page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / අති බලගතු යක්‍ෂයන් මෙල්ලකර වැඩ ගන්නෙ මෙන්න මෙහෙමයි

අති බලගතු යක්‍ෂයන් මෙල්ලකර වැඩ ගන්නෙ මෙන්න මෙහෙමයි

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් මගින් නොපෙනෙන බලවේග හසුරුවා ඒ මගින් මිනිසුන් බරපතළ ලෙස රෝගී කර හෝ මරා දැමීම ඈත අතීතයේ සමහර ගුරුන්නාන්සේලා විසින් සිදු කරන ලදැයි කියෑවේ. ඒ සඳහා විවිධ ක‍්‍රම භාවිතා කර ඇති බව ඉතිහාසය ගවේෂණය කිරීමේ දී දැක ගන්නට පුළුවන.

අංගම් පිඹීම එහි ප‍්‍රමුඛ කටයුත්තකි. පසු ගිය සති කීපයක් පුරා අප ඒ බව අනාවරණය කළෙමු. ඒ හැරුණු විට තවත් ක‍්‍රමයක් වූයේ යක්‍ෂ බන්ධනයයි. විශ්වයේ සිටිතැයි කියන ඇතැම් යකුන්ට මන්ත‍්‍ර ජප කර ඔවුන්ව බන්ධනය කර ඔවුන්ගේ බල පෑමෙන් මිනිසුන් ලෙඩ කිරීම පමණක් නොව එම ලෙඩ තුළින් ඔවුන්ව මරා දැමීමත් සිදු කරනු ලබයි. මෙහිදී ගුරුන්නාන්සේගේ අතකොළුවක්සේ කටයුතු කරන්නේ විවිධ නම් වලින් පෙනී සිටින යක්‍ෂයින්ය.

මෙලෙස යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වල ඇතුළාන්තය පරික්‍ෂා කරන විට ඒ හා සබැඳුණු බොහෝ කතා ප‍්‍රවෘත්තීන්ද අපට හමු විය. ඇතැම් ඒවා අපූරු කතා ප‍්‍රවෘත්තීන්ය. තවත් සමහරක් විමතිය දනවන ඒවාය.

මෙලෙස යකුන් බන්ධනය කර මිනිසුන්ට කරදර කිරීම පහළ ඌව ප‍්‍රදේශයෙත් දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවෙත් සුලබව දක්නට ලැබුණු බව ”ඉරිදා ලංකාදීපය” කළ ගවේෂණයේ දී තවදුරටත් අනාවරණය විය. යක්‍ෂ බන්ධනය මගින් මිනිසුන්ට හිරි හැර කර ඔවුන් මරා දමන ආකාරයත් ඔවුන්ව ඒ තත්ත්වයෙන් මුදවා ගන්නා ආකාරයත් පිළිබඳව අපට කරුණු හෙළි කළේ පහළ ඌවේ බුද්ධම කුකුළංමුල්ල ප‍්‍රදේශයේ පදිංචි තිස වලංගු මුදියන්සේලාගේ සුදු බණ්ඩා (80) ගුරුන්නාන්සේය.

‘‘එක පුද්ගලයෙක් වගේම මුළු ගමක්ම එක සැරේ විනාශ කරන්න ඕනැ නම් රීරී කඩවරයාව බන්ධනය කරලා මන්ත‍්‍ර ජප කරනවා. ගහක අත්තක් අරගෙන තමයි ඒ ජප කිරීම කරන්නේ. මේ සඳහා වෙළං අත්ත ගන්නවා මොර අත්ත ගන්නවා. විනාශ කරන්න ඕනෑ පුද්ගලයව නම් කරලා රීරී කඩවර යක්‍ෂයාව ඒ පුද්ගලයට බන්ධනය කරනවා. බන්ධනය කළාට පස්සේ ජප කරපු අත්ත බිඳිනවා. අත්ත බින්ද ගමන් අර නම් කරපු පුද්ගලයා ඉන්න තැනක ලෙඩ හැදිලා මැරෙනවා. ඒ ඒ මන්ත‍්‍රවලට අනුව මරන්නත් පුළුවන් හැමදාම ලෙඩ කරවලා තියන්නත් පුළුවන්. මුළු ගමක්ම විනාශ කරන්න නම් බුරුත අත්තක් ජප කරලා බිඳිනවා. අත්ත බිඳලා හොළවනවා. ඒ අත්ත සෙලවීම වරින් වර කරන අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඒ අත්තේ කොළ වැටෙනවා. නටුවෙන් ගිලිහිලා වැටෙන කොළයක් ගානේ වරින් වර ඒ ගමේ මිනිස්සුත් ලෙඩවෙලා මැරෙනවා. මේ යක්‍ෂ බන්ධනය ‘‘අතු සලාව’’ නමිනුත් හඳුන්වනවා.”

‘‘යම් කිසි ගමක්, ගුරුන්නාන්සේ කෙනෙක් විසින් හිතෙන් සීමා කරලා මතුරලා අත්ත සෙලෙව්වාට පස්සේ වැටෙන කොළ ගානට අනුව මුලින්ම ඒ ගමේ මිනිස්සුන්ට නොයෙකුත් ලෙඩ හැදෙනවා. ගමට බන්ධනය කරපු යක්‍ෂයා විසින් ලෙඩ කරවන්නේ කවුද කියලා තීරණය කරනවා. කාගේ හරි නමක් සිහි කරලා බන්ධනය කළානම් ඒ නම සඳහන් පුද්ගලයා හෝ කාන්තාව ලෙඩ වෙනවා. උණ, වමනේ යෑම, පාචනය, බඩේ අමාරුව, කැරකැවිල්ල ආදී නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. ඉතා හොඳට නිරෝගීව ගමේ හිටපු අයට එවැනි ලෙඩ රෝගයක් ඇති වුණාම පැහැදිලිවම ඒක යක්‍ෂ බලපෑමක් කියලා ගමේ අය විශ්වාස කරනවා. ඉතින් මේ බන්ධනය වෙච්ච යක්‍ෂයා පළවා හැරලා ලෙඩා සුව කර ගන්න ඕනෑනම් ගුරුන්නාන්සේ කෙනෙක්ගේ පිහිට පතන්න සිද්ධ වෙනවා.”

‘‘ඒ කාලේ ඔය විදිහට සමහර ගම්වල මිනිස්සු සෑහෙන පිරිසක් මැරිලා තියෙනවා. ඒකෙන් බේරෙන්න බැරිම තැන සමහර මිනිස්සු ගම් අත් ඇරලා දාලා ගිහිල්ලා වෙනත් ගම්වල පදිංචිවෙලා තියෙනවා. අම්පාරේ ජයන්ති වැවට යට වෙච්ච යෝධ ඇළත් එහෙම ගමක් කියලයි අපි පොඩි කාලේ අහලා තියෙන්නේ. ඒ ගමටත් මොකක් හරි යක්‍ෂ බන්ධනයක් කරලා තියෙනවා කියලත් පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා කියලා තියෙනවා. හිටපු ගමන් ඒ ගමේ ගොඩාක් දෙනෙක් එක එක ලෙඩ හැදිලා මැරිලා තියෙනවා. ඒ නිසා ගමේ ඉතිරි වෙච්ච කට්ටිය හැමෝම වෙනත් ගමකට ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා.”

‘‘මේ යක්‍ෂ බන්ධනයෙන් ගමේ මිනිසුන් බේර ගන්නනම් මේ යක්‍ෂ බන්ධනය සිද්ධ කළේ කවුද කියලා මුලින්ම හොයා ගන්න වෙනවා. ඒ කාලේ ඉතින් ගම්වල මහා සෙනඟක් හිටියේ නෑනේ. ඒ වගේම ගුරුන්නාන්සේලාත් ගොඩාක් හිටියේ නෑ. ඒ නිසා බොහෝ වෙලාවට මේ දේ කළ ගුරුන්නාන්සේ කවුද කියලා ගමේ මිනිස්සුන්ට හොයා ගන්න පුළුවන්. එහෙම හොයා ගන්න බැරිවෙන අවස්ථා බොහෝම අඩුයි.ඒ ගුරුන්නාන්සේට ඇර වෙන ගුරුන්නාන්සේ කෙනෙකුට ඒ බන්ධනය අයින් කරන්න බෑ .ගුරුන්නාන්සේ කවුද කියලා හොයා ගත්තට පස්සේ ඉතින් ගමේ අය බොහෝම බය පක්‍ෂ පාතව ගරු සරු ඇතිව එයා ළඟට ගිහිල්ලා බැගෑපත්ව ඉල්ලා හිටිනවා මේ බන්ධනයෙන් ගම නිදහස් කරලා දෙන්න කියලා. එහෙම ගියහම ඉතින් ගුරුන්නාන්සෙත් තමන්ගේ ලොකුකම පෙන්නනවා. අහවලා නිසා තමා මම මේක කළේ අහවල් පිරිස නිසා තමා මම මේක කළේ කියලා කියන අවස්ථාත් තියෙනවා.

එහෙම කියලා ඇවිත් අවශ්‍ය යාග හෝම කරලා මේ බන්ධනයෙන් ගම නිදහස් කරලා දෙනවා. ඒ කාලෙ නම් එයා කියනවා ගමේ එක්කෙනෙකුගෙන් හාල් සේරුවකුයිි පඬුරු වශයෙන් ශත විසි පහයි ගානේ එකතු කරන්න කියලා. ඒවා අරගෙන මැස්සක තියලා එයා යාතිකා කරනවා. ඒ යැදුම අවසන් වුණාම ගමේ දඩයම් කාරයින්ව කැඳවනවා. ඒ අයට කියනවා කැලේ ගිහින් ගෝනෙක් හරි මුවෙක් හරි දඩයම් කරගෙන එන්න කියලා. දඩයම් කාරයෝ ගිහින් ගෝනෙක් හරි මුවෙක් හරි එළාගෙන ඇවිත් ඒ බව ගුරුන්නාන්සේට දන්වනවා. ගුරුන්නාන්සේ කියනවා හා හොදයි එහෙනම් හෙට කඩවර කාරිය පුදන්න ඕනෑ කියලා.”

කුකුළන්මුල්ලේ කඳු වැටිය...
කුකුළන්මුල්ලේ කඳු වැටිය…

‘‘දැන් ඉතින් ගමේ බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. ගමට හෝ පුද්ගලයෙකුට සිදු වෙච්ච හානිය නැතිකර ගන්න තමා මේ කඩවර කාරිය පුදන්නේ. මේ කටයුත්ත සඳහා ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් සහභාගි වෙනවා. ඒ අයට හොඳට සත්කාර නොකළොත් ඒ අය කෝප වෙනවා. ඒ නිසා ඔවුන්ට දෙයියන්ට වගේ තමා සළකන්නේ. කඩවර කාරිය පුදන්න අතු මැස්සක් හදනවා. ඊට පස්සේ ප‍්‍රධාන ගුරුන්නාන්සේ යක්‍ෂ ඇඳුම අඳිනවා. යක්‍ෂ ඇඳුම කියන්නේ ඔය වැදි මිනිස්සු පෙරහැරවල්වලට කොළ අතු ඇඳගෙන යන්නේ, අන්න ඒ වගේ තමා සැරසෙන්නේ. ඇ​ෙඟ් වෙන ඇඳුම් නෑ, අමුඩෙ විතරයි තියෙන්නේ. සියලු කටයුතු සූදානම් කලාට පස්සේ දුන්නකුයි ඊතලයයි අරගෙන එහාට මෙහාට වැනි වැනී නැමි නැමී දඩයක්කාරයෙක් වගේ වට පිට බල බලා තමා එයා මැස්ස ළඟට එන්නේ. කලින් සකස් කරපු ඒ ලී මැස්ස ළඟට ඇවිත් තුන් පාරක් හූ කියනවා. එයා යක්‍ෂ ආරුඪයෙන් තමා යන්ත‍්‍ර මන්ත‍්‍ර ජප කිරීම කරන්නේ. ඒ හූවට මුළු ගමම දෙවනත් වෙනවා වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවකට මුලින්ම සහභාගි වුණ සමහරු බය වෙනවා.

මේ වැඩේ පටන් ගන්න කලින් මුළු ගමම දැනුවත් කරනවා. විශේෂයෙන්ම මේ යාගය කරන වෙලාවට ගුරුන්නාන්සේලා හූ තියනකොට ඊට ප‍්‍රතිචාර වශයෙන් ගමේ කොතනක හරි ඉන්න කෙනෙක් හූ කියන්න එපා කියලයි කියන්නේ. කවුරු හරි හූ කිව්වොත් එයා ඒ වෙලාවෙම එතැනම මැරිලා වැටෙනවා. ඔය අතර තුර අර දඩයම් කරපු සතාගේ මස් උයලා බත් සහ තවත් ව්‍යංජන සමඟ තවත් නොයෙකුත් අඩුම කුඩුම එක්ක මැස්සේ තැන්පත් කරනවා. ඒ සියලූම දේ පුදන්නේ රීරි කඩවර යක්‍ෂයාට. ඒවා මැස්සේ තියෙද්දි මන්ත‍්‍ර ජප කිරීම පැය ගානක් තිස්සේ කරනවා ඉන් පස්සේ ඒ බත් මස් ව්‍යංජන ගමේ අයට බෙදාගෙන කන්න කියනවා. ඒ අනුව ගමේ අය ඒ ආහාර අනුභව කරනවා. ඉන් පස්සේ ගමේ අය යක්‍ෂ බන්ධනයෙන් මිදෙනවා.”

සටහන සහ ඡායාරූප
දිගාමඩුල්ලේ සමන් දිසානායක

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!