page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / King Ravana / ගම්මිරිස් ඇට තුනෙන් මිනිසුන් මරණ ඉපැරණි අද්භූත ශාස්ත්‍රය මෙන්න

ගම්මිරිස් ඇට තුනෙන් මිනිසුන් මරණ ඉපැරණි අද්භූත ශාස්ත්‍රය මෙන්න

අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට ගැනෙන්නේ නැත. ඊට එක් හේතුවක් ​ෙවන්නේ ඒවා සිදුකළ යකැදුරන් ​හෝ මන්ත්‍ර ශාස්ත්‍රඥයින් ජීවතුන් අතර නොමැතිවීමයි.

අංගම් පිඹීම මීට දශක පහකට හයකට පමණ පෙර ඉතා තදින් ක්‍රියාත්මක වූ ප්‍රදේශ ගණනාවක් විය. පහළ ඌවේ බුද්ධම වැනි ප්‍රදේශවලත් දිගාමඩුල්ලේ වැව්ගම්පත්තු ප්‍රදේශයේත් මෙය ඉතා බහුලව ක්‍රියාත්මක වී ඇති ආකාරය අප කළ ගවේෂණයේදී දැන ගන්නට ලැබුණි.

අංගම් පොර ක්‍රීඩාවක් මෙන්ම මාරාන්තික සටන් කලාවකි. අංගම් පිඹීම මාරාන්තික කටයුත්තකි. එය ක්‍රීඩාවක් නම් නොවේ. තරහකාරයින්ගෙන් පළි ගැනීම පිණිසත්, තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්වීමටත් ඊර්ෂ්‍යාව නිසාත් එකල මෙය භාවිත කර තිබේ. මෙය අංගම් ඇරීම ලෙස ද හඳුන්වති. අංගම් ඇරීම සඳහා විවිධ ක්‍රම මෙන්ම විවිධ ද්‍රව්‍ය ද භාවිත කරන අතර අංගම් වර්ග කීපයක් ද වේ.

ගම් වැසියන් භීතියට පත් කරමින් කාලාන්තරයක් පුරා පැවත ආ මෙම මාරාන්තික කටයුත්ත ඇසූ දුටු බොහෝ දෙනෙකු තවමත් උතුරු වැව්ගම්පත්තුවේ සහ දකුණු වැව්ගම්පත්තුවේ ජීවත්ව සිටිති. මෙම මාරාන්තික කටයුත්ත නිසා අතීතයේදී බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයට පත් වූ අතර ඇතැමුන් මිය ගොස් ඇති බව ද ඔවුහු පවසති.

අංගම් පිඹීම පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති දකුණු වැව්ගම්පත්තුවේ (දමන) පදිංචි ඒ.එම්. ගුණරත්න මහතා (81) ඒ පිළිබඳව සඳහන් කළේ මෙසේය.

‘‘අංගම් පිඹීම ගැන අපි කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. ඒ වගේම මම අවස්ථා කීපයකදීම දැකලා තිබෙනවා. මීට අවුරුදු පනහකට හැටකට එහාදී තමා මේ වැඩේ අපේ පැත්තේ කෙරුණේ. අංගම් ශාස්ත්‍රය දන්න ගුරුන්නාන්සේලාව කොයිම අවස්ථාවක දී හරි නොසලකා ඇරියොත් ඒ ගොල්ලෝ පළිගන්නේ අංගමක් ඇරලා තමයි. ඒ නිසා මුළු ප්‍රදේශයම ඒ ගුරුන්නාන්සේලාට බයයි.

එයාට අභියෝග කරන්න කවුරුවත් නෑ. ඒ නිසා එයා එක්ක කටයුතු කරන්නේ බොහෝම පරිස්සමින්. සමහර අය ගුරුන්නාන්සෙට කීයක් හරි දීලා තරහාකාරයෙකුට අංගමක් යවනවා. එක්කෝ තරහකාරයා මැරෙනවා නැත්නම් සදාකාලිකව රෝගාතුර වෙනවා.’’

‘‘හොඳට වේළිච්ච ගම්මිරිස් අැට කීපයක් අතට අරගෙන කිසියම් මන්තරයකින් 108 වාරයක් මතුරනවා. ඊට පස්සේ ඒ ගම්මිරිස් ඇට කීපය කටේ දාලා හපලා කුඩු කර ගන්නවා. කුඩු ටික අතට අරගෙන අල්ලේ තියාගෙන අංගමට හසුකර ගන්න ඕනෑ කෙනා හෝ කණ්ඩායම ඉන්න පැත්තට පිඹිනවා. හැබැයි හුළං අත බලලයි පිඹින්නේ. එහෙම නොවුණොත් ඒ කුඩු තමන්ට හෝ තමන් ඉන්න පැත්තේ සිටින වෙන කාට හරි ආග්‍රහණය වුණොත් තමන් ඇතුළු හැමෝටම අංගම වදිනවා.

අංගම පිම්ඹට පස්සේ ඒ කුඩු ආග්‍රහණය වෙන කෙනා හෝ පිරිස නහයෙන් කටින් ලේ දාගෙන වැටෙනවා. ඊට පස්සේ මී මැස් මොරය හැදුනා වගේ දඟලනවා. ඒ කාලෙ අංගම් ඇරීම වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ පන්සල්වලදී. පිංකම් දවස්වලදී පන්සල්වල සෙනග වැඩියි. ඉතින් අඩ අඳුරේම සෙනග අතර ඉඳගෙන තමා මේ දේ කරන්නේ. එතකොට කරන කෙනාව හොයා ගන්න බෑ. ඉතින් මේ විදිහට අංගමක් වැදිලා දඟලන කෙනෙක් ළඟට වෙනත් කෙනෙක් ලේසියකට කිට්ටු නොවෙන්නේ බයටමයි.

අංගම වැදුනට පස්සේ බය නැති කවුරුන් හෝ ඔහු ළඟට කිට්ටු වෙලා උදව් කරන්න උත්සහ කරනවා. ඔය අතරේ කවුරු හරි ගුරුන්නාන්සේ කෙනෙක්ව හොයනවා. ඉතින් ඒ මොහොතේ පන්සලේ ගුරෙක් හිටියොත් මතුරලා අර පුද්ගලයට හෝ කීප දෙනාට වතුර ඉස්සහම ඒ අය නින්දෙන් අවදි වුණා වගේ නැගිටිනවා.

ඒ මොහොතෙ පන්සල් බිමේ හිටියේ අංගම ඇරපු ගුරුන්නාන්සෙ විතරමනම් කවුරුත් දන්නවා මේක කළේ එයා කියලා. නමුත් ඒ බවක් අඟවන්නේ නැතිව එයාටම ගිහින් කියනවා, කවුදෝ අංගමක් පිඹලා තියෙනවා. සනීප කරලා දෙන්න කියලා. ඉතින් එයා වීරයා වගේ ඇවිල්ලා මතුරලා රෝගියා සුව කරනවා. එහෙම නොවුණොත් රෝගියාව ගෙදර එක්කරගෙන ඇවිල්ලා වෙනත් ගුරුන්නාන්සෙ කෙනෙකුට කියලා සනීප කරවනවා.’’

‘‘ඒ කාලෙ අංගම් අරින ගුරුන්නාන්සෙ කෙනෙක් අපේ පැත්තේ හිටියා. එයාගෙ අතේ නිතරම රෙදිවලින් මහපු පොඩි බෑග් එකක් තියෙනවා. ඒ කාලෙ මේක හැඳින්වුණේ බුලත් කොක්කනේ. නැත්නම් කූරුපයිය කියලා. බොහෝ දෙනෙක් මේ වගේ බෑග්වල බුලත් පුවක් හුණු දුංකොළ දාගෙන යනවා. මේ නිසා බුලත් කොක්කනේ කියලත් හඳුන්වනවා. මේකෙ කට වටේට නූලක් තියෙන්නේ. වහන්න ඕනෑ වුණාම හොඳට ඇඳලා ගැටයක් ගහනවා. ඉතින් මේ ගුරුන්නාන්සේ මේක ඇතුළේ අංගම් අරින්න ඕනෑ කරන දේවලුත් දාගෙන තමා ඉන්නේ. ගම්මිරිස් ඇට, ඉඟුරු අල, කුඩු වගේ බෝල හතුවල වේළුණු බෝලය වැනි කොටසත් දාගෙන ඉන්නවා. මේ බෝලය වගේ කොටස දාගෙන ඉන්නේ හුළං අත බලා ගන්න. ඒක අතින් මිරිකුවාම ඒකෙ තියෙන දූවිල්ල දුමක් වගේ හුළං අත තියෙන පැත්තට පාවෙනවා. තමන්ට අවශ්‍ය පැත්තට හුළං හමනවානම් අංගම අරිනවා. ගම්මිරිස් කුඩු ඇරුණම ඉඟුරු කුඩුත් මතුරලා පිඹිනවා. සමහර විට මේ ද්‍රව්‍ය කලින් මතුරගෙනත් යනවා. සමහර වෙලාවට මේ ගුරුන්නාන්සේ තමන්ට අරියාදුවක් වෙන තැනකදී වුණත් අංගමක් අරිනවා.’’

‘‘අංගම් වැදිලා මිනිස්සු නහයෙන් කටින් ලේ දාගෙන වැටුණු අවස්ථාවක් මම දීඝවාපි පන්සලේදී දැකලා තියෙනවා. ඒ වෙලාවේ ගුරුන්නාන්සේ කෙනෙක් ඉදිරිපත් වෙලා වතුර මතුරලා මූණට ඉස්සට පස්සේ වැටුණු කෙනා පියවි තත්ත්වයට ආවා. ඉස්සර ගොඩක් මිනිස්සු පින්කම්වලට දීඝවාපි යන නිසා ගොඩක් සෙනග ගැවසෙනවා. ඔය අතරේ තමන්ගේ තරහාකාරයා හිටියොත් අංගම අරිනවා. අංගමක් නිසා රෝගී වුණ අයෙක් සනීප කරන ගුරුන්නාන්සේට තෑගි බෝග පුද පඬුරු දෙනවා’’

අංගම් පිළිබඳ කරුණු සොයා බැලීමේ දී එකල මේවා සිදු කළ ගුරුන්නාන්සේලා කීප දෙනෙකු පිළිබඳව ද කරුණු වාර්තා විය. පහළ ඌවේ කඳංකැටිය ගමේ නංහාමි නම් ගුරුන්නාන්සේ ද දිගාමඩුළු දකුණු වැව්ගම්පත්තුවේ සුදු බණ්ඩා නම් වූ ගුරුන්නාන්සේ කෙනෙකු ද තොට්ටම ගමේ රද්දැල්ලේ නම් ගුරුන්නාන්සේ කෙනෙකු ද මෙම අංගම් ඇරීම බහුලව සිදුකර ඇත. සුදු බණ්ඩා ගුරුන්නාන්සේව එකල හඳුන්වා තිබෙන්නේ ‘පරිෂාරි’ ලෙසිනි. වෙද මහතාව දෙමළෙන් හඳුන්වන්නේ පරිෂාරි යනුවෙන් නිසා එනම ලැබී ඇත. යාබද දෙමළ මුස්ලිම් ගම්වල අය ද ඔහු​ෙගන් යම් ප්‍රතිකාර ලබාගෙන ඇත. පරිෂාරි පහළ ඌවේ යකුන්නොහෝ නම් ගම්මානයක සිට පැමිණි අයෙකු නිසා යකුන්නැහේ ලෙසින් ද හඳුන්වා ඇත. ඔහු යකුන් බැඳගෙන වැඩ ගන්නා නිසා මේ නම ලැබී ඇති බව ද එකල ඇතමුන් පවසා තිබේ.

පැරැන්නෝ පවසන ආකාරයට අංගම් වර්ග කීපයකි. ‘උඩ තිරිංග’ නම් අංගම යැවූ විට එය වදින කෙනා තරමක් උඩ විසි වී බිම වැටේ. ‘සූරිය තිලක්කම’ අංගම රාත්‍රි කාලයේ යැවූ විට හිරු පායන විට අංගම ක්‍රියාත්මක වේ. ‘නර වැදීමේ’ අංගම තවත් අංගමකි. රත් හඳුන්, සුදු හඳුන් ගල හා මතුරා ඒවා අත්ලේ ගා අංගම යැවිය යුතු පුද්ගලයාට දෑත් එකතු කර ‘ආයුබෝවන්ඩ’ කියමින් ඔහුගේ සෙවනැල්ල පෑගු විට ඔහුට අංගම වැදේ. එසේම නූල් මතුරා යන එන පාරේ තැබූ විට ඊට උඩින් පා තබා යන කෙනාට එම අංගම වැදේ. පරැන්නෝ පවසන ආකාරයට ‘රීරිකඩවර පුපුරාඩිය යක්ෂණියගේ පුපුරාඩිය අංගම’ නම් වූ අංගම වැදුණු විට කන් අඩි පුපුරා ලේ ගලනා බව ද කියැවේ.

අංගම් පිළිබඳ ඉතා හොඳින් දන්නා තවත් අයෙකු දකුණු වැව්ගම්පත්තුවේ කීනවත්ත ග්‍රාමයේදී මට හමු විය. හෙතෙම රන්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන (85) මහතාය.

‘‘දමන හිටපු පරිෂාරි තමා අංගම් පිඹින්න දක්ෂයා. හැබැයි කවුරුවත් ඒක අනුමත කළේ නෑ. අංගමක් පිම්ඹම පරිෂාරි ඒකටත් වෙදකම් කරනවා. නූල් දානවා, වතුර මතුරනවා. දෙහි මතුරනවා. මිරිස් වතුර මතුරනවා. අංගම් පිඹිනකොට ඒකෙ බලය අඩු වැඩිවෙන්නේ මතුරන වාර ගණන අඩු වැඩි කරන ප්‍රමාණය අනුවයි. අංගමක පිඹින්න ගම්මිරිස් ඇට තුනක් මතුරන අවස්ථාවලුත් තියෙනවා. සමහරු 27 වාරයක් 54 වාරයක් 108 වාරයක් මතුරන්නේ බලය අඩු වැඩි වෙන්න. 27 වාරයක් මතුරලා පිම්ඹම ඇති වෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඒ කාලේ නඛා වෙහෙර (දීඝවාපියේ) හරි මහියංගණයේ හරි පින්කම් බලන්න යනකොට හුඟාක් ගෑනු පිරිමි ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා දෙහි ගෙඩියක් මතුරගෙන අරගෙන තමයි යන්නේ. සමහරු ඒක ඉනේ ගහගන්නවා. එහෙම කරන්​ෙන් අංගමක් වැදුණත් වෙන හානිය වළක්වා ගන්න. අංගමක් වැදිලා තිබුණනම් ඒ දෙහි ගෙඩිය දුඹුරු පැහැ ගැන්විලා තියෙනවා. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය හදන්න කලින් අපි හිටියේ සේරුවත්ත කියන ගමේ. ඒ ගමෙත් අංගම් පිඹින ගුරෙක් හිටියා.’’

අංගම් පිළිබඳව ඉතා හොඳින් දන්නා උතුරු වැව්ගම්පත්තුවේ පරගහකැලේ ග​ෙම් පදිංචි කේ.ඇම්. අප්පුහාමි (81) මහතා අදහස් පළ කළේ මෙසේය.

‘‘අංගම් කියන්නෙත් හූනියං, කොඩි විනවලට අයත් දෙයක්. මේ අංගම් පිඹීම පහසුවෙන්ම කරන තවත් තැනක් තමා තොවිල් පොලවල්. ඒ කාලෙ වැව්ගම්පත්තුවේ මිනිස්සු ලෙඩට බෙහෙත් හොයනවාටත් වඩා කළේ තොවිල් කටයුතු සහ වෙනත් ශාන්ති කර්ම. ඉතින් ඒ තැන්වලට ගමම එනවා. වැඩි වශයෙන්ම මේවා කළේ රාත්‍රි කාලයේදී මේ තැන්වලට එන අංගම් පිඹින ගුරෝ ගමන්ගේ කාරිය කරගන්නවා. උඩු හුළඟ බලා ගන්න ක්‍රමයක් තමා සුරුට්ටුවක් හරි බීඩියක් හරි පත්තු කර ගන්න එක. ඒකේ දුම යන පැත්ත අනුව උඩු හුළඟ හොයාගන්න පුළුවන්. සමහර ගුරුන්නාන්සේලා අංගම සැරට වද්දන්න ඕනෑ වුණාම අඨෝ රාශියක් මතුරනවා. අඨෝ රාශියක් කියන්නේ 108 ඒවා තුනක්. අංගමක් වැදුණ කෙනෙකුට මතුරලා පියවි සිහිය ගත්තාට වැඩක් නෑ. ඒක තාවකාලිකයි. ඒ නිසා පසුව හොඳ ගුරෙකුට කියලා සනීප කරව ගන්න ඕනෑ.’’

‘‘අංගමක් වැදුණම සමහරු උමතුවෙන් වගේ හැසිරෙනවා. කන්නේ බොන්නේ නෑ. දොඩවනවා. මහ හයියෙන් කෑ ගහනවා. නිතර ක්ලාන්තය සිහිය නැතිවීම වගේ රෝගාබාධ සිදු වෙනවා. ඒ නිසා හරි ප්‍රතිකාරයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒක දිගු කාලයක් නිධන් ගත රෝගයක් බවට පත්වෙලා ලෙඩා මිය යනවා. එහෙමත් නැත්නම් සදාකාලික රෝගියෙක් බවට පත්වෙනවා. ඒ කාලේ මේවට ගරුන්නාන්සේලා මඟින් තමයි ප්‍රතිකාර කළේ. එක්කෝ දෙහි මතුරලා ලෙඩාගේ හන්දිවලට අල්ලලා කපනවා. මතුරනකොට ලෙඩාගේ ඔළුවේ නළල දෙපැත්තේ නිළ අල්ලලා තමා මතුරන්නේ. නැත්නම් නූලක් මතුරලා ලෙඩාගේ ​ඉනේ හෝ කරේ ගැටගහනවා. ලෙඩා සනීප කළාම ගුරාට ශත 25ක් හෝ පනහක් දෙනවා. තව තව තෑගි භෝග දෙනවා.

සටහන
දිගාමඩුල්ල සමන් දිසානායක (ලංකාදීප)

 

Check Also

රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා – ලිංගික බෙලහීනතාවය ඇතුළු රෝග 200ක් නිල වෙදකමින් සුව කළ හැක

ඇදුම රෝගයෙන් නිතර නිතර පීඩා විඳි මම ඇදුම රෝගය නිසාම විවිධ අපහසුතාවනට භාජනය වූ අයෙක්මි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!