page hit counter
Friday , September 22 2017
Breaking News
Home / සුව අරණ / cancer / ස්වයං පිළිකා පරීක්ෂාවෙන් පිළිකා හඳුනාගන්නා ආකාරය මෙන්න

ස්වයං පිළිකා පරීක්ෂාවෙන් පිළිකා හඳුනාගන්නා ආකාරය මෙන්න

පිළිකාව මුලින් හඳුනා ගත්තොත් එය සුව කළ හැකි තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම පෙර පිළිකා තත්ත්ව හෝ පිළිකා ඉතා ප්‍රාථමික අවධියේදී හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණ (Cancer Screening tests) මඟින් රෝගී අවස්ථාවට පත්වීමට පෙර පුර්ව රෝගී අවස්ථාවේ හෝ රෝගයේ ඉතාම ප්‍රාථමික අවධියේ පසුවන පුද්ගලයන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකියාවක් තිබෙනවා.

මෙවැනි පරීක්ෂණ සිදු කිරීම සඳහා සපුරා තිබිය යුතු නිර්ණායක කිහිපයක් පහත සඳහන් කර ඇත. ස්වයංව පරීක්ෂා කරගත හැකි ආකාරයට සිදු කරගැනීමට පුළුවන් පිළිකා වර්ග කිහිපයක්ම තිබෙනවා. පිළිකා කළින් හඳුනාගැනීම සඳහා සිදු කළ හැකි එවැනි ස්වයං පරීක්ෂා කිහිපයක් වන්නේ,

* ස්වයං මුඛ පරීක්ෂාව

* ස්වයං පියයුරු පරීක්ෂාව

* ස්වයං වෘෂණ පරීක්ෂාව

මෙම ස්වයං පරීක්ෂාවල දී යම් සැකයක් ඇති වුවහොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

එසේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ද මෙවැනි පරීක්ෂණ සිදු කරනු ඇත. ඒවා වනුයේ,

* පැප් පරීක්ෂණය

* මැමෝග්රෑම් පරීක්ෂණය

* PSA පරීක්ෂණය

* අසූචි සාම්පලවල රුධිර කොටස් හඳුනාගැනීමට සිදු කරනු ලබන පරීක්ෂණය (Stool Occult Blood) Colonoscopy of Sygmoidoscopy පරීක්ෂණ

ඔබට කළ හැකි ස්වයං මුඛ පරීක්ෂාව

හොඳ ආලෝක තත්ත්වයක් යටතේ, කණ්ණාඩියක් ආධාරයෙන් ඕනෑම කෙනකුට තම මුඛය ඇතුළත පරීක්ෂා කරගැනීමට පුළුවන. එමගින් මුඛ කුහරය තුළ ඇති විය හැකි සුදු සහ රතු පැල්ලම්, ‘වෙල්වට්’ කැබලි වැනි කොටස් සහ තුවාල ආදිය හඳුනාගැනීමට පුළුවන. මෙවැනි වෙනස්කම් වලට බොහෝ විට හේතු වන සාධක නම් බුලත්විට හැපීම, දුම්පානය ආදියයි. මෙවැනි චර්යා නතර කිරීමෙන් පසු ඉහත වෙනස්කම් පහව ගොස් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ. එසේ ම ශල්‍යකර්ම මගින් එවැනි කොටස් ඉවත් කිරීම මගින් එම තත්ත්වය සම්පූර්ණයෙන් ම සුවපත් කිරීමට ද පුළුවන.

ස්වයං මුඛ පරීක්ෂාව මගින් කැඩුණු දත් සහ දත්වල ඇති කුහර හඳුනා ගැනීමට පුළුවන. මුඛ කුහරය තුළ ඇති ශ්ලේශ්මල පටලය සහ දිව, කැඩුණු දත්වල සහ නියමිත ප්‍රමිතියට නොසාදන ලද දත් ඇඳි වල බොහෝ කාලයක් ගැටීමට පුළුවන. එමඟින් ඇතිවන උද්දීපනය හේතු කොට ගෙන පිළිකා හටගැනීමට පුළුවන. එබැවින් එවැනි තත්ත්වයක් දන්ත වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ලබාගැනීම යෝග්‍ය වේ. මසකට වරක් පමණ මෙම පරීක්ෂාව සිදු කරගැනීම සුදුසු ය.

පැප් පරීක්ෂණය (Pap Smear test)

මෙමඟින් ගැබ් ගෙලෙහි පෙර පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට පුළුවන. යෝනි මාර්ගයට ඇතුළු කරනු ලබන Ayers Spatula නැමති සරල උපකරණය හෝ සියුම් බුරුසුවක් ගැබ්ගෙල දක්වා ඇතුළුකර ගැබ්ගෙල ප්‍රදේශයේ සෛල ස්වල්පයක් ඉවතට ගෙන අන්වීක්ෂ පරීක්ෂණයට ලක් කරනු ලැබේ. මෙය ඉතා සරල පරීක්ෂණයක් වන අතර ඒ සඳහා ගත වන්නේ මිනිත්තු කිහිපයකි. වේදනාකාරී නොවේ. සමහර අයට මෙම පරීක්ෂණයට පසු ව මඳ ලේ වහනයක් සිදු වීමට ඉඩ තිබේ. මෙය ස්වභාවික තත්ත්වයකි. බිය විය යුතු නැත. ඉබේම සුව වී යයි.

ලිංගික ව සක්‍රිය සෑම ස්ති‍්‍රයකම අවුරුද්දකට හෝ දෙකකට වරක් පැප් පරීක්ෂාව සිදු කරගැනීම සුදුසු වේ. මෙම පරීක්ෂණයේ ඇති වැදගත්කම වන්නේ ගැබ්ගෙල පිළිකාව සෑදීමට පෙර පුර්ව පිළිකා අවධියේ දී එම සෛලවල ඇති වෙනස්කම් හඳුනාගැනීම මගින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය හැකි වීම යි. මූලික අවස්ථාවේ ප්‍රතිකාර ගත හොත් ගැබ්ගෙල පිළිකා සම්පූර්ණයෙන් ම සුව කරගත හැකි ය.

ස්වයං වෘෂණ පරීක්ෂාව (Testicular Self Examination – TSE)

වෘෂණවල ඇති වන වෙනස්කම් හඳුනාගැනීම සඳහා තමා විසින් ම වෘෂණ පරීක්ෂා කරගැනීම ස්වයං වෘෂණ පරීක්ෂාව ලෙස හැඳින්වේ. මෙහි ඇති වැදගත්කම නම් වෘෂණ පිළිකාව ප්‍රාථමික අවස්ථාවේ දී හඳුනාගැනීමට හැකි නම් ඉතා සාර්ථක ව ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකි වීමයි. ඉතා සරල පරීක්ෂාවක් වන මෙය සාමාන්‍යයෙන් මාසයකට හෝ දෙකකට වරක් සිදු කිරීමට නිර්දේශ කෙරේ.

ස්නානය කරන හෝ ඇඟ සෝදන අතරතුර වෘෂණ කෝෂ සම ලිහිල් ව ඇති නිසා එවැනි අවස්ථාවක වෘෂණ පරීක්ෂා කිරීම පහසුදායක ය (මඳක් උණුසුම් වතුර ස්නානය කරන අවස්ථාවක මෙය සිදු කරන්නේ නම් වඩාත් සුදුසු ය)

රූප සටහනේ දැක්වෙන පරිදි වෘෂණ කෝෂයේ දෙපසින් අත්දෙක තබා වෘෂණවල ප්‍රමාණය සහ බර ගැන දළ අවබෝධයක් ලබාගන්න. එක් වෘෂණයට වඩා අනෙක් වෘෂණය මඳක් විශාල වීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වුවද එකකට වඩා අනෙක බරෙන් වැඩි නම් සැලකිලිමත් විය යුතුය.

ඉන්පසු වෘෂණ දෙක, ඒ ඒ පැතිවල ඇඟිලි සහ මහපටැඟිල්ල අතරට මැදි වන ලෙස තබාගෙන සෙමෙන් කරකවමින් වෘෂණය හා සම්බන්ධ ව ඇති Epididymis නමැති කොටස හඳුනාගැනීමට උත්සාහ ගත යුතුය. මෙය වෘෂණයේ පිටුපසට සහ ඉහළ පැත්තට වන්නට ඇති දිගටි ව්‍යුහයකි. මෙය අසාමාන්‍ය වර්ධනයක් නොවේ.

මේ ආකාරයට වෘෂණයට සම්බන්ධ ව ඇති ඉදිමීම්, ගැටිති හා වෘෂණවල තදගතියේ වෙනස්කම් හඳුනාගැනීමට පුළුවන. මීට අමතර ව සමහර රෝගීන්ට වෘෂණවල බර ගතියක් සහ යටිබඩ ප්‍රදේශයේ හෝ ඉකිලිය ප්‍රදේශයේ වේදනාවක් ද හටගැනීමට පුළුවන. මේ ආකාරයට යම් කිසි වෙනස්කමක් හඳුනාගත හැකි නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. එමගින් එය පිළිකා තත්ත්වයක් ද නැති ද යන්න දැනගැනීමටත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමටත් පුළුවන.

E මැමෝග්රෑම් පරීක්ෂණය (Mammogram)

සමහර පිළිකා වර්ග කළින් හඳුනාගත හොත් ඉතා සාර්ථක ව ප්‍රතිකාර කර සුවපත් කිරීමට පුළුවන. පියයුරු පිළිකාව එවැනි ආකාරයේ පිළිකාවකි. පියයුරු පිළිකාව මුල් අවධියේ දී හඳුනාගැනීමට ආධාර වන විශේෂ පරීක්ෂණයක් ලෙස Mammogram පරීක්ෂණය සඳහන් කළ හැකි ය. පියයුරු පිළිකා වැලඳීමට ඇති අවදානම වයස්ගත වීමත් සමඟ ඉහළ යයි. වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවන් සෑම වසර දෙකකට වරක් මෙම පරීක්ෂණයට ලක්වීමට නිර්දේශ කෙරේ. අවදානම් සාධක සහිත කාන්තාවන් වෛද්‍ය උපදෙස් මත මීට ප්‍රථම මෙම පරීක්ෂණයට ලක් වීමට නිර්දේශ කෙරේ.

සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ සහිතව රෝගියකු වෛද්‍යවරයකු වෙත පැමිණි විට රෝගියා පරීක්ෂා කර බලා, අවශ්‍ය නම් මැමෝග්රෑම් පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබේ. වෛද්‍ය නිර්දේශවලින් තොර ව පවා මෙම පරීක්ෂණය සිදු කරගත හැකි ය.

එසේ ම එක් පියයුරක පිළිකාවක් වැලදී ඇති කාන්තවන්, මවට, සහෝදරියකට, දියණියකට වැනි පවුලේ ළඟ ඥාතියකුට පියයුරු පිළිකා වැළදී ඇති කාන්තාවන් වැනි පියයුරු පිළිකා වැළඳීමට වැඩි අවදානමක් සහිත කාන්තාවන් වාර්ෂික ව මැමොග්රෑම් පරීක්ෂාවට ලක් විය යුතුය. මෙහි දී පියයුරු දෙක පෘෂ්ට දෙකක් අතර මඳක් තද කර ඔ කිරණ ඡායාරූප ලබාගනු ලැබේ. පරීක්ෂණය සඳහා මිනිත්තු කිහිපයක් පමණක් ගත වන අතර, සමහරුන්ට පියයුරුවල සුළු අපහසු බවක් දැනිය හැකි ය.

පරීක්ෂණ සඳහා රෝගීන් පැමිණෙන විට ලිහිල් ඇඳුමකින් පැමිණීම රෝගියාට පහසු වනු ඇත. මෙම පරීක්ෂණ නිසා x කිරණවලට නිරාවරණය වීම පිළිබඳ සමහර දෙනා අතර බියක් ඇති වුව ද මෙමගින් සැලසෙන වාසි සංසන්දනය කිරීමේ දී එය නොසලකා හැරිය යුතු තරම් වේ. Mammogram පරීක්ෂණයට පසුව පියුයරු වල Ultrasound Ft පරීක්ෂයක් ද සිදු කරනු ලැබේ. මෙමගින් වඩා නිරවද්‍ය දත්ත ලබා ගැනීමට පුළුවන.

MRi Scan උපකරණය ආධාරයෙන් ද මැමොග්රෑම් පරීක්ෂණය සිදු කිරීමේ හැකියාව ඇත. මෙය Magnetic Resonance Mammogram (MRM) ලෙස හඳුන්වනු ලැබේ. මෙය සාමාන්‍ය මැමොග්රෑම් පරීක්ෂණයට වඩා සංවේදී පරීක්ෂණයකි. අධිචුම්බකත්වය භාවිත වන බැවින් කිසිදු විකිරණශීලිතාවකට නිරාවරණය වීමක් නොමැත. එනිසා තරුණ කාන්තාවන්ට සහ ගර්භණී මවුවරුනට මෙම පරීක්ෂණය ආරක්ෂාකාරී ලෙස සිදු කළ හැකිය. පරීක්ෂණය අතරතුර දී සාමාන්‍ය මැමොග්රෑම් පරීක්ෂණයේදී මෙන් පියයුර තද කිරීමක් සිදු නොවන නිසා සම්පුර්ණයෙන් ම වේදනා රහිත පරීක්ෂණයකි. මෙම පරීක්ෂණයේ ඇති අවාසිය නම් මෙය මිල අධික පරීක්ෂණයක් වීම ය.

ස්වයං පියයුරු පරීක්ෂාව,

පියයුරු නිරීක්ෂණය කිරීම සහ අතින් ස්පර්ෂකර පරීක්ෂා කිරීම යන අංග දෙකකින් යුක්ත වේ. මේ සඳහා පෞද්ගලිකත්වය ආරක්ෂා වන හා බාහිර බාධාවලින් තොර පරිසරයක් තිබීම වඩා සුදුසුය. රාත්‍රී නින්දට යෑමට පෙර හෝ දිය නෑමට පෙර මේ සඳහා යොදාගත හැකි ය.

පියයුරු නිරීක්ෂණය කිරීම
කැඩපතක් ඉදිපස සිටගෙන පළමුව අත් දෙක පහතට දමාගෙන ද ඉන් පසු අත්දෙක හිසට ඉහළින් තබාගෙන ද තෙවනු ව අත්දෙක ඉඟමත තබාගෙන පියයුරු නිරීක්ෂණය කළ යුතුය. අවසානයේදී ඉඟ ප්‍රදේශයෙන් මඳක් ඉදිරියට නැමී පියයුරු නිරීක්ෂණය කළ යුතු ය.

මෙලෙස පියයුරු නිරීක්ෂණය කරන අතරතුර පියයුරුවල හැඩයේ, පැහැයේ හෝ ප්‍රමාණයේ වෙනස් වීමක්, තනපුඩුවල වෙනස් වීමක්, සමේ ඇතුළට ගිලී යෑමක් වැනි වෙනස් කම් හඳුනාගැනීමට පුළුවන.

පියයුරු පරීක්ෂා කිරීම දෙවැනි ක්‍රමය

මේ සඳහා උඩුබැලි අතට දිගා වී ශරීරය ලිහිල්ව තබාගත යුතු ය. පියයුරු විශාල නම් පරීක්ෂා කරන පියයුර තිබෙන පැත්තේ උරහිසට යටින් කොට්ටයක් තබා එම පියයුර පරීක්ෂා කිරීම වඩා පහසු ය. වම් අත දකුණු පියයුර පරීක්ෂා කිරීමටත් දකුණු අත වම් පියයුර පරීක්ෂා කිරීමටත් භාවිත කළ යුතුය. එසේ ම පහත රූප සටහනේ දක්වා ඇති ආකාරයට පරීක්ෂා කරන පියයුර සහිත පැත්තේ අත ඉහළට කර, තම හිස පිටුපසින් තබා ගත යුතුය.

මෙමගින් පියයුරේ ඇති ගැටිති හෝ ඝනවිම් හඳුනාගැනීමට පුළුවන. ඉන්පසු කිහිලි ප්‍රදේශය පරීක්ෂාකර බැලිය යුතුය. එමගින් එම ප්‍රදේශයේ කුද්දෙටි ඉදිමීම් හෝ වෙනත් වෙනස් වීමක් ඇත් දැයි සොයා බැලිය හැකි ය. අවසානයේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල ආධාරයෙන් තනපුඩුව සෙමෙන් මිරිකා ලේ හෝ වෙනත් ස්‍රාවයක් පිට වේ දැයි පරීක්ෂා කළ යුතුය.

මෙම ස්වයං පියයරු පරීක්ෂාව මසකට වරක් සිදු කිරීමට නිර්දේශ කෙරේ. මාස ශුද්ධියෙන් සතියකට පමණ පසු ව ද මාස ශුද්ධිය නතර වූ කාන්තාවන් මාසයේ කිසියම් නියමිත දිනයක් ද මේ සඳහා යොදාගැනීම සුදුසු ය. මෙම පරීක්ෂාව දිය නෑම අතරතුර දී ද සිදු කළ හැකි ය. සබන්, ෂැම්පු වැනි දේ මගින් සම මතුපිට ඝර්ෂණය අඩුවන නිසා පියයුරුවල ඇති ගැටිති පහසුවෙන් හඳුනාගැනීමට පුළුවන. එසේ නැති නම් බේබි ක්‍රිම්, ම්ක ජෙලි වැනි ලිහිසි ද්‍රව්‍යයක් ද පියයුරු පරීක්ෂා කිරීමට භාවිත කළ හැකිය.

පියයුරු පරීක්ෂා කළ හැකි රටා
(Patterns of Breast Examination)
අතේ ඇඟිලි එක්කොට ඇඟිලි තුඩුවල ඇති පැතලි කොටස සමට සමාන්තර ව සිටින සේ පියයුරු පරීක්ෂා කළ යුතු ය.

මෙම පරීක්ෂාව ඉහත සඳහන් රූප සටහන්වල දක්වා ඇති ආකාරයට ක්‍රම තුනකට සිදු කරනු ලැබේ.

පළමු ක්‍රමයේ දී පියයුරේ බාහිර ප්‍රදේශයෙන් පටන් ගෙන රවුමක ආකාරයට තන පුඩුව දක්වා පියයුර පරීක්ෂා කළ හැකි ය. (Concentric Cirrcles)

දෙවන ක්‍රමයේදී තන පුඩුවේ සිට බාහිර ප්‍රදේශයට විහිදී යන රේඛා ආකාරයට පියයුර පරීක්ෂා කළ හැකිය (Radial pattern)

තුන්වන ක්‍රමයේදී ඉහළ හා පහළ යන රේඛා ලෙස පියයුර පරීක්ෂා කළ හැකිය (Up& Down Pattern)

මෙලෙස පියයුර පරීක්ෂා කරන අතරතුර, කුඩා රවුම් (Small Circles) ආකාරයට ඇඟිලිතුඩුවලින් සම ස්පර්ෂ කිරීම මගින් පියයුරේ ඇති වෙනස්කම් හඳුනාගැනීම වඩා පහසු වේ.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන

මේ වටිිනා ලිපිය හැමෝටම බලන්න පහතින් share කරන්න

Check Also

ඔබේ පියයුරේ වේදනාවෙන් තොර ගැටිත්තක් තිබෙනවාද???

ලෝකයට ආලෝකය දෙන්නී, කාන්තවයි. ඇය පිරිපුන්ව, නීරෝගීව සිටීම ඊට අත්‍යවශ්‍යය. ජීවිතය බින්දුවට ඇද දමන රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!