page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / හදවත පූජා කළ ප්‍රදීප්ගේ නාමය කිසිදා අප මතකයෙන් බැහැර නොයනු ඇත

හදවත පූජා කළ ප්‍රදීප්ගේ නාමය කිසිදා අප මතකයෙන් බැහැර නොයනු ඇත

තිදෙනකුට ජීවත් වීමේ වරමත් තවත් දෙදෙනකුට දෑසීන් ලොව දැකීමේ වරමත් ලබාදී ජීවිතයෙන් සමුගන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනා‍ටද? උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ විසූ 22 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත් පසුගිය 07දා සදහටම දෙනෙත් පියා ගත්තේ මෙවැනි පුණ්‍යකර්මයකට දායකත්වය ලබා දෙමිනි. හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියද ප්‍රදීප්ගේ වකුගඩු දෙක, දෙනෙත් පමණක් නොව හෘද වස්තුවද මේ වනවි‍ට ඔහු ජීවත්ව සිටියදී මෙන්ම ක්‍රියාකාරිය. මරණින් පසු සිය නාමය අමරණීය තත්ත්වයට ගෙන ඒමට අවශ්‍යය පසුබිම ඔහුගේ දෙමාපියන් විසින් ඔහුට උදාකර දී ති‍බේ. ඒ මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා ප්‍රදීප්ගේ හෘදය යොදා ගනිමිනි.

ඊට අවසර ලබා දුන්නේ ප්‍රදීප්ගේ පියා හා මවය.තිදෙනකුට ජීවත් වීමේ වරම් ලබා දුන් ප්‍රදීප් ඊයේ (10) වෙළම්බඩ හෙක්ටයාර් පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ තම මවුපියන්ට අසීමිත ගෞරවයක් ලබා දෙමිනි. ඒ බව පාංශකූලය සඳහා පැමිණි මහ සංඝරත්නයද සිහිපත් කරනු ලැබූවේ සැමගේ ඇසට කඳුළක් එක් කරමිනි.

මගේ පුතා මේ තරම් ඉක්මනින් අපිව දාලා යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එදා පුතා මෝටර් සයිකලෙන් මගේ බෑණා එක්ක ගිහින් එනකොට තමයි බයිසිකලේ වෑන් එකක හැප්පිලා තියෙන්නේ. ඒ වෑන් එක ගමේ ඩෙංගු වැඩසටහනකට ඇවිත් තිබුණ එකක්. බයිසිකලේ හැප්පුණ වෙලාවේ පුතා විසිවෙලා ගිහින් ඇළට වැටිලා තියෙනවා. එතන්ට ‍ගෙදර ඉඳලා වැඩි දුරක් නැහැ. පුතාව බඹරකන්ද ඉස්පිරිතාලෙට ගෙනිච්චට පස්සේ නුවරට මාරුකළා. පුතාගේ ජීවිතේ ‍බේරන්න බැහැ. මැෂින් එකෙන් ගැලව්වම එයා නැතිවෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පුතාගේ මොළේ මැරිලා නිසා කැමැති නම් එයාගේ අවයව වෙනත් අයට බද්ධ කරන්න ගන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කිව්වා. මගෙන් ඒකට කැමැතිද කියලා ඇහුවම මම කැමැති වුණා. පුතාගේ ශරීරයත් එක්ක අවයව වළදානවාට වඩා එයාගේ ඇ‍ඟේ කොටසකින් කවුරු හිරි ජීවත් වෙනවා නම් ඒක පුතාටත් පිනක් මහත්තයෝ. මම දෙපාරක් හිතන්නේ නැතුව පුතාගේ අවයව ගන්න කියලා දොස්තර මහත්තුරුන්ට කිව්වා.ප්‍රදීප්ගේ පියා අයි.ජී. නන්දසේන මහතා පවසයි.

අනේ මහත්තයෝ මගේ පුතා මැරුණේ නැහැ කියලා මට හිතෙනවා. එයා‍ගේ හදවත කාටදෝ බද්ධ කරලා. එයා හොඳින් ඉන්නවා කියලා වෛද්‍යවරු කිව්වා. වකුගඩු දෙකත් දෙහිඅත්තකණ්ඩියේයි මැල්සිරිපුරයි දෙන්නෙකුට බද්ධ කරලා. ඇස් දෙකත් දන් දුන්නා.පුතා මැරුණේ මහ පිනක් කරගෙන. මතු ආත්මෙක එයාට මේ වගේ අකල් මරණයක් නෙවෙන්න මේ පින හේතු වෙයි නේද මහත්තයෝ.ප්‍රදීප්ගේ මව ඉන්ද්‍රා කල්යානී පවසයි. ප්‍රදීප් පවුලේ එකම පිරිමි දරුවාය. ඔහුට වැඩිමල් හා බාල සහෝදරියන් දෙදෙනෙකි. ප්‍රදීප් මෙලොව හැරගියේ ජූලි 07 දිනය. එදින ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දිනයකි. ඊට හදවත පූජා කළ ප්‍රදීප්ගේ නාමය කිසිදා අප මතකයෙන් බැහැර නොයනු ඇත.

මේ උතුම් තරුණයාගේ කතාව මිතුරන්ට බලන්න Share කරන්න

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!