page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / සර්පයෙක් දෂ්ඨ කළොත් ඔබ අනිවාරෙන්ම කළ යුතු දේවල් මෙන්න

සර්පයෙක් දෂ්ඨ කළොත් ඔබ අනිවාරෙන්ම කළ යුතු දේවල් මෙන්න

සත්ත්ව ලෝකයේ, අප දැකගන්නට අකමැතිම සත්ත්ව කොට්ඨාශයක් ලෙස උරඟයින් හඳුන්වන්නට පුළුවනි. මන්දයත් සමහරුන් ඔවුන්ට බිය උපදවන හා තව සමහරුන්ට හිරිකිතයක් ද දැනෙන නිසාවෙනි. ඒ සියල්ලම අභිබවා යන්නේ ඔවුන්ගේ ඇති බියකරු විෂ සහිත බවයි. සර්පයකු දෂ්ට කළ විට ඇතිවන අසීරුතා දන්නා බැවින් සර්පයින් හා ගැටීම වැළකීමට බොහෝසෙයින් උත්සුක වේ. නමුත් සර්ප දෂ්ට ග්‍රාමීයවත් නාගරිකවත් අද දක්නට ලැබෙන බැව් රෝහල්වලින් වාර්තා වීම නිසා ඔබගේ දැනුවත් භාවයට සර්ප දෂ්ටයේ තොරතුරු වැදගත් වේ. මේ පිළිබඳව දැනුවත් කිරීමට මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරි විසින් අවධානය යොමු කෙරිණි.

සර්පයින් ගැවසෙන ස්ථාන

කුණු රොඩු ආශි‍්‍රත ප්‍රදේශවල, සීතල බිම්කඩවල සර්පයන්ගේ වාසස්ථානය වුවත්, ගල් ගොඩවල අතර, එකට අහුරා ඇති පොල් අතු අස්සෙ, තෙත රෙදි ආශි‍්‍රතව වී ගෝනිවල, මල් පෝචිචි අස්සෙ උන්ගේ ගැවසීම සිදුවෙයි. විශේෂයෙන්ම අන්නාසි ආශි‍්‍රත වගාබිම්වල, කුඹුරුවල, ලියැඳිවල ද ආහාර සොයා යන සර්පයනින් ඇති බව දකින්නට ලැබේ. වාර්ෂාව අඩුවෙන් පවතින කාලවල සීතල පරිසරය සොයා නිවෙස් ආශ්‍රිතව පැමිණීමට උනන්දු වන නිසා නිවෙස්වල පිළිකන්නේ කෙළවරට වන්නට සකසා ඇති දර මඩුවේ හෝ වියපු පොල්අතු තැන්පත් කරන ලද මඩුවේ හෝ ඔවුන් සැඟවෙන ස්ථානයන්ය.

විශේෂයෙන් තේ වතුවල ද සර්පයින් සැරිසැරීම සුලබව දැකිය හැකියි. නමුත් නාගයින් ගස් බෙනවල හා තැනින් තැන වන රොදවල ඇති හුඹස්වල, මී ගුල්වල කුඹුරු බිම්වල හා වෙනත් වගා බිම්වල දක්නට ලැබෙනු ඇත.

පොළඟා වැනි සර්පයින් ලඳු කැලෑවල මෙන්ම කුණුකටුවා හා මාපිලා වැනි සර්පයින් කුණු රොඩු හා මල් පෝච්චිවල සිට හමු වී ඇත. පලා පොළඟ වැනි අලංකාරය දනවන සර්පයා වාසය කරන්නේ ගස් අතු අගය. කරවලා මෙන්ම මාපිලා ද ගස් උඩ දැකිය හැකි සර්පයන්ය. පොල්මල් කරවලා හෙවත් මල්සරා නැමැති සර්පයා ඉතාමත් අලංකාර සර්පයෙකි.

සර්පයෙකු දෂ්ඨ කළ විටදී

සාමාන්‍යයෙන් සර්පයෙකු දෂ්ටයේදී ක්ෂණික වේදනාවක් ඇති වේ. නමුත් සමහර සර්පයන් දෂ්ටයේදී වේදනා රහිතව ලේ ගැලීම පමණක් සිදු වේ. තව සමහරවිටකදී ලේ ගැලීමක්වත් වේදනාවක්වත් හට නොගෙන ඉදිමීම හා කළු තලාවීම පමණක් එම ස්ථානයේ දක්නට ලැබේ. නාගයා දෂ්ට කළවිට අඟල් 1 -1 1/2ක් අතර විෂ දල වැදුණු සලකුණු දැකිය හැකියි. සාමාන්‍යයෙන් සර්පයෙකු දණහිසින් ඉහළට දෂ්ට කළ අවස්ථා ඇත්තේ අඩුවෙනි.

දෂ්ඨ කිරීමට යොමුවන ස්ථාන

සිරුරේ කකුල්වල මාපටැඟිල්ල හෝ කකුල්වල දණහිසින් පහළ කොටසයි. සමහර අවස්ථාවලදී ගස් උඩ සිටින විෂ සහිත සර්පයින් පුද්ගලයෙකු ගසට නැගීමේදී ඔහුගේ බෙල්ල හෝ හිසට දෂ්ට කිරීමට දකින්නට ලැබෙන අවස්ථා ද ඇත.

සර්පයන් දෂ්ඨ කරන්නේ ඇයි?

සර්පයාට හිරිහැරයක් කරන්නට යාමෙන් දෂ්ටය සිදුවන අවස්ථා බොහෝයි. උන්ගේ ඇතිවන බිය ඊට හේතුවයි. අපගේ පයට පෑගී යාම නිසා ඇතිවන කෝපය මත උන්ගේ ආරක්ෂාව පිණිස දෂ්ට කිරීමට හැකියි. තම ගොදුර සොයා යන අවස්ථාවේදී උගේ ඉලක්කය වැරදේ යැයි ඇති බිය නිසා දෂ්ට කිරීමට හැකියි. ගොදුරක් යැයි සිතා අපගේ කකුලේ මාපටැඟිල්ල ප්‍රදේශයට දෂ්ට කළ අවස්ථා ද ඇත. එසේම ලිංගික කාර්යේදී ඇතිවන බාධාවන් මැඩ පැවැත්වීමට දෂ්ටය කළ හැකියි. මේ කුමන අවස්ථාවක දෂ්ටය සිදු කිරීමට පෙළඹුනත් සර්පයින් අවිහිංසක සත්ත්ව කොට්ඨාශයක් බැවින් ඔවුන් මඟහැරයාම මිස ඔවුන්ව විනාශ කිරීමට පෙළඹීම නොකළ යුතුයි. මන්ද යත් පරිසරය සමතුලිත භාවය ආරක්ෂා කර ගැනීමට මේ සත්ත්ව කොට්ඨාශය ද බොහෝ සෙයින් උපකාරී වන නිසාය.

දෂ්ඨයෙන් වැළකිමට

රාත්‍රී ගමන් බිමන් අඩු කිරීම, එම ගමන් බිමන්වලදි එළියක් භාවිතා කිරීමට යොමු වීමෙන් අඳුරේ යාමෙන් වැළකී ආරක්ෂාව සලසා ගත හැකියි. ඒ සඳහා ඔබට හැකි පමණින් හුළු අත්තක් හෝ විදුලි පන්දමක් භාවිතා කළ හැකියි. විශේෂයෙන් ගමන් බිමන්වලදී පා ආවරණයක් (පාවහන්) භාවිතා කිරීම වඩාත් උචිතයි. සර්පයන් දැඩි අවධානය යොමු කරනුයේ කම්පන සංවේදීතාවය නිසා රාත්‍රී ගමන් බිමන්වලදී කෝටුවක් වැනි දෙයකින් තට්ටු කරමින් ඉදිරියට යාම උන් මඟහැරීමට කරන හොඳ උපක්‍රමයකි. සර්පයන් ගැවසෙන ස්ථාන එළි පෙහෙලි කිරීමට උනන්දු වීම වඩාත් ආරක්ෂිත ක්‍රමයකි. කුණුරොඩු, කැලි කසල, කැලෑව නිවස අවට ඇත්නම් එහි පිරිසිදු භාවය ඇති කර ගැනීම වඩාත් සුදුසු ක්‍රියාවකි.

සර්ප දෂ්ටයේදී ආයුර්වේද රෝහල වෙත යාමට පෙර කළ යුතු දෑ

රෝගියාව මහන්සි නොකර බිය නොවද්දා රෝහල කරා රැගෙන යාම කළ යුතුයි. එසේම සර්පයා ගැන ඇති බිය රෝගියා තුළින් පහ කිරීම. සර්ප විෂ සිරුර පුරා ගමන් කිරීමෙන් වැළැක්වීමට මෙම උපක්‍රමය යොදයි.

දෂ්ට මුඛය සෝදා පිරිසිදු කළ හැකි නම් වඩාත් සුදුසුයි. එහිදී රැඳී ඇති විෂ සුළුවෙන් හෝ ඉවත් වීමක් වෙයි.

දෂ්ට මුඛය වසා නොතැබිය යුතුයි. ලේ ගැලීම නැවතීමට උත්සාහ නොකරන්න.

ප්‍රතිකාර

රෝහල වෙත හැකි ඉක්මනින් ළඟා වීමට හැකි නම් එය වඩාතත්ම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කරන උදව්වකි. අත් බෙහෙත් නොකර සර්පයා සොයා සොයා සිටීම වැනි කාලය අපතේ යන දෑ නොකිරීමට වගබලා ගන්න. කුමන සර්පයා ද යන්න සොයා බැලීම රෝහලේ වෛද්‍යවරු දන්නා බැවින් ඒ ගැන සැලකිලිමත් නොවුණාට කම් නැත. ඒ දේශීය චිකිත්සාවට අනුව නිර්නය කළ හැකි බැවිනි.

සර්ප දෂ්ඨ මුඛය පිරිසිදු කිරීමට

අමු කහ වතුරට දමන්න. එයට දෙහි ගෙඩි 2ක් එම කහ වතුරට දමා ඉන් සර්පයා දෂ්ඨ කළ ස්ථානය සෝදා හරින්න. මෙය කළ යුත්තේ පහල අතටයි. ඉහළ අතට නොකළ යුතුයි.

ප්‍රථමාධාර

ඕනෑම සර්පයෙකු දෂ්ට කළ විට භාවිතා කළ හැකියි. ගම්මිරිස්, දුරු (සූදුරු, කළුදුරු), සුදුළුණු, කරපිංචා, ගොරකා, මිරිස් ගලේ අඹරා දෙහි ගෙඩියක යුෂ සමඟ ක්ෂණිකව පානය කරන්න දෙන්න. විෂ සිරුර පුරා දිවීම අඩාල කරයි. මෙම ප්‍රථමාධාරය සුදුසු එකකි.

මීගොඩ ආයුර්වේද රෝහල
වෛද්‍ය අභය තිලක දේවගිරි

මේ වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!