page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Off road / ඩී.එස්, බණ්ඩාරනායක, ප්‍රේමදාස, විජය දෙවිවරුන් නොවුණේ ඇයි?

ඩී.එස්, බණ්ඩාරනායක, ප්‍රේමදාස, විජය දෙවිවරුන් නොවුණේ ඇයි?

එවක 43 හැවිරිදිව සිටි විජය කුමාරතුංගයන් සාහසිකයකුගේ වෙඩි පහරට ලක්ව 1988 පෙබරවාරි 16 වෙනිදා ඝාතනයට ලක්විය. ඒ සමගම කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ‘අලියාවංගුව’ නම් ස්ථානයේ ඔහුගේ සුවිසල් ඡායාරූපයක් සහිත තොරණක් ඉදිකොට තිබුණි. ඒ සඳහා පුරෝගාමී වූයේ විජය කුමාරතුංගයන්ට අතිශය හිතවත් දේශපාලන අනුගාමිකයන් පිරිසකි.

1983 වසරේ පැවැති අතුරුමැතිවරණයේ දී මහර ආසනයට තරඟ කළ විජය කුමාරතුංගයන් ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වූ අතර ඊට දින කිහිපයකට පෙර ප්‍රතිවිරුද්ධ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකින් එල්ල වූ වෙඩි පහරකින් විජයගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. කෙසේ හෝ විජය කුමාරුතංගයන් උදෙසා ඉදිවූ මේ තොරණ ඉදිරිපිට දිනපතා සවසට පහන් තැබීමක් සිදුවූ අතර එය මාස කිහිපයක් ඉක්ම යන තෙක් නොකඩවා පැවැතුණි. පසුව එය නතර වී තිබෙනු දැකියහැකි වූ අතර ඉනුත් වසරකට හමාරකට පසු බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැරව තිබූ එම තොරණද කෙමෙන් ගරාවැටුණි.

අපගේ ජන සංස්කෘතිය අනුව ජීවත්වන්නවුන් උදෙසා හෝ මළවුන් උදෙසා පහන් තැබීමක් සිදු නොකෙරේ. පහන් තැබීම සිදුකරනුයේ මනුෂ්‍යත්වය ඉක්මවූ ඊට වඩා ප්‍රබලයැයි හැගෙන දෙවිවරුන් ආදී ප්‍රබලයන් උදෙසාය. ඒ අනුව වි‍ජයගේ ඝාතනය සිදුවූ සැනින් ඔහුට දේවත්වයක් ආරෝපණය කිරීමට ප්‍රදේශයේ යම් පිරිසක් තුළ පැවැති අභිලාශය පසුකාලීනව බිඳ වැටී ගිය බව පෙනේ.

විජයකුමාරතුංග මෙන්ම මෙසේ මරණයෙන් පසු දේවත්වයට පත්කිරීමට සමාජයේ ඇතැම් කොටස් තුළ උනන්දුවක් පැවැති තවත් මෑත කාලීන වීර පුරුෂයන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

ඉන් පළමු වැන්නා අපගේ නිදහස් ස‍ටනේ පුරෝගාමියකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හොබවමින් සිටියදී 1952 වසරේ මාර්තු 22 වන දින අශ්වයකු පිටින් වැටී මියයන විට ඔහුගේ වයස අවුරුදු 69 කි. 1932 පිහිට වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් පත්වුවද ඔහුගේ ගොවි ජනපද ව්‍යාපාරය තම දේශපාලන වපසරිය ඉක්මවා යාමක් සේ සැලකූ ඉංග්‍රීසි පාලකයෝ පසුව ඔහුට කෙනෙහිලි කම් කළහ. වරක් ගොවිජනපද ව්‍යාපාරයට සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සඳහා ගිය අවස්ථාවල සංචාරක බංගලා පහසුකම් පවා ඔහුට නොදීමට තරම් ඉංග්‍රීසි පාලකයෝ සැහැසි වූහ.

පසුව ඔහු තමන්ගේ දිවා කල නවාතැන වශයෙන් මිනිපේ ගොවිජනතාව තනාදුන් ඉලුක්මඩුවක් භාවිතා කළ බව සමකාලීන වාර්තාවල සඳහන් වෙයි. ඩී.එස්.සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ හදිසි මරණයෙන් කම්පාවට පත් මිනිපේ ගොවි ජනතාව පසුව එම ඉලුක් මඩුව තිබූ ස්ථානයේ ඔහු සඳහා පහන් දල්වා ඔහුගේ ගුණ සැමරූ බව සඳහන් වෙයි. එමගින් ද ඩී.එස්.සේනානායක මැතිඳුන් දේවත්වයකට ආරෝපණය කිරීමට එම ගොවිජනතාවට අවශ්‍යවූ බව පෙනේ. නමුඳු එම ජනතා අභිලාශය මුදුන්පත් කරමින් දෙවිකෙනෙකු බවට පත් වීමට ඩී.එස්.සේනානායක මැතිදුන්ට හැකි වූයේ නැත.

එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක යනු ශ්‍රී ලංකාවේ දේශපාලනය සාමාන්‍ය ජනතාව අතරට පත්කොට ඔවුන්ට වැඩි සමාජ ආර්ථික වරප්‍රසාද හිමිකරදීමට කැපවූ නායකයෙකි. ලංගම, තෙල්, වරාය ආදී එතෙක් පෞද්ගලික සන්තකයන්ව පැවැති ප්‍රමුඛතම මහජන අවශ්‍යතා සපුරාලන ආයතන ජනසතු කිරීම තුළින් ඔහු ඇතැම් පිරිසකගේ අසමසම වීරයා බවට පත් විය. එහෙත් ඔහුට එරෙහිව පක්ෂය තුළින්ම පැනනැගුණු බව පැවසෙන කැරැල්ලකින් ඔහු ඝාතනයට ලක් වන ලද්දේ 1956 සැප්තැම්බර් 26 වෙනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 60 කි.

බණ්ඩාරනායකයන්ගේ මරණයෙන් පසුව ඔහු විසින් ජනසතු කරන ලද ආයතන වල ඇතැම් සේවකයන් තම නිවෙස් තුළ ඔහු ‘බෝසත් බණ්ඩාරනායක’ යනුවෙන් හඳුන්වමින් බණ්ඩාරනායකයන්ගේ ඡායාරූප ඉදිරියේ පහන් දල්වා ඔහුට උපහාර පිදීමට කටයුතු කළ බව සමකාලීන පුවත්පත් වාර්තා වල සඳහන් වෙයි. නමුදු ඉහත සඳහන් කළ සෙසු දෙනා මෙන් දේවත්වයක් හිමිකරගැනීමට බණ්ඩාරනායකයන් හටද හැකි වූයේ නැත.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වූ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන් කතරගම ජනතාව වෙනුවෙන් සුවිශේෂ සමාජ ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නායකයෙකි.

1987 වසරේ කතරගම පැවැති ගම්උදාවට සමගාමීව ඔහු කඳසුරිදුගම, වල්ලිමාතාගම, ගෝතමීගම, යනුවෙන් උදා ගම් තුනක්ම ස්ථාපිත කරන ලදී. 1993 මැයි පළවෙනිදා සිදුවූ එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් ජනපතිප්‍රේමදාසයන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.

එම මරණයෙන් කම්පනයට පත් ඔහුගෙන් ඉමහත් වරප්‍රසාද ලද් කතරගම ප්‍රදේශයේ ඇතැමුන් ඔහු නමින් ස්ථාන කිහිපයක සංහිඳ තනා පහන් දැල්වීමට කටයුතු කළ බව වාර්තා වී තිබේ. එහෙත් පසුව ඒවාද ඇනහිට ඇති අතර එනිසාම ඉහත සඳහන් කළ තිදෙනාට මෙන්ම දෙවියෙකු වීමේ අවස්ථාව ප්‍රේමදාසයන් කෙරෙන්ද ගිලිහී ගොස් ඇත.

මීට වසර සියයකට පමණ ඉහත ජීවත් වූ ඇතැම් ප්‍රභූන් දේවත්වයට පත්වූ බවට සමාජවිද්‍යාත්මක තොරතුරු තිබේ.

උඩුදුම්බර ප්‍රදේශයේ ‘අළුත්දෙවියන්’ නමින් අදහනු ලබනුයේ මීමුරේ කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා නම් ප්‍රභූවරයෙකු බව පැහැදිලිය. එමෙන්ම ඕලන්ද සහ ඉංග්‍රීසි යුගයන්හි පහත රට විසූ ජන සහ කුල ප්‍රධානීන් කිහිප දෙනෙක් ද අද වන විට ප්‍රාදේශීය දෙවිවරුන් ලෙස වැජඹෙති.

තත්ත්වය එසේ තිබියදී ඉහත සඳහන් ජන නායකයන් සිව්දෙනාට දේවත්වයක් ආරෝපණය කරගැනීමට නොහැකි වූ හේතුකාරණා නිශ්චයකොට දැක්වීමට මට නොපුළුවන.

එහෙත් ඒ සඳහා‍ ඔවුන් සිව්දෙනාම එකම පවුලේ සාමාජිකයන් පවා භේද බින්න කිරීමට තරම් විෂමකාරී වූ පක්ෂදේශපාලනය නියෝජනය කිරීමද සෘජු නොවුවත් වක්‍ර හෝ හේතුවක් වන්නට ඇතැයි මට සිතේ.

(ලක්බිම)තිලක් සේනාසිංහ

Check Also

ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි – ඊ-මනි හොරුන්ට හසුවෙන්න එපා

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!