page hit counter
Friday , September 22 2017
Breaking News
Home / දේශපාලන / පිලිප්ගේ අනාවැකියෙන් මාසයක්‌ ගතවන විට අගමැති ඝාතනය වෙයි

පිලිප්ගේ අනාවැකියෙන් මාසයක්‌ ගතවන විට අගමැති ඝාතනය වෙයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය වර්ෂ 1951 දී පිහිටුවා ගත් බණ්‌ඩාරනායක වර්ෂ 1952 මහා මැතිවරණයට ඉදිරිපත් වූ අවස්‌ථාවේදී එතුමාගේ පක්‌ෂයට ලැබුණේ ආසන නවයකි. සමසමාජ පක්‌ෂයේද ආසන නවයකි. මෙහිදී ප්‍රකටව පෙනෙන්නට තිබුණු කරුණක්‌ නම් විරුද්ධ පක්‌ෂයේ නායකත්වය ලැබෙන්නේ කවුරුන්ටද යන වගය. මේ වනවිට නඩුවක්‌ නිසා පිලිප් ගුණවර්ධන මැතිතුමාට වසර 07 ක තහනමක්‌ පැන වී තිබුණු හෙයින් 1952 දීද අවිස්‌සාවේල්ල ආසනයේ පාර්ලිමේන්තුවට ගොස්‌ සිටියේ එතුමාගේ බිරිඳ වූ කුසුමා ගුණවර්ධන මැතිනිය. මෙහිදී පිලිප් ගුණවර්ධන මැතිතුමා තම මැතිනියට කියා සිටියේ විරුද්ධ පක්‌ෂ නායක තෝරන අවස්‌ථාවේදී බණ්‌ඩාරනායක මැතිතුමාට ඇයගේ ඡන්දය දිය යුතුය යන්නය. මේ හේතුව නිසා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමන් සමඟ තව තවත් වෛර බැඳ ගත් බව පෙනිණ.

වර්ෂ 1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමා මහජන රජයක්‌ පිහිටු වූ අවස්‌ථාවේදීද නුපුරුදු පරිදි විරුද්ධ පක්‌ෂයේ නායක පදවියෙන් පමණක්‌ සෑහීමකට පත් වන්නට ඇන්. ඇම්. පෙරේරා මැතිතුමාට සිදු විය. එම හේතුව නිසාවෙනි, මහජන රජයේ නොයෙකුත් අඩුපාඩු සොයමින් නැති වැරදි පවා සොයමින් බණ්‌ඩාරනායක අගමැතිතුමාටත්, පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාටත් විරුද්ධව කටයුතු කළේ. මෙහිදී පැහැදිලිව පෙනෙන එක්‌ කාරණයක්‌. එනම් මහජන සේවය උදෙසා ඇප කැපවුණු පක්‌ෂයක්‌ ලෙසට සමසමාජ පක්‌ෂය විරුද්ධ පක්‌ෂයේ සිටියදීම බණ්‌ඩාරනායක අගමැතිතුමා විසින් රටේ පොදු මහජන හිතසුව පිණිස සිදුකරන සිදුකරගෙන යන යහපත් වැඩ කටයුතුවලට සම්පූර්ණ සහයෝගය දෙමින්, ඒවායේ අඩුපාඩු තිබේ නම් ඒවා සද්භාවයෙන්ම පෙන්වාදී එම අඩුපාඩු නැති කර ගනිමින් කටයුතු කළා නම් එම යුගයේ හැටියට කොතරම්ම මහජන සේවයක්‌ සමසමාජ පක්‌ෂයට කළ හැකිව තිබුණාද? එමෙන්ම වැඩ වර්ජන කළ කම්කරුවන්ගේ සේවා කාලයෙන් පැය ලක්‌ෂ ගණනක්‌ම ඉතිරි කර ගන්නට තිබුණාද? එසේම එසේ සිදුකළ වැඩ වර්ජනවලින් අපතේ ගිය රුපියල් ලක්‌ෂ ගණනක්‌ නොවේ. කෝටි ගණනක මුදලක්‌ රටේ දියුණුව උදෙසා ඉතිරි කරගන්නට තිබුණාද යන්න අද අපට ආපසු මෑත අතීතය දෙස හැරී බලත්ම පෙනෙන්නට තිබෙන සමාජ සත්‍යයකි.

වරෙක “වැඩ වර්ජනයන් ගැන මට අසන්නට නොලැබුණා නම් මට එදා රෑට නින්ද යන්නෙ නෑ.” යනුවෙන් බණ්‌ඩාරනායක අගමැතිතුමා කියා තිබුණ බවද මට ඊයේ වාගේ මතකය.

මෙවන් ප්‍රශ්න ගොඩනැඟෙමින් බණ්‌ඩාරනායක අගමැතිතුමාට රට පාලනය කරගත නොහැකි තත්ත්වයක්‌ද උදා වෙද්දී ලෝකයේ කොතනවත් නැති අන්දමින් කැබිනට්‌ මණ්‌ඩලය අමාත්‍ය වැඩ වර්ජනයකද දක්‌නට ලැබිණ. ඒ මෙතෙක්‌ කාට කාටත් වඩා හොඳ වැඩ කරමින් රටේ පොදු මහජන ප්‍රසාදය දිනාගෙන සිටින පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා කැබිනට්‌ මණ්‌ඩලයෙන් නෙරපා දැමිය යුතුය” යන කියමන අනුවය. එහෙත් මුලදී ඔවුන්ගේ යටි අරමුණු තේරුම් ගත් බණ්‌ඩාරනායක අගමැතිතුමා එයට එකඟ වූයේ නැත.

මේ වන විට එකල සිටි පොලිස්‌පති ඔස්‌මන්ඩ් ද සිල්වා මහතා පිලිප් ගුණවර්ධන මැතිතුමාත් සමඟ එක්‌ව එසමයේ බණ්‌ඩාරනායක අගමැතිතුමාට විරුද්ධව පැමිණි බලවේග මැඩීමේ රහස්‌ කටයුත්තකද යෙදී සිටියේය. මේ වග තේරුම් ගත් අගමැතිතුමාට විරුද්ධ කල්ලිය කළේ අගමැතිතුමාත් පොලිස්‌පතිතුමාත් බේද කිරීමේ සූක්‌ෂ්ම කටයුත්තක යෙදීමය. එය අතිශයින්ම සාර්ථක විය. එකල සිටි සිඩ්නි සොයිසා වැනි උසස්‌ පොලිස්‌ නිලධාරීහු එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කළහ. බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ බහුතර බහට එකඟව එතෙක්‌ රටටත් ආණ්‌ඩුවටත් අධික සේවයක්‌ සිදුකරමින් සිටි පොලිස්‌පති ඔස්‌මන්ඩ් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කොට පොලිස්‌ සේවයේ නොදී සිටි සිවිල් නිලධාරි ඇම්. ඩබ්ලිව්. අබේකෝන් මහතා පොලිස්‌පති කරවූවේය.

බණ්‌ඩාරනායක ඇමැතිතුමාට විරුද්ධ වූ කුමන්ත්‍රණකරුවන්ගේ එක්‌ ප්‍රයත්නයක්‌ එලෙස සාර්ථක විය. මේ වන විට එකල මහජන රජයේ අගමැතිවරයෙකුටත් වඩා බලවත්ව සිටි කැලණි රජමහා විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්‌ත නායක හිමියෝ තම සොහොයුරු දොස්‌තර කේ. කේ. යූ. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ආරම්භ කරන ලද “ඇසෝසියේටඩ් ෂිපිං ලයින් සමාගම” නම් වූ නැව් සමාගමක්‌ මඟින් බුරුමයෙන් හාල් ටොන් දෙලක්‌ෂයක්‌ ගෙන්වීමට කොන්ත්‍රාත්තුවක්‌ පිළියෙළ කර එයට බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ අත්සන සහිත අනුමැතිය ලබාගත් බව පළ වී තිබිණ. මෙවැනි කටයුතුවලට පිලිප් ගුණවර්ධන ඇමැතිතුමෝ ප්‍රසිද්ධියේම විරුද්ධ වූයේ ගොවිකම් හා ආහාර ඇමැති වශයෙන් මෙතෙක්‌ අනුමැතිය හෝ කැමැත්ත නොලබා අගමැතිතුමා මෙවන් ගිවිසුමක්‌ අත්සන් තැබීම පිළිබඳවය. තවත් කාරණයක්‌ නම් මෙම නව නැව් සමාගමට නැවක්‌ තබා ටග් යාත්‍රාවක්‌වත් හිමි වී නොතිබීම නිසාය.

පසුව හෙළි වූයේ මෙම ගිවිසුමට අයත් ලියවිලිවලට බණ්‌ඩාරනායක අගමැතිතුමාගෙන් බුද්ධරක්‌ඛිත හාමුදුරුවෝ අත්සන් ගන්නා ලද්දේ තම රිවෝල්වරය මේසය මත තබා “කරුණාකරලා මෙන්න මේ ලියවිලිවලට අත්සන් තබනවා” යි තර්ජනය කිරීමෙන් පසුව බවය.

කටයුතු මෙසේ සිදුවෙමින් පැවැති කාලයේ විරුද්ධවාදී සිය කැබිනට්‌ ඇමැතිවරුන් සැනසීම සඳහා බණ්‌ඩාරනායක අගමැතිතුමා කළේ පිලිප්, විලියම් ද සිල්වා ඇමැතිවරුනට නොදන්වා ඔවුන්ගේ අමාත්‍යාංශවල සමහර කොටස්‌ ඉවත් කර තමා යටතට ගැනීමය. මේ තත්ත්වය යටතේ තවදුරටත් තම විප්ලවකාරී සමසමාජ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් තව තවත් එම ආණ්‌ඩුවේ රැඳි සිටිය නොහැකි බව සඳහන් කරමින් පිලිප් – විලියම් ද සිල්වා ඇමැතිවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රී පිරිස පහත සඳහන් ලිපිය අගමැතිතුමා වෙත යවා පදවිවලින් ඉවත්වට විරුද්ධ පක්‌ෂයේ වාඩි වූහ.

එම ලිපිය මෙසේය.

“අප විසින් මෙම ආණ්‌ඩුවට ඉදිරිපත් කළ හැම ප්‍රගතිශීලී පනතකදීම එය අඩපණ කිරීමට ඔබ විසින් හෝ ඔබ සගයන් ලවා කූට උපාය යෙදූ හැටි අපට මෙන් රටටද දැන් පැහැදිලිය. 1956 දී මෙරට ජනතාවට දුන් පොරොන්දු කඩාකප්පල් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව පුරෝගාමි බලවේගයන්ගේ ප්‍රතිමූර්තියක්‌ මෙන් ක්‍රියා කිරීමට සැරසෙන ඔබගේ ආණ්‌ඩු පක්‌ෂයේ සාමාජිකයන් හැටියට අපට නතර වී සිටිය නොහැකිය. ජනතාවගේ ප්‍රගතියට විරුද්ධ ව්‍යාපාරය ඔබ හිතාමතා කලක්‌ තිස්‌සේ සංවිධානය කළ බවට දැන්නම් අපට සැකයක්‌ නැත. ධනවාදයටත්, පැසිස්‌ට්‌වාදයටත් ඇදී ගිය ඔබ ලංකාවේ විමුක්‌ති සටනත්, දේශප්‍රේමී සටනත් පාවා දුන්නා පමණක්‌ නොව පෞද්ගලික බලතල හා ලාභලෝබ බලාපොරොත්තු වන අතලොස්‌සකගේ ආධාරකාරයා වී සිටින බවද දැන් පැහැදිලිය.

මහජන එක්‌සත් පෙරමුණ බලාපොරොත්තු වූ අරමුණු වන සාමය, නිදහස හා සෞභාග්‍යය කරා යන ප්‍රගතිශීලී ගමනට ඔබ මහත් අවහිරයක්‌ හා බාධාවක්‌ බව අද ජනතාවට කැපී පෙනෙන්නේය. සමාජවාදයක ප්‍රගතිය ගැන ව්‍යාජ ලෙස කතා කරතත් ඔබ ඔබට පරණ පාරම්පරික ධනේශ්වර ක්‍රමයට, රදල ක්‍රමයට ඔසවා තැබීමට තැත් කරන බව පැහැදිලි නිසා ඔබට සහයෝගය දීම අපට කළ නොහැකි වැඩකි.

අප විසින් මේ ආණ්‌ඩුවට ඉදිරිපත් කළ ප්‍රගතිශීලී සැම පනතකදීම එය අඩපණ කිරීමට ඔබ විසින් හෝ ඔබ සගයන් ලවා කූට උපාය යෙදු හැටි අපට මෙන්ම රටටද දැන් පැහැදිලිය.

අපේ රටේ ජනතාවගේ ජාතික වූද, සංස්‌කෘතික වූද, ආර්ථික වූද ප්‍රශ්න විසඳීම සඳහා අප විසින් පියවරක්‌ ගත යුතුය. මේ පියවරේ හැම විටම විරුද්ධව නැඟී සිටින ඔබ අපට ක්‍රියා කළ නොහැක. එහෙයින් අනාගත ලංකාවේ පොදු ජනතාවගේ විමුක්‌තිය සඳහා ඔබගේ සාවද්‍ය ක්‍රියා මාර්ගයට විරුද්ධව සටන් කිරීමට අප මේ එඩිතර පියවර ගත් බව සිහියේ තබාගත මැනවි.

මහජන එක්‌සත් පෙරමුණ රජයේ සමාජවාදී, ප්‍රගතිශීලීන් පන්නා දැමීමට ඔබගේ පැසිස්‌ට්‌වාදී දක්‌ෂිණාංශික ඇමැතිවරුන් ගෙන ගිය වෑයමට නිර්ලඡ්ජි ලෙස යටවූ ඔබ පොදුජන ජයග්‍රහණය ප්‍රතිගාමී පිරිසකට පාවා දුන්නේය. එබඳු රජයක මොහොතක්‌වත් පසුවීමට නොහැකි බැවින් මේ ඉල්ලා අස්‌වීම භාරගත මැනවි” යනුවෙන් ඔවුන් අගමැතිතුමා වෙත යෑවූ ලියෑවිල්ලේ සඳහන් විය.

මේ අනුව “මහජන රජය” මහජන එක්‌සත් පෙරමුණ රජය ලෙස නොව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ රජයක්‌ ලෙස එතැන් සිට හැඳින්විණ.

මෙසේ විරුද්ධ පක්‌ෂයේ අසුන් ගත් පිලිප්, විලියම් ද සිල්වා ඇතුළු හිටපු අමාත්‍යවරු, මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාමාර්ගයන් පිළිබඳව මහජනතාව නොඉවසිලිමත් ලෙස බලා සිටියහ.

මෙදින වර්ෂ 1959 මැයි 18 වැනි සඳුදා තම විරුද්ධ පක්‌ෂයේ අසුනින් නැගී සිටි පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා අගමැතිතුමා අමතා කතා කළේය.

“ගරු අගමැතිතුමනි, ඔබතුමා පරෙස්‌සම් වන්න. ඔබතුමා පරෙස්‌සම් විය යුත්තේ ඉදිරියෙන් එන හතුරන්ගෙන් නොවේ. පිටුපසින් සිටින මිතුරන්ගෙනි” යි කී එතුමෝ යළි අසුනේ හිඳගත්හ.

මෙහිදී බණ්‌ඩාරනායක අගමැතිතුමා කළේ අත්දෙක අහසට ඔසවා “මට හතුරො නෑ·” කියා පිලිප් මන්ත්‍රීතුමාගේ එම ප්‍රකාශය අවඥාවට – උපහාසයට ලක්‌ කිරීමය.

පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු පිරිස ඉන්පසු කළේ රජයේ කටයුතු කෙරෙන අන්දම ගැන ඇස සිත ඇරගෙන විමසිල්ලෙන් යුතුව බලා සිටීමය. අගමැතිතුමාට විරුද්ධ වූවන් යළි තවතවත් බලගතු වන බව පෙනුණු නමුදු ඒ පිළිබඳව පිලිප් මැතිතුමන් ඇතුළු පිරිසට කළ හැකි යමක්‌ නොවීය. මේ සමයෙහි හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මැතිතුමා යළිත් දේශපාලන කරලියට ගෙන එන්නට කිහිප දෙනකු උත්සාහ කරන බවද පළ වී තිබිණ. මේ සම්බන්ධව එක්‌ ප්‍රසිද්ධ කතාවකදී ප්‍රකාශයක්‌ කළ බණ්‌ඩාරනායක අගමැතිතුමෝ….. “ඩඩ්ලිගේ බඩේ ලෙඩේ·” යයි කියමින් එය උපහාසයට ලක්‌ කළහ. එවන් කතාවලින් බණ්‌ඩාරනායක අගමැතිතුමා පිළිබඳව එකල පැවැති මහජන අප්‍රසාදය තවත් වැඩිවෙමින් පැවතිණ. මේ අතර කුමන්ත්‍රණකරුවෝ බලවත් වෙමින් තමනට අවස්‌ථාව ලැබෙන තෙක්‌ තුවක්‌කු, පිස්‌තෝල මානමින් සිටියහ.

පිලිප් මැතිතුමාගේ ප්‍රකාශයෙන් ගත වූයේ හාර මාසයක්‌ පමණි. 1959 සැප්තැම්බර් 25 වැනිදා උදේ 10 ට භීෂණ ආරම්භයක තතු ගුවන්විදුලියෙන් රටපුරා පැතිර ගියේය. එය නම් කිසියම් හාමුදුරුනමක්‌ විසින් රොස්‌මිඩ්හි බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ නිවාසයේදීම එතුමාට වෙඩි තබන ලද බවය. බරපතළ ලෙස තුවාල ලත් එතුමා මහ රෝහල්ගත කරන ලද බවය. ඉන්පසුව සිදු වූ දේ කෙටිකර කීමක්‌ වශයෙන් කිව හැක්‌කේ එතුමාට කරන ලද පැය ගණනක ශල්‍යකර්මයෙන් අනතුරු ව පසුව 1959 සැප්තැම්බර් 26 වැනිදා උදේ 7 ට එතුමා අභාවයට පත් විය.

මෙම අවස්‌ථාවේදී වැඩි දෙනකුට නිසැක වූයේ අගමැතිතුමා ඝාතනය කර දැමීමට ඉදිරියෙන් ආ සතුරන් නොව පිටුපසින් සිටි මිතුරන් මුල් වූ බවය. නොයෙකුත් කටකතා ඒ ගැන කියෑවෙමින් සිටියදී පහුවදා උදේ ගුවන්විදුලියෙන් අභාවයට පත් අගමැතිතුමා පිළිබඳව ගුණ කථනයක යෙදුණේ කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්‌ඛිත හිමියන්ය.

බුද්ධරක්‌ඛිත හිමියෝ එම ප්‍රකාශය ඇසුවන් කුළ අමුතුම සංවේගයක්‌ ඇති කිරීමටද සමත් විය. මෙවන් උදාර ජනනායකයකු මෙසේ භීෂණ ලෙස ඝාතනයට පත් කිරීම ඉරහඳ නූසුලන මහාපරාධයක්‌ බව කියවිණ.

පසුව ආපසු කැලණි පන්සලට යන ගමන් ඔරුගොඩ වත්තේ කොළඹ පළාත් සභාවේ සභාපති කරෝලිස්‌ අමරසිංහ වෙදා? හමුවට ගිය බුද්ධරක්‌ඛිත හාමුදුරුවෝ “බය වෙන්න එපා වෙද මහත්තයා මම මේ එන්නේ ගුවන්විදුලියට ගිහිල්ලා බණ්‌ඩාර ගැන ගුණ කථනයකුත් කියා” යි කියා ගිය බවද හෙළි විය. පණපිටින් සිටියදී නොමරා මරණ ආණ්‌ඩුවේ කටයුතු කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා බණ්‌ඩාරනායක මැතිතුමාගේ මිනීපෙට්‌ටියට මුලින්ම කර ගැසූ බවට ඒ ගැන පළවූ ඡායාරූපයකින් හෙළි විය.

පසුව වැඩි දෙනකු කියා සිටියේ පිලිප් මන්ත්‍රීතුමා එදා කී වචන ගැන බණ්‌ඩාරනායක අගමැතිතුමා සැලකිලිමත් වී කුමන්ත්‍රණකරුවන් අල්ලා ගන්නට කටයුතු කළා නම් ඒ කුරිරු ඝාතනය සිදුනොවන්නට ඉඩ තිබුණු බවය. එහෙත් අගමැතිවරයා එදා පිලිප් මන්ත්‍රීතුමාගේ වචන අවඥවට ලක්‌ කර තමාගේ මිනීවල කපන කුමන්ත්‍රණකරුවනට තවත් උදව් දුන් බව මධ්‍යස්‌ථ විචාරකයෝ පසුව පළ කළහ.

අභාග්‍යසම්පන්න ලෙස නායක ඝාතනයක්‌ නිර්මාණය වූයේ එසේය.

– සෝමසිරි කස්‌තුරිආරච්චි-දිවයින

 

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!