page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Education / sri lanka history / සීතාවක රාජසිංහ රජුට මරණය ගෙනා උණ උයන

සීතාවක රාජසිංහ රජුට මරණය ගෙනා උණ උයන

මධ්‍යාහ්නය ගෙවී ගතව ඇත්තේ හෝරා දෙකක පමණ කාලයකි. එහෙත්, වැහි බීරිම නිසා මුළු පරිසරයම මද අඳුරේ ගිලෙමින් ඇත. ගමන් විඩාව නිසා, කම්මැලිකම ද සිත රජයන්නට විය. එහෙත්, සීතාවක රාජධානියේ ශේෂ වූ අමරණීය ස්ථාන දැකබලා ගැනීමේ කැමැත්ත, ඒ කම්මැලිකමට නවතාලන්නට නොහැකි විය.

අපේ අරමුණ වූයේ, එවකට සීතාවක රාජධානියේ රජ වූ ටිකිරි කුමරු හෙවත් රාජසිංහ රජ මරණයට පත්කළා යැයි පැවසෙන පෙතංගොඩ කටු උන පඳුර නැරැඹීමට ය. එවකට සීතාවක රාජ්‍යයේ රාජකීයයන්, මේ පෙදෙසේ සිට උඩරට කරා ගමන් ගන්නා විට විවේක ගෙන ඇත්තේ මේ පෙතංගොඩ උයනේදී ය. නැත්නම්, රාජකීය මගුල් උයන, රාජකීය උද්‍යානය ලෙස ද මෙය සැලකිය හැකි ය.

ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේ සීතාවක රාජධානියට අයත්ව තිබූ මේ උයන ගුරුගොඩ ඔයත්, අතලව ඇලත් අතර පිහිටා තිබේ. වර්තමානය වනවිට, සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන අතරට අයත් පෙතංගොඩ ග්‍රාමය අදටත් ජනප්‍රිය වී පවතින්නේ, එදා රාජසිංහ රජුට මරණය අත්කර දුන් නපුරු උණ කටුව ඇනුණු ස්ථානය මෙය වන නිසා ය.

මෙහි යන අයට, අවිස්‌සාවේල්ල – කෑගල්ල පාරේ 19 වැනි කිලෝමීටර් කණුව අසල කන්නන්තොටින් වමට හැරී, මේ ස්ථානය කරා ගමන් කළ හැකි ය. වරකාපොළ සිට පැමිණෙන්නේ නම්, අඟුරුවැල්ල මංසන්ධියෙන් වමට හැරී, ගුරුගොඩ ඔය හරහා ඇති පාලමෙන් එගොඩවී, දකුණට හැරී, එම ඔය ඉවුරට සමාන්තරව ටික දුරක් ගිය විට පැරැණි පෙතංගොඩ උයන හමුවේ.

මේ ස්ථානය කරා ප්‍රවිශ්ට වන්නකුට දැකගත හැක්කේ, කොළ අඩු, තරමක් උල්වූ කටු ඇති උණ පඳුරු දෙකකි. මේ උණ කටු විශේෂය ලංකාවට රැගෙනවිත් ඇත්තේ දකුණු ඉන්දියාවෙන් බව, එම ස්ථානයේ සවි කර ඇති දැන්වීම් පුවරුවේ සඳහන් වේ.මේ උයන අලි ඇතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උයන වට කර අගලක් කපා තිබූ බව ද, ඒ අගලට පිටින් මේ උණ කටු පඳුරු සිටුවා තිබූ බව ද එහි ම දැක්වේ. සීතාවක රාජ්‍යය සමයේ සිට වූ කටු උණ පඳුරුවලින් අද වනවිට ශේෂවී ඇත්තේ උණ පඳුරු දෙකක් පමණි.

සීතාවක රාජසිංහ රජුගේ යටි පතුළේ ඇනී ඇත්තේ, මේ උයනේ සිටවා තිබූ කටු උණ පඳුරක කටුවක් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රාජසිංහ රජු , උඩරට රාජ්‍යයේ රජ වූ පළමු විමලධර්මසූරිය, නැතිනම් කොනප්පු බණ්ඩාර සමඟ සටන් වැදී පැරදී ආපසු එන අවස්ථාවේදී එසේ සිදුව ඇති බව ද සඳහන් ය. එසේ එන අතර, විඩාව සංසිඳුවා ගැනීම සඳහා විවේක ගැනීමට පෙතංගොඩ රාජකීය උයනට පැමිණි විටෙක එම උණ කටුව ඇනී, තුවාලය අසාධ්‍ය වී මරණය සිදුවූ බව පැවසේ. එහෙත්, මේ සිදුවීම හා සම්බන්ධ විවිධ කතා ද ඒ අතර ප්‍රකාශ වේ. රාජාවලිය සඳහන් කරන ආකාරයට, රජු කොනප්පු බණ්ඩාර සමඟ යුද වැදී සිදු වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම පෙතංගොඩ උයනට පැමිණි විට, රාජකීය වෙදැදුරු වූ ‍දොඩම්පේ ගණිතයා එම තුවාලයට විෂ බැඳීම හේතුවෙන්, කුකුළුබිත්තරවැල්ල ප්‍රදේශයේදී රජු මියගිය බව ද සඳහන් වේ. රැපියෙල් තෙන්නකෝන් කවියා, ‘වවුලුව’ නමැති කවි එකතුවේදී රාජසිංහ රජුගේ මරණය පිළිබඳ සඳහන් කරන්නේ මේ ලෙසට ය.

රාජසිංහ රජුට ඇති කරවා පිට ගැස්ම
දෙවැනි රජුන් ළය සනසා දුන් හුස්ම
කටු උණ පෙළ සිදු සඟනට අව් වැස්ම
පසෙකැත පෙතංගොඩ උයනේ මඩ ගැස්ම

දොඩම්පේ ගණිතයා රජුට වෛර කර, මෙසේ මැරීමට හේතුව, ඔහුගේ දියණිය පීල්ලකින් දිය නනා සිටි අවස්ථාවක, රාජසිංහ රජු ඇය අන්තඃපුරයට ගෙන යාම බව ද සඳහන් වේ. රජුගේ මුණුබුරකු වූ රාජසූර්ය කුමාරයා ද මේ වනවිට ගණිතයාගේ දුවට ආදරේ කරමින් සිට ඇත. යුද වැදී රුවන්වැල්ලට එන අතරේ රජුට හැදුණු සුළු තුවාලයට, දොඩම්පේ ගණිතයා ලවා විෂ බන්දවා, රජු අවසන් ගමන් යැවීමට කටයුතු කළේ රාජසූර්ය කුමාරයා බව ද සමහර ප්‍රවාදයක සඳහන් වේ. පෙතංගොඩ උයනේ උණ ගස්වල විස නැති බව ද, ඒ කාලෙදි මේ පිරිස සිදුවූ දේ වසං කිරීමට මෙවැනි කතාවක් ප්‍රබන්ධය කරන්නට ඇති බව ද සමහරුන්ගේ මතය වේ.

එවකට අක්කර ගණනාවකින් යුතු ප්‍රදේශයක් ලෙස මේ උයන පැවතී ඇත. යුද පරාජයෙන් පසු පෙතංගොඩ උයනට පැමිණි රජුගේ කකුලේ උණ කටුවක් ඇනී රජ මිය ගියා නොව, නාගයකු දෂ්ඨ කර ඔහු මියගිය බවට ද මතයක් පවතී. රජු සමඟ සිටි එදිරිවාදීන්, අශ්ව , ඇත්, ගව, කබර මළ මුත්‍රා එක්කර, එම තුවාලයේ තවරා මැතිරීමෙන් පසු පිටගැස්ම රෝගයට සමාන රෝග ලක්ෂණ පහළවී, දින දෙකකට පසු රජු මිය ගිය බව , ශෙලේන්ද්‍රසිංහ නම් රාජකීය වෛද්‍යවරයාගේ පුස්කොළ සටහනක දක්වා ඇති බව පොතපතෙහි සඳහන් වේ. කෙසේ වුවත්, රාජසිංහ රජුගේ මරණයෙන් පසු රජකම උරුම වූයේ රාජසූර්ය කුමාරයාට බව රාජ නාමාවලිය පිළිබඳ විමසා බැලීමේදී පැහැදිලි වේ.

තවත් ජනප්‍රවාදයකට අනුව, සටනින් පැරදී පසු බැස පැමිණි රජු, පෙතංගොඩ උයනට පැමිණි විට රාජසූර්ය කුමාරයාගේ අනුගාමිකයන් පහරදීමෙන්, දකුණු පාදය දරුණු ලෙසට ආබාධ වීම නිසා මේ රජුගේ මරණයට සිදු වූ බව පැවසේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ස්ථානය ඊට අයත් ස්ථානයක් බව සඳහන් පුවරු සවි කර ඇත. එම ස්ථානයේ හොඳින් වැඩුණු උණ පඳුරු දෙකෙහි ආරක්ෂාව සඳහා මීට පෙර යකඩ දැල්වලින් ඒවා වටකර තිබී ඇත ද, මේ වනවිට එම ආරක්ෂිත බව දැකිය නොහැකි ය. එහි ඇති දැන්වීමක සඳහන් වන්නේ, “පෙතංගොඩ කටු උණ පඳුර, අවවාදයයි. ඓතිහාසික වටිනාකමක් ඇති මෙම පෙතංගොඩ කටු උණ පඳුර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැකබලා ගන්නා පුරාවිද්‍යා ස්මාරකයකි. මෙම කටු උණ පඳුරුවල ඇති උණ ගස් කැපීම, එම උණ ගස්වල නම් ගම් කෙටීම හෝ ලිවීම හා වෙනත් හානි සිදු කිරීම 1998 අංක 24 දරණ පුරාවිද්‍යා (සංශෝදන) පනතේ 15. අ.වගන්තිය යටතේ අධිකරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදකි.” යනුවෙනි.

මේ පුවරුව මෙසේ සඳහන්ව තිබුණ ද, එහි යන ඕනෑම කෙනකුට දැකගත හැක්කේ, පඳුරේ උණ ගස් කපා ඇති සැටියකි. තැනෙක ඇත්තේ එසේ කපා දැමූ උණ ගස් ගොඩගසා වේලී ගොස් ඇති ආකාරයකි. විවිධ පුද්ගලයන්, උණ ගස්වල නම් ලියා, නම් කොටා ඇත. එම ස්ථානය රැකබලා ගන්නා මුරකරුවන් සිටින බව සමහරු පැවසුව ද, දින දෙකක් ම එහි ගිය අප දුටුවේ මුරකරුවන් නොව, එම කැළෑව සිය අණසකට ගෙන, මත් පැන්, මත් ද්‍රව්‍ය පරිහරණය කරන තරුණ ගැටව් ය. පරිසරය අවට හැම තැනකම ඉටි කොළ කැබැලි විසිරී ඇත. වෙනත් රටක ‍මෙවන් ස්ථාන, සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත් කර, එම ස්ථාන හරහා රටට ධනෝපායන මාර්ග සකසා ගන්නා නමුත්, අප වැන්නන් අපට උරුම ඓතිහාසික ස්ථාන විනාශමුඛයට යන්නට ඉඩහැර තිබීම, අපේ රටේ අවාසනාවකි. මෙවැනි ස්ථාන නැරැඹීමට යන දේශීය සංචාරකයන්ට ද, ගහක් ගලක් පෙන්නන්නට බැරි ය. යන සෑම ස්ථානයකම තම නම හණගැසීම පුරුද්දක් කරගත් සමහර මිනිසුන් නිසා සිදුවන්නේ, අනාගතයට දකින්නට ඇති අපේ උරුමයන් විනාශය කරා ගෙන යාමකි. මෙවැනි ස්ථාන සුරක්ෂිත කර ගැනීම, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේම වගකීමක් ලෙස නොගෙන, අපේ වගකීමක් ලෙස සිතා කටයුතු කළහොත්, අපේ රටේ ඇති උරුමයන් රැක ගැනීම අපහසු නොවනු ඇත.

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප – අන්තර්ජාලයෙනි

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!