page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / ජනපති මෛත්‍රීගේ ප්‍රහාරයෙන් කැබිනෙට්ටුව රත්වෙයි

ජනපති මෛත්‍රීගේ ප්‍රහාරයෙන් කැබිනෙට්ටුව රත්වෙයි

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සඳුදා සවස පැවැත්විණි. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ සයිටම් ගැටලුව වෙතය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවල තත්ත්වය ඉදිරිපත් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාය.

“මේ සාකච්ඡාවේදී රජයේ ප්‍රතිපත්ති ගැන අවධානයට ලක්වුණා. එම ප්‍රතිපත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා සිටියා” කිරිඇල්ල ඇමැතිවරයා පැහැදිලි කළේය.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් හා රජයේ ප්‍රතිපත්ති අතර පරතරයක් නෑ. මම එක එක පළාත්වල වෛද්‍යවරු එක්ක සාකච්ඡා පැවැත්වූවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව තවත් වෛද්‍ය සංගමයක් පිහිටුවන්න ඕන කියලා වෛද්‍යවරු යෝජනා කළා. අපේ වෛද්‍යවරුත් ගම්වලට ගිහින් මේ ගැන දැනුවත් කරන්න. සමහර රෝහල්වල වෛද්‍යවරු තීරණයක් ගන්න බයේ ඉන්නේ. අපි දේශපාලන නායකත්වය අරගන්න ඕන” රාජිත අලුත් වෛද්‍ය සංගමයක් බිහිකිරීම ගැන අදහස් දැක්වූවේය.

“සයිටම් ආයතනය අහෝසි කරන්න ඕන. නැතිනම් 88-89 කාලයේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. නැතිනම් රජයේ විශ්වවිද්‍යාලවල මුදල් ගෙවා ඉගෙනුම ලැබිය හැකි වෙනම අංශයක් ආරම්භ කරන්න ඕන” පාඨලී චම්පික රණවක කීවේය.
සයිටම් ප්‍රශ්නය ගැන අධිකරණයේ සිදුවන කටුයුතු ගැන අවධානය යොමු කළේ මෛත්‍රීය.
“සයිටම් නඩුවෙන් තීන්දුවක් ලැබේවි. ඒත් ආණ්ඩුවක් විදියට අපි එක ස්ථාවරයක ඉන්න ඕන” අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
“රජයේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට අපි හැමෝම එකට වැඩ කරන්න ඕන. මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂ කාලයේදී විරෝධතා ඉදිරිපත් කළේ නැහැනේ” රවුෆ් හකීම් පෙන්වා දෙන විට ආශු මාරසිංහ මන්ත්‍රීවරයාද ඔහුගේ සහයට එක්විය. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කීවේ වැඩ වර්ජනවලට යට නොවී ඒවා පරාජය කළ යුතු බවය.
මේ අතර කසළ කළමනාකරණය ගැනත් කතාවක් ඇදී ආවේය. කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඉසුර දේවප්‍රිය මහ ඇමැතිවරයාටත් ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයාටත් ඇති බලතල පාඨලීට ලබාදීමට තීරණය කළේ ගැටලුවට අවසන් විසඳුමක් ලබාගැනීමටය.

රාජිතට ලැජ්ජයිලු

මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී අඟහරුවාදා උදෑසන පැවැති කැබිනට් සාකච්ඡාව උණුසුම්වූයේ දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න ගැන ඇතිවූ කතාබහ නිසාය. එය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද ගැන රනිල් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ එහි නිල කාලය අවසන්වීමට නියමිතව තිබූ නිසාය.

“මේ කමිටු කාර්යාලය පිහිටුවලා කොච්චර කල් වෙනවාද? පරීක්ෂණ මන්දගාමීවයි සිදුවෙන්නේ. ඒ ගැන මම නීතිපති නිලධාරීන් සහ පරීක්ෂණ පවත්වන ඉහළ නිලධාරීන් ගෙන්වාගෙන පුද්ගලිකව කරුණු විමසුවා. ඒ අය කියන්නේ රජයේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් නිසා ඒ පරීක්ෂණ උඩට ගන්නේ නැහැ කියලයි”මෛත්‍රී දැඩිව කීවේය.
“එහෙම බලපෑම් කරන අය කවුද කියලා කියන්න” රනිල් විමසුවේය.
“මට ඕන නම් ඒ අය ගෙන්වලා මුහුණට මුහුණ තියලා ඒවා තහවුරු කරන්න පුළුවන්. රාජපක්ෂලා ආයිමත් ආවොත් මටයි මගේ පවු‍ලේ අයගේ ජීවිතවලටත් තර්ජනයක් එනවා. මාව මරවා ගන්නද ඕන වෙලා තියෙන්නේ. ඒත් එක්සත් ජාතික පක්ෂයේ අයට එහෙම තර්ජනයක් නැහැ. එහෙම තත්ත්වයක් ඇතිවුණොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කරගෙන යන්න පුළුවන්නේ.රාජපක්ෂලාගේ කාලෙදී බරපතළ විදියට දූෂණ වංචා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් මට ‍පොලීසියයි, නීතිපති දෙපාර්තමේන්තුවයි, මූල්‍ය අපරාධ කොට්ඨාසයයි මාස තුනකට දෙන්න. කරන්න ඕන මොනවාද, ඒව කරන්නේ කොහොමද කියලා මම පෙන්නලා දෙන්නම්. නිල රථය තවත් අමාත්‍යාංශයකට අරගෙන ගියා කියලා ෆවුසි ඇමැතිතුමා අත්අඩංගුවට ගන්න හැදුවා. දියණියට රස්සාවක් දුන්නා කියලා ප්‍රියංකර ජයරත්න ඇමැතිතුමා අත්අඩංගුවට ගන්න හැදුවා. මට උදව් කරපු ශ්‍රී ලංකා එකේ හැත්තෑ හය දෙනෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් රාජපක්ෂලාගේ කා‍ලේදී බරපතළ චෝදනා එල්ලවූ කාටවත් මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක කරලා නෑ” මෛත්‍රී කීවේ දැඩි ආවේගයකින් යුතුවය.

“මේ පරීක්ෂණ හරියට කරලා නෑ. අපි කිව්වේ දූෂණ වංචා කරපු අයට විරුද්ධව පරීක්ෂණ කරනවා කියලයි. එහෙම බලනකොට මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි. අපි ආණ්ඩුව හදන වෙලාවේ ‍පොරොන්දු වුණ විදියට බරපතළ දූෂණ වංචා පරීක්ෂණ කඩිනම් කරන්න” රාජිතත් ඉල්ලා සිටියේය. මේ ගැන අවසන් තීරණයකට නොපැමිණි නමුත් ලබන සතියේ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා කිරීමට එකඟත්වයකට ආවේය.

මහින්දගේ මුහුණ රතුවෙයි

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා සවස විවාදයකට එක්ව සිටියේය. ඔහු විවාදයේදී අදහස් දක්වන අතරවාරයේදී ආශු මාරසිංහ මන්ත්‍රීවරයා නැගී සිටිමින් මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී විදේශ ආයෝජන සඳහා ඉඩම් ලබාදීම ගැන ප්‍රශ්න කළේය.

“පහුගිය ආණ්ඩුව කාලයේදී ශ්‍රැංගිල්ලා එකට කොළඹ තියෙන හොඳම ඉඩම දුන්නේ නැද්ද? ඔබතුමා පුළුවන් නම් කියන්න” ආශු මාරසිංහ දිගටම ප්‍රශ්න කළේය. එහෙත් මහින්දානන්ද එයට සෘජු උත්තරයක් දුන්නේ නැත. ඒ සමගින් අනෙක් මන්ත්‍රීවරුද කෑගසන්නට වූ අතර පාර්ලිමේන්තුවේ ඇතිවූයේ කාලගෝට්ටියකි. ඒ අතර මහින්දද සභාවේ සිටියේය. එය දුටු ආශු මාරසිංහ මහින්දගෙන් උත්තරයක් ඉල්ලා සිටියේය. එහෙත් මහින්ද නෑසූ කන්ව සිටියා මිස උත්තර දෙන්න ගියේ නැත.
ටික වේලාවකින් මහින්ද ආසනයෙන් නැගිට සභාවෙන් පිටත්ව යාමට සූදානම් විය. ඔහු සභාවෙන් පිටත්ව යන විට ආශු මාරසිංහ සිටියේ විපක්ෂයේ ආසන තිබෙන පැත්තේ ඔහුට වෙන්කර ඇති ආසනයේය. ඔහුගේ ආසනය අසල මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද විය. ඔවුන් දෙදෙනා දුටු මහින්ද “ආහ්…..” යැයි කියමින් එතැනින් පිටත්ව යාමට සූදානම් විය.
“ඔබතුමා දැන්වත් අපිට ඇත්ත කියන්න. ශ්‍රැංගිල්ලා එකට ඉඩම දුන්නේ සින්නක්කරව නමෛයිද” ආශු ඇසුවේය.
“ඒක නමෛයි. දැන් ‍පෝට් සිටි එක අවුරුදු අනූනමයකට බදු දීලා තියෙන්නේ ඔයාලානේ. ඒක අපිට ලැබෙන කාලෙකට අපි ජීවතුන් අතරත් නැහැනේ” මහින්ද කීවේ ආශු ඇසූ ප්‍රශ්නය මගඅරිමිනි.

“අපි අනූනම අවුරුදු බද්දකට දෙන්නේ. සින්නක්කර අයිතියකට දෙන්නේ නෑ. ඔබතුමාගේ කාලයේදී සැලසුම් කරලා තිබුණේ ඒක සින්නක්කරව දෙන්නයි. එහෙම සින්නක්කරව දුන්නානම් ජාත්‍යන්තර නාවික නීති අනුව කිලෝමීටර දෙසීය හතළිහක මුහුදු තීරයක් අපිට අහිමි වෙනවා. චීනයට ඒ මුහුදු සීමාවේ අයිතිය ලැබෙනවා” ආශු කීවේ ජාත්‍යන්තර මුහුදු නීතිය ගැනත් සිහිපත් කරමිනි. එම කතාව මහින්දගේ හිතට ඇල්ලූ කතාවක් නොවීය. ඒ කතාවෙන් මුහුණ රතුකරගත් මහින්ද ආශුට උත්තර දෙන්න විය.
“ඔයාලා උපාධිකාරයෝ නේද? බොරු කියන්න එපා” මහින්ද කීවේ ආවේගයෙන් යුතුවය.“ලෝකයේ එහෙම නීති රීති තියෙනවා. කලින් අපිට තිබුණ මුහුදු සීමාවක් අහිමිවීමේ අවදානමක් තිබුණා. අපි දැන් බද්දට දෙන නිසා එහෙම අවදානමක් නෑ” ආශු තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත.
“බොරු කියන්න එපා. බොරු කියන්න එපා” මහින්ද කීවේය.
“අපි බොරු කියන්නේ නෑ. අපිට මුහුදු සීමාව අහිමිවීමේ අවදානමක් තිබුණ නිසා තමයි අපි ඒක කිව්වේ” ආශු කියන විට මහින්ද පිටුපසින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අසලට ගියේ තරමක කේන්තියකින් යුතුවය. එතැන සිටි මන්ත්‍රීවරු සමග ටික වේලාවක් කතා කරමින් සිටි මහින්ද විපක්ෂයේ ලොබිය දෙසට පිටත්ව ගියේය.
“මහින්ද යළිත් ආවොත් මචං ලැයිස්තුවේ ඉහළින්ම උඹේ නම තමයි ලියවෙන්නේ” මුජිබර් කීවේ ආශුගේ පිටට තට්ටුවක්ද දමමිනි.

ආණ්ඩුකාරකම ඉල්ලූ තානාපති

අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයට පැමිණියේ ඔහු හමුවීමට විදේශ අමුත්තන් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතව තිබූ නිසාය. විදේශ අමුත්තන් හමුවීමෙන් පසුව නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා රනිල් හමුවීමට ආවේය.“අත්දැකීම් හා ලෝක සම්බන්ධතා තියෙන රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයා විදියට පත් කළා. නැගෙනහිර සංවර්ධනය කරන ආණ්ඩුවේ සැලසුමේ පිටපතක් මහ ඇමැතිතුමාට වගේම ආණ්ඩුකාරතුමාටත් අපි දෙන්නම්. ඒ අනුව වැඩ කරන්න. සියලුම ජාතීන් ලාංකිකයින් විදියට හිතලා වැඩ කරන්න. බෝගොල්ලාගම ආණ්ඩුකාරතුමාට නැගෙනහිරට විදේශ ආයෝජන ගෙන ඒමේ හැකියාව තිබෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න” රනිල් නැගෙනහිර මහ ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.

ඉන් පසුව රනිල් හමුවීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අවධානයට ලක්වූයේද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය සම්බන්ධ තත්ත්වයයි. දැනට කටාර්හි ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ඒ එස් පී ලියනගේ තමන්ට ආණ්ඩුකාර ධුරය නොලැබිම ගැන කනගාටුවෙන් ජනාධිපතිට දොස් පැවරීම ගැන එහිදී අවධානය යොමුවිය.

“මහින්ද දිනවන්න ඔක්කොම කරලා අන්තිමට ගෙවලුත් දීලා පස්සේ මේ ආණ්ඩුවට හේත්තුවෙලා තානාපතිකම් ගනිපු අය ඊට පස්සේ තමන්ට ඕන කරන තනතුරුවලට ෆයිට් කරනවා. යහපාලනය ගේන්න කැපවුණු අය වේලෙනවා” රනිල් හමුවට ආ මන්ත්‍රීවරයෙක් කීවේ තරමක ආවේගයනික් යුතුවය.

සජිත්ගෙන් අභියෝගයක්

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ උදාගම් වැඩසටහන යටතේ කැකිරාවේ කණඨාභරණගම විවෘත කෙරුණේ සජිත්ගේ සහභාගිත්වය ඇතිවය. සජිත් සහ චන්දිම ගමගේ මන්ත්‍රීවරයා ගෙයින් ගෙට ගොස් පීත්ත පටි කපමින් නිවෙස් සියල්ල විවෘත කළෝය. නිවාස විවෘත කිරීමෙන් පසුව පැවති රැස්වීමේදී සජිත් චන්දිමගෙන් ඇසුවේ මීට පෙර පැවති උදාගම් ගැනය.
“අපේ තාත්තයි ඔයාගේ තාත්තා මහින්දසෝම ඇමැතිතුමයි එකතුවෙලා මෙහේ කොච්චර උදා ගම්මාන හදලා තියෙනවාද”සජිත් ඇසුවේය..
“ගොඩක් හදලා තියෙනවා. ගාණ නම් දන්නේ නෑ”චන්දිම ගමගේ කියන විට සජිත් සිය අමාත්‍යාංශයේ නිලධාරියෙක් කැඳවා ගත්තේය.
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ උදා ගම්මාන කීයක් හදලා තියෙනවාද කියලා බලන්න”සජිත් ඒ අවස්ථාවේදීම උපදෙස් දුන්නේය.
“අපේ තාත්තයි, ඔයාලාගේ තාත්තයි එකතුවෙලා හදලා තියෙන ගම්මාන ගාණට වඩා එක ගම්මානයක් හරි වැඩියෙන් අපි දෙන්නා එකතුවෙලා හදමු” සජිත් කීවේය.

ග්ලයිෆොසෙට් තහනම

ග්ලයිෆොසෙට් තහනම ගැන යළිත් කරළියේ සාකච්ඡාවක් මතුව තිබෙන්නේ කෘෂිකර්ම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඒ ගැන සාකච්ඡා වන නිසාය. මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට කැඳවීමක් තිබුණේය. එම කැඳවීම ගැන නිලධාරීහු නවීන්ට කරුණු දැක්වූහ.

“පාර්ලිමේන්තුවට ගිහින් ග්ලයිෆොසෙට් ගැන තිබෙන තත්ත්වය පැහැදිලිි කරන්න. මේ ගැන සොයා බැලීමට අගමැතිතුමා කමිටුවක් පත් කළා. මේ කමිටුවේ සිටි සාමාජිකයින් දොළොස් දෙනාගෙන් දහ දෙනෙක්ම තේ කර්මාන්තයට විශේෂයක් කරන්න කියලා තිබෙනවා. ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට වල් නාශකයක් ලෙස යොදා ගැනීමට ග්ලයිෆොසෙට් සීමිත ප්‍රමාණයක් ගෙන්වීමට අවසර දෙන්න කියලා තිබෙනවා. තේ පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රමාණය පමණක් ගෙන්වීමට තමයි අවසර තිබෙන්නේ”නවීන් කීවේ අමාත්‍යාංශ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දෙමිනි.

ඒ අනුව නිලධාරීන් කමිටුව හමුවට ගොස් අදහස් දැක්වූ අතර රතන හිමියෝද කමිටුව හමුවේ අදහස් දැක්වූහ.
“ග්ලයිෆොසෙට් නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. ඒ නිසා තමයි ඒක ආනයනය කිරීම තහනම් කිරීමට යෝජනා කර තිබෙන්නේ”රතන හිමියෝ සුපුරුදු පරිදි ග්ලයිෆොසෙට් ආනයනයට සිය විරෝධය දැක්වූවේය.

කමිටුවේදී සාකච්ඡා වූ කරුණු නිලධාරීන් සජිත්ට නැවත වරක් දැනුම් දුන් අතර නවීන් කීවේ මෙය ප්‍රශ්නයක් කර නොගෙන අවශ්‍ය විසඳුම් ලබාදෙන බවය.

වැස්සේ තෙමුණ ඇමැතිවරු

ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 125ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පා ගමනක් පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් හය දහසකගේ පමණ සහභාගිත්වයෙන් පැවති පා ගමන ආරම්භවූයේ විද්‍යාලීය ඕල්කට් ශාලාව ඉදිරිපිටිනි. විදුහල්පතිවරයාත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාත්, මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයාත් විශාල කොඩියක් එසවීමෙන් පසුව පා ගමන ආරම්භ විය. ඇමැතිවරු වෙනදාට අඳින ජාතික ඇදුම වෙනුවට ඇඳ සිටියේ පාස‍ලේ ටී ෂර්ට් සහ කලිසම්ය.

පා ගමන ආරම්භවී ටික දුරක් යන විට වැස්සක් ඇදහැලෙන්න විය. වැස්සේ ඇමැතිවරු යන විට කුඩ ඔසවාගෙන යාමට ආරක්ෂක නිලධාරීන් පැමිණෙන නමුත් ආරක්ෂක නිලධාරීන් කිසිවෙක් කුඩ රැගෙන ආවේ නැත්තේ ඔවුන්ට තමන් සමග පා ගමනේ ඒමේ අවශ්‍යතාවයක් නැතැයි ඇමැතිවරු කල් ඇතිවම දැනුම්දීම නිසාය. වැස්සේ තෙමි තෙමී කිලෝමීටර තුනකට වැඩි දුරක් ආ ඇමැතිවරුන්ගේ ජංගම දුරකථන වැස්සෙන් බේරා ගත්තේ පාගමන බැලීමට පැමිණි අය ගෙනවිත් දුන් බෑග්වල දුරකථන දමාගැනීම නිසාය.

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයා පාගමනට එක්වූයේ ගාල්ල කොටුවේදීය. මේ අතර ගාල්ලේදී පැවති ආදාහන පූජෝත්සවයකට සහභාගි වූ චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා වටකරගත් ස්වාමීන් වහන්සේ පිරිසක් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති තැන වෙනස් කිරීමට කටයුතු කරන්නේ දැයි විමසුවේය.

“අපේ හාමුදුරුවනේ මේක හවුල් ආණ්ඩුවක්. අපේ මතයට විතරක් වැඩ කරන්න බෑ. හැබැයි බුද්ධාගමට මොන යම්හරි හානියක් වෙනවා නම් ඇමැතිකමින් අයින් වෙනවා”චන්දිම කීවේය

මන්ත්‍රී ලණු අදී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී තිරිකුණාමලයට ගියේ එහි පැවති රැස්වීමක් ඇමතීමටය. ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ රැස්වීම පැවැති දින උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ත්‍රි’මලයේ කෝනේෂ්වරම් කෝවිලට ගොස් ආශිර්වාද ලබාගැනීමට අමතක කර තිබුණේ නැත. ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරු රැස්වීම් භූමියට එන විට පිරිස සංවිධාන කටයුතුවල යෙදී සිටියහ. ඩීවී චානක මන්ත්‍රීවරයා පැමිණියේ අව් කණ්ණාඩි දෙකක්ද දමාගෙනය. අව් කණ්ණාඩියත් පිටින්ම ඔහුත් ප්‍රසන්නත් වැඩට බැස්සේ පාක්ෂිකයින්ට උදව්වක් වෙමිනි.

ප්‍රසන්න රණතුංගත්, ප්‍රසන්න රණවීරත් උදලු දෙකක් අරගෙන රැස්වීම් භූමියේ චිප් ගල් තුනී කළෝය. තවත් අයෙක් ගෙනවිත් තිබූ ප්ලාස්ටික් පුටු ඇදගෙන ගියේය. මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබූ අට්ටාලය ලණු ඇද වෙන් කළේ චානකය. සවස මහින්ද රැස්වීමට පැමිණි අතර පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය රැස්වීමට පැමිණ තිබුණේ තමන්ගේ දරු දෙදෙනාද කැටිවය.
රැස්වීම අවසන් කළ මහින්ද ඇතුළු මන්ත්‍රීවරු විවේක ගැනීමට ගියේ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයාගේ තිරිකුණාමලයේ හෝටලයකටය.

මේ රැස්වීම ගැන පාර්ලිමේන්තුවට ගිය මහින්දගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු විමසා සිටියේ ඔහුගේ මුහුණට හමුවූ විටදීය. ඉන් පසුව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාත් මහින්දට හමුවිය.

“මුතුරාජවෙල ප්‍රශ්නයේදී කාවින්ද බැහැලම වැඩ කරනවා මම දැක්කා” මහින්ද කීවේ රූපවාහිනියේ විකාශයවූ වැඩසටහනක් ගැන කියමිනි.
“ඔව් සර්. ගමේ ප්‍රශ්නයක් නේ” කාවින්ද උත්තර දුන්නේය.
“ඔයත් ඉතිං තාත්තා වගේනේ”මහින්ද කීවේ ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සිහිපත් කරමිනි.
“මේ කුණු දැමිල්ලත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අන්තිමට උසාවි ගිහින් ඒක නතර කරගත්තා” කාවින්ද කීවේය.
“මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා දේශපාලන කෝණවලින් බලන්න එපා. ඒ වෙලාවට ගන්න ඕන මිනිස්සුන්ගේ පැත්ත” මහින්ද දේශපාලන පාඩමක් කියා දුන්නේය.

අනුරාධගේ නිවසේ රහස් කතාවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරු කණ්ඩායමක් අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමැතිවරයාගේ නිවසට පැමිණියේ රහස් කතාබහකට සහභාගිවීමටය. ඒ ආණ්ඩුවේ තවදුරටත් සිටිනවානම් ආණ්ඩුව තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් විය යුතුය යන ස්ථාවරය ගැනීමට හෝ නැතිනම් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට කරගෙන යාමට අවස්ථාව ලබාදී විපක්ෂයට එක්විය යුතුය යන ස්ථාවරය ගැනීම පිළිබද සාකච්ඡාවකටය.

මේ සාකච්ඡාවට මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ‍ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට කටයුතු කළේය. මහින්ද අමරවීරට සිය නිවසට එන්නැයි ආරාධනා කළේ අනුරාධ ජයරත්නය. ඒ අනුව අමරවීර අනුරාධගේ නිවසට ආවේ බදාදා රාත්‍රියේදීය.
“අපි දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. ආණ්ඩුවෙන් යන්න කා‍ලේ හරි” අනුරාධගේ නිවසට පැමිණ සිටි අරුන්දික ප්‍රනාන්දු කීවේය.

“අරුන්දික ඔයා සනත් නිශාන්තගේ ගැටවලට අහුවෙන්න එපා. අරුන්දිකවයි, ප්‍රියංකරවයි අරගෙන ඊළඟ පාර කොහොම හරි පරද්දනවා කියලා සනත් මට කිව්වා” මහින්ද අමරවීර කීවේයසුසන්ත පුංචිනිලමේ නියෝජ්‍ය ඇමැතිවරයාත් දීර්ඝව ප්‍රශ්න ගැන අදහස් දැක්වූවේය. තිබෙන ප්‍රශ්න මතු කළ ඔහු ඒවාට විසදුම් කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඉන් පසුව නියෝජ්‍ය ඇමැතිවරු තීරණය කළේ මහින්ද හමුවී සාකච්ඡා කිරීමටය. ඒ අනුව සිකුරාදා උදෑසන මහින්දගේ නිවසේදී සාකච්ඡාවකට වේලාව වෙන් කරගත්තේය. එහෙත් සූදානම් කරගත් ආකාරයට සඳුදා උදෑසන සාකච්ඡාව පැවැත්වුණේ නැත.
මේ අතර මෙම සාකච්ඡාවලට එක්වී සිටි ටී.බි. ඒකනායක තවදුරටත් සාකච්ඡාවලට සහභාගි කර නොගැනීමටද අවධානය යොමුවී තිබේ. ඒ ඔහු රහස් සාකච්ඡාවල තොරතුරු මාධ්‍යයට දුන් බවට චෝදනා එල්ල කරමිනි.

තිලකජය – මව්බිම

Check Also

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!