරිත්‍රානුකූලව සමන් ගිරෙන් පහළට වැඩම කරවීමත් සමගය.

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමේදී සුවිශේෂී වත් පිළිවෙත් රැසක් වේ. වන්දනා වාරය නිමාවට පත්වන්නේද එවැනිම සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කිරීමෙන් පසුවය.

ශ්‍රී පාදස්ථානය හා ඊට සම්බන්ධ කටයුතු සියල්ලම වන්නේ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩමළුවේ භාරකාර හිමියන් හා තේවා භාර හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. මේ හැරුණු කොට උඩමළුවේ රාජකාරි ඉටු කරන රාජකාරිකරුවන් පහළොස් දෙනකු පමණද මේ කටයුතු සඳහා සහභාගි වේ.

සෑම වසරකම වෙසක් පුන් ‍පොහොය නිමාවට පත්වෙද්දී ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ වන්දනා වාරය අවසන් කිරීම සඳහා උඩමළුවට වැඩම කරති. වෙසක් ‍පොහෝ දිනයට පසු දින අලුයම් කාලයේ ශ්‍රී පාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ශ්‍රී පාද පද්මය අසලට වැඩම කරති. එහිදී විශේෂ ගිලන්පස, බුද්ධ පූජාවක්, පැවැත්වේ. ඉන්පසු උඩමළුවේ සමන් දේවාලයේද විශේෂ දේව පූජාවක් පැවැත්වේ. මේ අවස්ථාව වන්දනා වාරය තුළ උඩමළුවේ සිදුවන අවසන් ආගමික කටයුත්තය. යැයි අනතුරුව උඩමළුවේ වෙසෙන හේවිසි වාදකයින් මඟුල් බෙර වාදනයක් හා තේවා බෙර වාදනයක් කිරීමද පැරණි චාරිත්‍රයකි.

මෙම තේවා බෙර වැයීමෙන් පසු බැතිමතුන්ට උඩමළුවට ඇතුල් වීම තහනම් වෙයි. අනතුරුව ශ්‍රී පාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනාවක් පවත්වද්දී උඩමළුවේ කපු මහත්වරුන් හා රාජකාරිකරුවෝ වන්දනා වාරය නිමාවට පත් කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට පෙළ ගැසෙති.

සෙත් පිරිත් දේශනාවෙන් පසුව එළැඹෙන සුබ නැකතින් මුලින්ම උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව පිටතට වැඩම කරවනු ලබයි. ඉන්පසුව සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණද පිටතට වැඩම කෙරේ. ශ්‍රී පාද පද්මයට ඉහළින් ඉදිකර තිබෙන රන් පියැස්සේ කොත් වහන්සේ දෙනමද ඉන් පසු එම ස්ථානවලින් ඉවත් කෙරේ. ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කරනු ලබන්නේ ඉන්පසුවය. මේ සඳහා සුවඳ ද්‍රව්‍ය රැසක් මුසුකළ පැන් කළ 07ක් යොදාගනී. ශ්‍රී පාද පද්මය දෝවනය කර පිටතට ගලායන ජලය රැස්ව සිටින බැතිමතුන් බෝතල් ආදියට එක්රැස් කරනු ලබයි. මෙම ජලය අමා පැන් නමින් හැඳින්වේ. ඒවා පානය කිරීමෙන් හා හිස ගැල්වීමෙන් නිරෝගී භාවය ලැබෙන බවට විශ්වාසයක් පවතී.

පිටතට වැඩම කරවූ පූජා වස්තූන් උඩමළුවෙන් පහත මළුවට වැඩමවා හේවිසි හා සාදු නාද මධ්‍යයේම අලංකාර රන්සිවිලි සහිත දෝලා දෙකක තැන්පත් කෙරේ.

මේ කටයුතුත් සමගම ශ්‍රී පාද උඩමළුවේ හඳුන් කුටියේ දොරගුලු වැසේ. සමන් දේවාලයද වසා දමා දොරගුලු දමනු ලබයි. ඉන්පසුව දේවාභරණ සහිත දෝලාවන් පෙරටු කොටගත් පෙරහර උඩමළුවෙන් පහළට ගමන් අරඹන්නේ වෙසක් සඳ කිරණින් සමනළ අඩවිය ආලෝකමත් වෙද්දීය.

සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහිත පූජා වස්තූන් සමන් ගිරෙන් පහළට වැඩම කිරීමත් සමගම ශ්‍රී පාද උඩමළුව සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කලාපයක් බවට පත්වේ.

අවාර සමයේදී ශ්‍රී පාදස්ථානයේ පහළ මළුවේ රැඳී සිටින්නේ ශ්‍රී පාද මුරකරුවන් කිහිප දෙනා පමණි.

වන්දනා වාරය නිමා වීමෙන් පසුව ශ්‍රී පාද අඩවියේ සියලු මාර්ගවල විදුලිය විසන්ධි කෙරේ. උඩමළුවේ ශ්‍රී පාද පද්මය අසල විදුලි බුබුළු කිහිපයක් හැරෙන්නට අනෙක් ස්ථානවල විදුලි බුබුලු හා විදුලි රැහැන් පවා ගලවා ඉවත් කෙරේ. මස්කෙලිය විදුලි ඉංජිනේරු කාර්යාලය මගින් හැටන් මාර්ගයේ විදුලිය විසන්ධි කරනු ලැබේ. රජ මාවතේ විදුලිය විසන්ධි කරනු ලබන්නේ ඇහැලියගොඩ හා රත්නපුර විදුලි ඉංජිනේරු කාර්යාල මගිනි. පුරා හය මසක කාලයක් තිස්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක වූ සමනළ අඩවිය ඉන්පසු අඳුරේ ගි‍ලේ. ජල සැපයුමද තාවකාලිකව නතර කෙරේ.

පුරා මාස හයක කාලයක් තිස්සේ අතොරක් නොමැතිව බැතිමතුන්ගේ අත්වල පිරිත් නූල් ගැටගසන භාරහාර ඔප්පු කරවන පන්සල් හා දේවාල ගණනාවක් ශ්‍රී පාද අඩවියේ තිබුණද වන්දනා වාරය අවසන් වෙද්දීම එම ස්ථානද වැසී යයි. මේවායේ වෙසෙන භික්ෂූන් වහන්සේද නැවත සිරිපා අඩවියට පැමිණෙන්නේ යළි වන්දනා වාරය ආරම්භ වීමෙන් පසුවය.

සිරිපා වන්දනා සමය නිමාවට පත් වීමත් සමගම සිරිපා අඩවිය කෙළිබිමක් කර ගන්නා පිරිසක්ද වෙති. ඒ වන සතුන්ය. මාස හයක පමණ කාලයක් බැතිමතුන්ගෙන් හා වෙළෙන්දන්ගෙන් පිරී පවතින සමනළ අඩවියේ වෙසෙන සතුන්ට උපරිම නිදහස ලැබෙන්නේ අවාර සමය එළඹීමත් සමගය. ශ්‍රී පාද අඩවිය පිළිබඳ අචල භක්තියකින් පසු වූ ගැමි බෞද්ධයා අවාර සමය හඳුන්වන්නේ ‘සතා සිව්පාවා සිරිපතුල වඳින කාලය” ලෙසය. සමන් ගිරට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය වන සුදු ඇතා ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නේ අවාර සමය එළඹීමත් සමග බව පැරැන්නෝ විශ්වාස කරති.

එදා ගැමියන් අවාර සමයේදී සමනළ අඩවියට නොපැමිණියේ මේ කාලය තුළදී වග වලසුන්, සතා සිව්පාවුන් මෙන්ම විසකුරු සර්පයින්ද බහුලව සැරිසරන හෙයිනි.

වන්දනා සමයේදී පමණක් නොව අවාර සමයේදීද දහ පහළොස් වතාවක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර එහි ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම වර්තමාන ශ්‍රී පාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සිරිතය. ශ්‍රී පාද වන්දනා වාරයේ නිමාව පිළිබඳ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අදහස් දැක්වූයේ මෙසේය.

“වෙසක් පෙහොයෙන් පස්සේ වන්දනා සමය නිමා වුවත් අපි පුද පූජාවන්වල අඩුවක් කරන්නේ නැහැ. අවාර මාස හයේදීම ගල්‍පොත්තාවල පන්ස‍ලේදී තේවාව සිදු කරනවා. ඊට අමතරව පසළොස්වක ‍පෝයට ශ්‍රී පාද උඩමළුවේ වතාවත් කරනවා. අවාර කාලයේදී තමයි උඩමළුවේ හා ගමන් මාර්ගවල සංවර්ධන කටයුතු පටන් ගන්නේ. බැතිමතුන් නැති නිසා ඉදිකිරීම් කරන්න පහසුයි. අවාර සමයේදී සමනළ අඩවිය තුළ පාරිසරික වෙනස්කම් බොහොමයි. වන සතුන් බහුලයි. ඒ වගේම වචනයෙන් කියන්න බැරි අදෘශ්‍යමාන බලවේග රැසක් මේ කාලයේ ක්‍රියාත්මක වෙනවා. අධික වර්ෂාව, අකුණු ගැසීම්, සුළං කෝඩ, මීදුම වගේ පාරිසරික විපර්යාසත් මේ කාලය තුළ වෙනවා. මේ බව දැනගෙන තමයි අපේ පැරණි අය අවාරය වන්දනාවට නුසුදුසු බව පැවැසුවේ. අපිට ස්වභාවධර්මයට එරෙහිව යන්න බැහැ. ඊට යටත් විය යුතුයි. අවාර කාලයේ සමනළ අඩවියට එන අය විවිධ ගැහැටවලට ලක්වෙනවා. දියේ ගිලෙනවා සීතලෙන් මියයනවා. සතුන්ගේ ප්‍රහාරවලට ලක්වෙනවා. මේ බව තේරුම්ගත යුතුයි. පුද බිමේ ගෞරවය වගේම පරිසර සුන්දරත්වය ගැනත් අපි හිතන්න ඕනෑ.”

අවාරේ සිරිපා වදින සුදු ඇතා කවුද ?

බෞද්ධ සාහිත්‍යයේ හා බුද්ධ චරිතයේ පූජනීයත්වය පාරිශුද්ධත්වය සංකේතවත් කරමින් සුදු ඇතා ගැන බොහෝ විට කියවෙයි. පෙරපින් මහිමය හෝ දෙවියන් දීම නිසා ඇලි – හැලි හෙවත් සුදු ඇතුන් ලැබෙන බව විශ්වාසයයි. විද්‍යාත්මකව සුදු වර්ණය ලැබිම ඉංග්‍රීසියෙන් ඇල්බිනෝ හෙවත් ඇල විකෘතිය ලෙස දැක්වෙයි. සුදු ඇතා අනිත් ඇතුන්ට වඩා පිංවත්, වැඩි සැලකිලි ලබන, නුවණ ඇති, උසස් ගති පැවතුම් ඇති, ලෙස පිළිගැනෙයි. සුදු ඇතෙකු ලැබිම ඉතා කලාතුරකින් සිදුවන නිසා එවැනි දුර්ලභ ඇතුන් රාජකීය හෙවත් මංගල ඇතුන් ලෙස සලකන ලදී. සුදු පාට මංගල වර්ණයකි. ජන ප්‍රවාදයට අනුව ශ්‍රීිපාදයට අධිපති සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි. සමන් දෙවි ගැන කියවෙන කවි ‍පොත්වල ශ්‍රීපාද අඩවියේ ඇලි ඇතා ගැන කියවෙයි. අවාරයේ උඩ මළුවට පැමිණ සිරිපතුල නමදින බව විශ්වාසයයි. හතර කෝරළේ අලුත්නුවර දෙවියන්ගේ වාහනයද සුදු ඇතෙකි.

බෞද්ධ සාහිත්‍යය අනුව ශක්‍ර දෙවිඳුගේ ඓරාවන ඇතා සුදු ඇතෙකි. ඓරාවන ධවල හස්තියෙකු බව සාහිත්‍ය ග්‍රන්ථවල එයි. ධවල හෙවත් ඇලි ඇතා මෙන්ම මුළුමනින්ම කාල වර්ණ ඇතාද ඉතා දුර්ලභ වටිනා සතෙකු වෙයි. බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් දින මහමායා බිසව දුටු සිහිනය අනුව ඇය අනෝතප්ත විල්තෙරට ගෙන ගොස් දෙවඟනන් විසින් නාවා පිරිසිදු කොට සරසන ලදුව කුස තුළට සුදු ඇත් පැටවකු පිවිසෙනු සිහිනෙන් දුටු බව පැවසේ. බුද්ධ චරිතය විස්තර කරන සංස්කෘත ලලිත විස්තරයේ මේ සිද්ධිය ඉතා චමත්කාරව වර්ණනා කරයි. මෙහි සුදු ඇතා ලෙස සංකේතවත් වූයේ මව්කුස පිළිසිඳ ගැනීමයි. බෝසතුන් බිහිවූ දින පන් සියක් සුදු ඇතුන් කපිලවස්තු නුවර වටා ප්‍රදක්ෂිණා කළ බව මහායාන බෞද්ධ ග්‍රන්ථවල එයි.

සුදු ඇතුන් දඹදිව හිමාලය, ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවල සිටින බවට හා ජීවත් වූ බවට සාධක ඇත. හිමාලයේ වසන බව කියන උ‍පොසථ- ජද්දන්ත යන කුලවල ඇත්තු ස්වභාවයෙන්ම සුදුය. උන්ට අහසින් යා හැකි බව සාහිත්‍ය ග්‍රන්ථ කියයි. චක්‍රවර්තී රජෙකු පහල වූ විට උන් එම රජු වෙත අහසින් එන බව කියවෙයි. බොධිවංශය චක්‍රවර්තී ලක්ෂණ විස්තර කිරීමේදී චක්‍රවර්තී රජෙකුට ධවල ශරීර ඇති අහසින් යා හැකි රිදී පර්වතයක් බඳු උ‍පෝසථ හෝ ජද්දන්ත කුළ ඇතකු එන බව කියයි. ජද්දන්ත කුලයේ නම් එන්නේ හැමවිට බාල සුදු ඇතෙකි. උ‍පෝසථ කුලයේ නම් හැම ඇතුන්ටම ඇතා චක්‍රවර්ත්ති රජුගේ වාහනය වෙයි. බෝධි වංශය අනුව කාලිංඝචක්‍රවර්ති රජුට වාහනය වූයේ උ‍පෝසථ කුල සුදු ඇතෙකි. ඇලි ඇතෙකු සිටියොත් ඌ ජද්දන්ත හෝ උ‍පෝසථ කුලයට අයත් ඇතෙකු අහසින් අවුත් වදා ගිය ඇත් පැටවකු හෝ දෙවියන් දුන් සතෙකු බව බෞද්ධ විශ්වාසය විය.

ජාතක ‍පොතේ වෙස්සන්තර ජාතකය අනුව වෙස්සන්තර රජු දන්දුන්නේ සුදු ඇතෙකි. වෙස්සන්තර කථාව දක්වන බුත් සරණ කර්තෘ විද්‍යාචක්‍රවර්ති වෙස්සන්තර රජු දන් දුන් ඇතා දෙවියන් දුන් සර්ව ශ්වේත පච්චය නම ඇති නියඟ කාලයට වර්ෂාව ලබා දෙන ඉතා දුර්ලභ සුදු ඇතෙකු බව කියයි. මනුෂ්‍ය ලෝකයට ඉතා දුර්ලභ මේ සුදු ඇතා බලා ගැනීමට ඇත්රැටියන්, ඇත් වෙදුන් ආදී පන්සියයක් කුලවල අය හා ඌ නාවනු, කවනු. ‍පොවනු පිණීස වෙනම පිරිවර විය. උගේ විශේෂ පළඳනා හැර ආභරණ සැරසිළිවල වටිනාකම සූවිසි ලක්ෂයක් බව බුත්සරණ කියයි. සුදු ඇතෙකු සිටින විට ඌ සිටින තැන වියන් බැඳ වටිනා රන් බඳුන්වල ආහාර දෙයි. සුවඳ දුම් අල්ලයි. විශේෂ ස්ථානයක තබයි. රන් අබරණින් සැරසී උගේ පිටට නගින බව කියවෙයි. මේ සඳහා විශාල සේවක පිරිසක්. අධික වියදමක් දැරීමට වෙයි.

විශාල වත්‍පොහොසත්කම් ඇති රජෙකුට පමණක් සුදු ඇතා නඩත්තු කළ හැකිය. දුටු ගැමුණුරජු (ක්‍රි.පූ 161-137) කල සිටි විජිතපුර සටනට මූලිකවූ කඩොල් ඇතා සුදු ඇතෙකි. මහාවංශය අනුව ගැමුණු කුමරු උපන් දින ජද්දන්ත කුලයේ ඇතෙකු ගංතෙර පඳුරු අතර තබා ගොස් සිටි මේ සුදු ඇත් පැටවා කඩොල් නම් වැද්දාට හමු වී රජුට දැන්වූ නිසා කඩොල් වැද්දාගේ නමින් ඇතාට කඩොල් ඇතා යයි නම් තබා ඇත. ථූපවංශය අනුව ගැමුණු කුමරුගේ පිනෙන් හිමාලයේ ජද්දන්ත කුළ ඇතින්නන් අහසින් පැමිණ ගං තීරයක මේ ඇත් පැටවා දමා ගිය බව කියයි. සද්ධර්මාලංකාරයේ දුටු ගැමුණු වස්තුව අනුව උ‍පෝසථ කුල ඇතින්නක් අහසින් පැමිණ ගං තීරයක මේ ඇත් පැටවා දමා ගිය බව කියයි. මහාවංශය, ථුපවංශය, සද්ධර්මාලංකාරය අනුව කණ්ඩුල හෙවත් කඩොල් ඇතා ධවල හස්තියෙකු බව පැහැදිලිය. කඩොල් ඇතා විජිතපුර සටනට පෙරමුණ ගෙන යුද වැදුණු අතර වැසි වැස්සීම, අහසින් ගිය බව කියා නැත. විජිතපුර සටනේදී සතුරන් කකාරන ලද ලෝදිය උගේ පිටට වත් කරන ලදුව ඌ වේදනාවෙන් කෑ ගසමින් අසල වූ දිය අග‍ලේ ගිලුණේය. එවිට ගැමුණු රජු ඇත් වෙදුන් ලවා කඩොල් ඇතාට ප්‍රතිකාර කර උගේ සමට මී හරක් හම් තබා බැඳ ආරක්ෂාව සැලසූ බව කියයි. කාවන්තිස්ස රජු මිය ගොස් ගැමුණු කුමරු කොත්ම‍ලේ වෙස්වලා ගෙන සිටියදී කුමරු සොයාගෙන ආ පිරිස ඉදිරියේ. කොත්ම‍ලේ පුසුල්පිටි විහාරයේ ගල්තලාවේදී රාජ දූතයින් සමග පැමිණි සුදු ඇතා රජකම සඳහා, ගැමුණු කුමරුට දණ නමා ආචාර කර පිටට නැගීමට ඉඩදුන් බව කියවෙයි.

චූල වංශය අනුව මායා රට මාණාභරණ රජු හා රත්නාවලී දේවිය දරුවන් නැතිව දුකින් දරුවෙකු පතා නොයෙක් දේව පූජා කළහ. දිනක් රත්නාවලීදේවිය සුදු ඇත් පැටවකු පැමිණ තමා වැළඳ ගන්නා බව සිහිනෙන් දුටුවාය. සිහිනය තේරුම් කළ බමුණන් කීවේ ඉතාම පින්බර කුමරෙක් රත්නාවලී බිසවගේ කුස පිළිසිඳ ගත් බවයි. චූල වංශය අනුව මානාභරණ රජුට දාව රත්නාවලි බිසව කුස පිළිසිඳි ඒ කුමරු ‍පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුය (1157-1183) මේ සිද්ධිය විස්තර කරන ගයිගර් චූල වංශ ඉංග්‍රීසි පරිවර්තනයේ දී සුදු ඇතා ලංකාවේ ඉතා පාරිශුද්ධ සතෙකු වූ බව කියයි.

කුරුණෑගල කල ලංකාවට ආ විදේශ සංචාරකයෙකු වූ ‘ඉබන් බතුතා කියන පරිදි කුනකර් රජුට (ඉබන් බතුතා කියන කුනකර් රජු යනු එදා කුරුණෑගල රජ කළ රජු බව පෙනෙයි.) ඇලි ඇතෙකු සිටි බව කියයි. මෙලොව අන් කිසිම කෙනෙකුට එබඳු වස්තුවක් නැති බව ඉබන් බතුතා කියයි. සුදු ඇතෙකු තමා දුටු පළමු අවස්ථෘව මෙය බව ඔහු කියයි. උත්සව අවස්ථාවල මේ සුදු ඇතා රතුමැණික් ආදියෙන් සරසා රජු ඌ පිට නැගී යන බව ඉබන් බතුතා කියයි.

බුරුමය හා තායිලන්තයේ සුදු ඇතා උසස් කොට සලකයි. සියම් රජුට සුදු ඇතෙකු සිටින බැවින් රජුට ධවල ගජපති යන විරුදාවලිය යෙදෙයි. ධවල ගජපති යනු සුදු ඇතුන් හිමි රජු යන අර්ථය දෙයි. තායිලන්ත රජවරු ධවල ගජපති විරුදාවලිය භාවිතා කරති. තායිලන්තයේ අවුරුදු පතා සුදු ඇතුන් සඳහා ප්‍රණාම උළෙලක් පවත්වයි.

ලංකාවෙන් මිලදී ගත් සුදු අලියෙකු ඕලන්ද වෙළෙඳ සමාගම 1939 ඇම්ස්ටර්ඩෑම් නුවරදී ප්‍රදර්ශනයට තබා ඇත. ශ්‍රී විජය රාජසිංහ රජු (1739-1747) උපසම්පදාව ගෙන ඒමට සියමට ගිය විල්බා ගෙදර මොහොට්ටාල තම ගමන ගැන ලියා ඇති වාර්තාවල සඳහන් පරිදි සිංහල දූත පිරිස සියමේදි සියම් රජු සතු රිදි දම්වැලකින් බඳිනා ලද ඉතා වටිනා සුදු ඇතෙකු දැක ඇත.

1736 පහතරට ඕලන්ද වෙළෙඳ සමාගමේ දූතයෙකු ලෙස උඩරටට ආ ඕලන්ද තානාපති ඩැනියෙල් ආදීන් උඩරටට පැමිණ දුටු විස්තර වාර්තාව අනුව සෙන්කඩගල රජ මැදුර අසල ඔහු පිළිගැනීමට උළෙලක් විය. මේ පෙරහරේ ඇතුන් රාශියක් විය. (මේ වන විට උඩරට රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයි) මේ ඇතුන් අතර අනිත් ඇතුන්ට වඩා විශාල, තනි සුදුපාට එක් ඇතෙකු විය. මේ තනි සුදු ඇතා මෙල්ල කළේ සුදු උඩු රැවුලක් ඇති මහල්ලෙකි. ඔහුගේ සහයට හෙන්ඩු රැගත් තවත් තිදෙනෙකු විය. නරේන්ද්‍රසිංහ රජු කල සිටි මේ සුදු ඇතා ගැන ඩැනියෙල් ආදීන් තොරතුරු දක්වයි.

තිස්ස, සූරියවැව, හම්බන්තොට, වැල්ලවාය, යන ‍පොලිස් වසම් හතර මැදිව බොදාගම මත්තල අතර පිහිටි අලුත්කැන්වැව ඇත් රංචුවකට මැදිවී දළ හතරක් යුතු සුදු ඇතෙකු සිටින බව 1982 මාර්තු 04 දින දිනමිණ පත්‍රයේ පළ විය. මේ වාර්තාව අනුව තිස්ස අඩවියේ ගැවසුණු සුදු ඇතාට දළ හතරක් විය.

මැදවච්චිය හලඹගස්වැව කැ‍ලේ දිග දළ ඇති සුදු ඇතෙකු ගැවසෙන බව 1981 ජූනි 30 දින දිනමිණ පත්‍රයේ පළ විය. දැනට වසර දෙකකට පමණ පෙර කතරගම අවට ඇත් රංචුවක සිටි සුදු ඇතෙකු ගැන තොරතුරු පුවත් පත් වල පළ විය. මේ සුදු ඇතා කතරගම අවට කැලෑවල ගැවසෙයි.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

-dhamma

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!