page hit counter
Monday , December 18 2017
Breaking News
Home / nedungamuwe-raja / රටම දන්න නැඳුන්ගමුවේ රාජා ගැන ඇත්ගොව්වා කියන සංවේදී කතාව

රටම දන්න නැඳුන්ගමුවේ රාජා ගැන ඇත්ගොව්වා කියන සංවේදී කතාව

පියෙකුගේ සෙනෙහසත් මවකගේ උණුසුමත් දෙකම එකට කැටිකොට තනා ලෝකයට දායාද වන මිනිසුන් ඉතා දුලභය. මුළු ජීවිත කාලය පුරාවටම සොයා ගියත්, එවැනි මිනිසෙකු මුණගැසෙන්නේ ඉතාමත් කලාතුරකින් විය හැකිය. පසුගිය දිනෙක ලද ආරංචියක් ඔස්සේ එවැනි උත්තරීතර මිනිසෙකු සොයා අප පිළියන්දල ධර්ම ශාස්තේ‍රා්දය පිරිවෙනට පිටත් වීමු.කලින් දැනුම් දී තිබුණු බැවින්, දුර තියාම අපිව දැක ගන්නට බලා සිටි ඔහුගේ මුවින් පිටවුණු පළමු වදන් පේළිය මෙසේය.

“අනේ නෝනා, මහත්තයලා මෙයාගෙ ෆොටෝ ගන්න එපා. බලන්ඩකෝ මට දැන් දවස් ගාණකින් මෙයාව හරියට නාවාගන්ඩ විදිහක් වුණේ නෑ. ගෝමරයක්වත් පේන්න නෑනේ. මෙයා මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයිනේ.. දැන් ඔය ඉන්නේ එයා නෙවෙයි. සිහියක් නෑ එයාට මේ දවස් ඉතින් ඔහොම තමයි..”

මට එක්වරම සිහියට නැඟුණේ පෙර පාසලේ සරස්වතී නැටුමට පෙර පුහුණු වූ දා පාද සළඹ බැඳ, නළල් පට තබා මා සරසවා, තිලක තබා ආයිත්තම් අන්දවා හැඩකොට එක් වටක් කරකවා හැඩ බලා සතුටු වූ අම්මාගේ දෑසය. සරස්වතී නැටුමට හරියටම දිනකට උඩදි මට තද බල ලෙස උණක් සෑදි තිබුණි. එදා නැටුමට යන්නට නොහැකි වූ දිනයේ මට වඩා කඳුළු වැටුණේ අම්මාගේ දෑසින්ය.

මෙදා ඒ කඳුළුව ඒ සෙනෙහසම මගේ දෑස් ඉදිරිපිට නැවත දුටුවෙමි. ඒ වෙනකවරෙකුවත් නොව, මද කිපී ඇති බැවින් දළදා කරඬුව වැඩමවීම තවම නිශ්චිත නොවන නැඳුන්ගමුවේ රාජාගේ ඇත්ගොව්වාය.

මේ දිනවල නැඳුන්ගමුවේ රාජා රැක බලා ගන්නේ, පෙතිගමුවේ රාහුල හිමියන්ගේ භාරකාරීත්වය යටතේ ඇති පිළියන්දල ධර්ම ශාස්තේ‍රා්දය පිරිවෙන් භූමියේය. සියලු ආරක්ෂාව, සත්කාර සහිතව නැඳුන්ගමුව රාජා එහි සිටී. නමුත් කිසිවෙකුටත් ඒ අසලට යාමට හෝ ඡායාරූප ලබා ගැනීමට හෝ අවසරයක් නැති බවත්, එසේ නොකරන ලෙසත් අවධාරණයෙන් යුතුව ආරම්භයේදීම දැනුම් දීමට කැමැත්තෙමි. ඔහුගේ කාරුණික ඉල්ලීම පරිදි අප නැඳුන්ගමුවේ ඇතාගේ ඡායාරූප ගැනීමෙන් වැළකුණෙමු.

ශාස්තේ‍රා්දය පිරිවෙන් භූමියේ නිස්කලංක වට පිටාවත් මනරම් පරිසරයත් විඳගනිමින් අපි පිළිසඳරට මුල පිරුවෙමු.

මාමා අපිට කියන්ඩකෝ මුලින්ම මාමගේ නම ගමේ විස්තර?
නම විල්සන් කොඩිතුවක්කු. ගම ගාල්ලෙ උඩුගම. මම මෙහාට ආවේ 1972 අවුරුද්දෙ. ඒ දවස්වල අකුරැස්ස කැලේ වැඩපොළවල් තිබ්බා. මම එහේ වෙන අලියෙක් බැලුවා. අපේ රාළහාමි ළඟ හිටියා සීතා කියලා ඇතින්නියක්. ඔය ඇතින්නි බලාගන්ඩ මට හිත් දුන්නා. ඔය විදිහට තමයි මට සීතා ඇතින්නිව බලා ගන්ඩ ලැබුණේ. මං අවුරුදු 33ක් ඒ ඇතින්නිව බලාගත්තා. සීතාගෙන් පස්සේ තමයි නැඳුන්ගමුවේ ඇතා බලාගන්ඩ ලැබුණේ. දැන් අවුරුදු 15-16 විතර තිස්සේ ඉඳලා එයාව බලාගන්නවා. සිතා ඇතින්නිය ගැන විල්සන් මාමාගේ මතක පොත හෙමින් හෙමින් දිග හැරෙන්නට විය.

“සීතා ඉතිං මං නොකඩවා අවුරුදු 33ක් බැලුවා. මං තනියමමයි එයාව බලාගත්තේ. එයා ලංකාවේ ඉපදුණු කෙනෙක්. අපි දෙන්නා ඉතින් යාළුවෝ වාගේ තමයි හිටියෙ. මුකුත් නෑ ඉති ආයේ දෙන්නට දෙන්නා නැතුවම බාරුවා වාගේ තමයි අපි හිටියේ. වැඩ මාසේ පළවෙනිදා වැඩට ගියාම ඉතින් අනිත් අවුරුද්දේ එපිට මාසේ තමයි ආයෙත් ගම්පහට එන්නේ. අවුරුද්දම ඇතින්නත් එක්ක වැඩපොළේ ඉන්නවා. කැලේ ඉඳන් කඳන් එළියට ලිහනවා. ඊට පස්සේ කොස්ගම, ගිං තොට වගේ දිගැස්වලට පටවනවා.”

“අවුරුදු 50-60 පමණ වන කාලයේ සීතා අසනීපයකින් මිය යනවා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර වෙනකං රාළහාමිලාගේ ගෙදර ඉඳන් පුලස්ති කියන අලියා බලාගන්නවා.”

ඔය කාල වකවානුවේ නීලම්මහර වෙද හාමුදුරැවන්ගේ අපවත්වීමෙන් පසුව ගෝල හාමුදුරුවෝ නැඳුන්ගමුවේ රාජාව (එවකට රාජා නමින් හඳුන්වන්ට ඇත) උඩුවේ රාළහාමී විසින් රාජා මිලටගෙන ඇතා බලා කියා ගන්නට විල්සන් මාමාට භාර කර ඇත.

“නැඳුන්ගමුවේ රාජා මට භාර දෙන්ඩ කලින් තව කට්ටිය දෙතුන් දෙනෙක් බලාගෙන තියෙනවා. මම මේ එයාව බලන්නේ හතරවෙනියා හැටියටයි.”

නැඳුන්ගමුවේ රාජා අඛණ්ඩව 12 වතාවක් කරඬුව වැඩම්මවීමට පූජාවට සහභාගී වී ඇති අතර සහභාගී වූ ප්‍රථම වතාවේදී කරඬුව වැඩම්මවීමට නොහැකි වී ඇත. එයට හේතු වූයේ කරඬුව තබා බඳින පටි ඇතාගේ ශරීරයට ප්‍රමාණවත් නොවීමත් වහල්කඩේ වැදෙන උස පිළිබඳව ප්‍රශ්නයක් මතුවීමත්ය. ඒ ප්‍රශ්න විසදා ගැනීමෙන් පසුව නොකඩවාම අවුරුදු 11ක් නැඳුන්ගමුව රාජා කරඬුව වැඩම කරවා ඇත.
දැන් ඉතින් මේ පාර මොකද වෙන්නේ උද්යෝගය වැඩිකමටම අපේ කණ්ඩායමේ අයෙක් විසින් ඒ ප්‍රශ්නය යොමු කෙරුණි.

“මේ පාර ඉතින් මහත්තයා හරියටම කියන්ඩ බෑ. ඇතා ලිහන්ඩ පුළුවන් වුණොත් යන්ඩ පුළුවන්. දැන් නම් තත්ත්වය ටිකක් අඩුවෙලා වාගේ කියලා හිතෙනවා. ඒත් ඒක හරියටම කියන්ඩ බෑ. අඩුවෙලා අනිත් අතට වැඩිවෙන්ඩත් පුළුවන්නේ.”

ඇයි ඒ එහෙම අසනීප වෙන්ඩ හේතුව මොකක්ද?

එවර ප්‍රශ්නය නැගූයේ පෙර ඇසූ පිළිතුර තවත් පැහැදිලි කරගැනීමේ උවමනාවෙනි.

“අසනීප නෙවෙයි මහත්තයෝ ඕක එන්නේ ඇඟේ ජොහොරේ වැඩිකමට.. ඒ කියන්නේ ඇඟේ ලෙඩදුක් අඩුයි. නීරෝගීවන්තයි.. ඒ නීරෝගීබව තමයි ඔය පෙන්නුම් කරන්නේ. ඒ කිව්වේ මහත්තයෝ ඇතා තෙමෙන වාර දෙකක් එනවා. එහෙම එන්නේ ඇතාගේ ඇඟේ තියෙන නීරෝගීවන්තකම වැඩි හින්දම තමයි. තෙමෙනවා කිව්වේ මහත්තයෝ මද කිපෙනවා කියන එක තමයි. සාමාන්‍යයෙන්, ඇතෙක්ගේ ගමන් දෙක තෙමෙන්නේ සතෙක්ගේ තියෙන නීරෝගීකම හින්දා තමයි. නැත්නම් මෙයාගේ නොවැම්බර් මැද ඉඳලා අප්‍රේල් මුල වෙනකොට ගහේ තෙමෙන කාලේ එනවා. ඊට අමතරව අවුරුද්දේ මැද තෙමෙනකොට තමයි අර මේ වගේ කාලයක් අහුවුණොත් ඉතින් පෙරහැරට ගෙනියන්න අමාරුවෙන්නේ.”

“මෙදා පාර මාසේ පෝය කලින් වැටුණයින් තමයි මේ වැඩේ මෙහෙම වුණේ. නැත්නම් වෙනදට පෝය මැද වැටුණාම මෙයාගෙ ඒ දවස් හරි ගාණට ගෙවිලා පෙරහැර කාලෙට මෙහා ලිහන්ඩ පුළුවන් වෙනවා.”

ඉන්දික නැඳුන්ගමුවේ ඇතා බලාගන්නට උදව්වන්නට එන්නේ පොල්ගහවෙල සිටය. ඒ මීට අවුරුදු 6කට එපිටදීය. විල්සන් මාමා සමඟ එක්වී නැඳුන්ගමුවේ රාජාට සත්කාර කරන්නට ඉන්දිකට හිත කැමති වී ඇත්තේ ඔය පෙරහැර බලන්නට නිතර ආ ගිය ගමන් වාරවලදීම උපන් ආසාවක ප්‍රතිඵලයක් වශයෙනි.

“පෙරහැර නැති දවස්වලට ගෙදර තියාගෙන දවසක් ඇර දවසක් මෙයාව නාවනවා. උදේ 10ට ගියාම හැන්දෑවේ 6, 7,ට තමයි දියෙන් ගොඩගන්නේ, සෑහෙන්න අතුල්ලන්ඩ තියෙනවානේ..”

දිය කෙළියට අප කවුරුත් ප්‍රිය කරන්නේ වයස් භේදයකින් තොරවය. එහෙත් වයස අවුරුදු 64 ක එහෙත් සද්ධන්තයෙක් මෙල්ලකරගනිමින් වයස අවුරුදු 69ක පමණ වයෝවෘද්ධ මේ පුංදි මිනිසා සිදු කරන්නාවූ කැප කිරීම නැවත නැවතත් මතක් කර දෙන්නේ දයවේ කරුණාවේ අපරිමිත මහිමයයි.

“අලියෙක් බලනවා වාගේ නෙමෙයි ඇතෙක් බලාගන්නවා කියන එක ටිකක් බරපතල වැඩියි. දළ දෙක එහාට මෙහාට කරද්දි වුණත් පුංචි අතපසුවීකින් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි මේ ඇතා බොහෝම කරුණාවයි. එයා ඇවිදගෙන යන තැනකදී හදිසිස්යක දී හරි මම නතර වෙලා කියලා දැනුණොත් එයා මං එනකං නතර වෙලා බලං ඉන්නවා. ඒ තරමටම හරිම කීකරුයි.”

ඇතෙක් සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ටම අනන්‍ය භාෂාවක් ඇත. විල්සන් මාමගේ පරම්පරාවේ අයගෙන් ඒ සම්බන්ධව ලබාගත් ආභාෂයද සමඟින් විල්සන් මාමා ඒ පිළිබඳව දැරූයේ මෙබඳු අදහසකි.

“අලි ඇතුන් සමඟ කතා කරන්ඩ භාෂා 15ක් විතර තියෙනවා. ඒ භාෂාව ඇතුළේ ඇතා, අලියා, ඇතින්න කියන ආමන්ත්‍රණය විතරයි වෙනස් වෙන්නේ. එහෙම නැතුව අලි ඇත්තුන්ගෙ භාෂාව එකයි.”

සමහර වෙලාවට විල්සන් මාමා කතා කරන භාෂාවට වඩා ඔහුගෙන් ලැබෙන ආදරය සෙනෙහස ඇසුරෙන් මේ පුංචි මිනිසා ගැන බොහෝ සේ රාජා දැන උගත්තා විය හැකිය.

වෙන ඇතුන් මෙල්ල කර ගැනීමට අත් කකුල් සතරට පතාක දම්වැල් යොදා හිර කර බඳින විට නැඳුන්ගමුවේ ඇතා කරඬුව වඩම්මවන්නේ ඒ කිසිවකින් තොරවය. හදිසි අවශ්‍යතාවයකදී පමණක් පෙර සූදානම් වීමට පයට දම්වැල් යොදාගනු ලබයි. මේ සියල්ලෙහි අර්ථය ගත්විට ඉතා සරළය. එනම් අවිහිංසාව, දයාව කරුණාව මධ්‍යයේ සියල්ල දණ නමන බවය. ඒ නිසාම වෙන ඇතුන් මෙල්ල කරනවා වගේ රාජාව මෙල්ල කිරීමට විල්සන් මාමාට හෙණ්ඩුව හෝ යකඩ දම්වැල් උවමනා කරන්නේ නැත.

“වෙන අලින්ගේ කකුලයි අතයි ඔක්කොම බැඳගෙනනේ කරඬුව බඳින්නේ. ඇතාව හික්මවාගන්න එහෙම කිසිම දෙයක් ඔනැන්නෑ” දැං අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කරඬුව වඩම්මවද්දී අලි කෝලාහලයක් වුණා. ඉන්දි රාජායි, වාසනා ඇතයි තමයි දෑලට හිටියේ ඒ දෙන්නත් ඒ කුලප්පුවටම පැනගෙන දිව්වා. මෙයා විතරක් නෙමෙයි එක අඩියක් පාවඩෙන් හෙල්ලුනේ. කරඬුව තියාගෙන එහෙම්ම හිටියා. මෙයාගේ තියෙන බෝධිසත්ත්ව ගුණය කියන්නේ අන්න ඒකට තමයි”

පෙරදීත් තිරිසන් ආත්මයක ඉපිද පෙර ආත්මභාවයක සිටම බුදුන්ට කළ පුද සත්කාරවල සංසාර පුරුද්දට බුදුන් වහන්සේ උදෙසා මෙසේ පුද සත්කාර කරන්නට ඉපිද මේ ගෙවන්නේ අවසන් තිරිසන් ආත්මය බවට පුරාණ කතාවල විස්තර දක්වමින්

“මෙයා ඉතින් මේ ආත්මෙන් පස්සේ දෙවිකෙනෙක් වෙලා තමයි උපදින්නේ, පිංමනේ ඉතින් මේ කරන්නේ” විල්සන් මාමා කියූ විට එවැනි පින්වන්තයෙකුගේ ඇසුර ලබන්නට විල්සන් මාමා කොතරම් පින්කර තිබෙන්නට ඇතිදැයි මට සිතුණි.

“රාළහාමිලාගේ ගෙදරින් පෙරහැරට පිටත්වුණාම ගමනට දවස් 5ක් ගත වෙනවා. පළවෙනි දවසේ ගිහිං නවාතැන් ගන්නේ නිට්ටඹුවේ පිරිවනේ, මහ පන්සල කියන්නේ.. එතනින් පිටත්වෙල දෙවෙනි දවස ගිහිල්ල බඳිනවා දං ඕවිට, අපි අඳුරන කට්ටියත් ඉන්නවා ලී මෝලක් තියෙන ඊට පස්සේ ගිහිල්ලා, බඳිනවා නෙළුම්දෙණියේ… එහේ කට්ටිය අපි යනකොට කෑම එහෙම සේරෝම ජාති ලෑස්ති කරලා තියෙනවා. එතනින් ගිහිං බඳින්නේ රංවල පන්සලේ. විලෙන් නාවගෙන පහුවදාට පහුවදා තමයි මාළිගාවට යන්නේ. දැන් අවුරුදු 12ක් තිස්සේ මෙයා ඒ පූජාවට කැප වෙලා ඉන්නවා ඉතින් ඒ පිනම ඇති මෙයාට ඊළඟ ආත්මේ හොඳ උත්පත්තියකට යන්ට.” එසේ කියන අතරේ විල්සන් මාමා ගේ දෑසට ඉනු කඳුළු කැඩ හෙමින් සීරුවේ ඔහේ බොඳවී යන්නට ඉඩහැර තිබුණි.

මෙතුවක් කාලයකට නැඳුන්ගමුවේ ඇතාට ඇතිවුණ විවිධ ආබාධ අසනීපවලට බෙහෙත් ලෙස සිදුකරන්නේ සිංහල වෙදකමය. ඒ වෙදකම විල්සන් මාමා අතින් හෝ රාළහාමි අතින් මෙතෙක් කාලයක් පුරාවට සිදු කර ඇත. ඒ ලෙඩ රෝග අතර ඇතුනට මද කිපෙනවා යනු ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලියේ හටගන්නා අසමතුලිතතාවයක් හේතුවෙන් හටගන්නා තත්ත්වයකි.

“මද කිපෙනවා කියන්නේ, ඒ කාලෙට එයාගේ ඇඟේ ඇතිවෙන ජොහොරෙට හැදෙන ලෙඩක්. ඒ කාලෙට මෙයාලට fit එක වගේ ගතියක් තියෙනවා, හරිහැටි කල්පනාවක්, කාවවත් අඳුරන්නේ නෑ සිහිය හොඳ මඳි. ඒ වගේ වෙලාවකට අපි වුණත් මෙයාගේ ආවෙතේවවලට යන්නේ හුඟක් පරිස්සමට තමයි. අර මහත්තයෝ අපිට තද ඔළුවේ කැක්කුමක් ආවාම අපි හරි අකමැතියිනේ කාත් එක්කවත් වැඩිය පයිරුපාසානම් වෙන්නයන්ඩ, ආන්න ඒ වගේ තමයි මෙයාටත් මේ ලෙජේ ආවාම හැටි ඒ වගේ තමයි.”

ඇතුන්ට කුල 10කි. නැඳුන්ගමුවේ ඇත් රාජ අයත් වන්නේ ඇත් කුලවල ඉහළම පළැන්තියේ දෙවන ඇත් කුලය වන මංගල කුලයටය. ඇතාව පට්ටි දාන්න බැරිදැයි අප ඇසූ ප්‍රශ්නය පිළිබඳව විල්නස් මාමා අපට කරුණ ගෙනාවේ මෙසේය.

“මෙයාට පට්ටි දාන්ඩ හරියන ඇතින්නක් කොහෙන්ද මහත්තයෝ හොයන්නේ. එහෙනම් ඉන්දියාවෙන් වත් ගිහිං හොයාගන්න වෙනවා. පට්ටි දාන්ඩ නම් කුලේට කුලේ ගැළපෙන්නට ඕනෑ. මෙයා වගේ කෙනෙක්ට පට්ටි දාන්ඩ මෙයාගේ තරම්ම කෙනෙක් නැත්නම් වැඩක් නෑ මහත්තයෝ”

ඇතෙකු පට්ටි දානවා යනු ඉංගී්‍රසී භාෂාවෙන් ගත් විට cross කිරීම නැතහොත් ලිංගිකව විරුද්ධ පාර්ශවය සමඟ එක්කිරීම මඟින් පරම්පරාව බිහිකිරීම සඳහා අවකාශ ලබාදීම ලෙස හැඳින්විය හැකිය.

විල්සන් මහතාගේ දැනීමට අනුව ඇතෙකු පට්ටි දැමීමට නම් ඒ ඇත් කුලයේම ඇතින්නක් ඇතාට ගැළපිය යුතුය.

එහෙම බැලුවාම නැඳුන්ගමුවේ හස්ති රාජයාගේ තේජස සහ පින් මහිමයට පෑහෙන ඇතින්නක් මේ මිහිපිට සිටීම අසම්භාවිත කරුණක් බව පිළිගැනීමේ ‍දොසක් ද නැත.

විල්සන් මාමේ මනුස්සයන්ගෙනුයි මේ ආතාගෙනුයි කව්රු වැඩිය පින් කළා කියල ද හිතෙන්නේ? පිළිසඳරේ අවසන් මිනිත්තු කිහිපය ද ඉක්මවන්නට දැන් ඉතා ආසන්නය.

“මනුස්සයා දැං පිං කරගන්නේ නෑනේ. දැං දියවඩන නිලමේතුමා මාලිගාවේ ඉඳලා කරඬුව ඇතා පිටට වැඩම්මුවාම, එතන ඉඳලා මුළු පෙරහැර පුරාවටම කරඬුව වඩම්මවාගේන යන්නේ කවුද? ඒ පින හිමිවුණේ කාටද? ඒ උතුම් තත්ත්වය ලබන්න තරම් මෙයා කොච්චර පින් කරන්න ඇත්ද?

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මෙයාට පලතුරු කවලා එහෙම තියෙනවා. ඒ ඇරුණාම ඉතිං වෙන නායකයෝ කව්රුත් නම් මෙයා ළඟට ආවේ නෑ.”

සද්ධන්ත කුලයට පමණක් දෙවනි වන මංගල කුලයේ ඇත් රාජාව බල්නනට සද්ධන්ත කුලයේ දේශපාලන ඇත්තෝ එහෙම ආවා දැයි අසා බැලූ ප්‍රශ්නයට මට ලැබුණේ ඒ පිළිතුරය.

“මෙයාට මට පුළුවන් උපරිම තාක් සලකා බලාගෙන ඉන්ඩ තමයි ඉතින් එකම ප්‍රාර්ථනාව…. හදිස්සියකට නිවාඩුවකට ගෙදර ගියත් මෙයා ගැන අහලා දැනගත්තේ නැත්නම් මට හරියට නින්දක් වත් නෑ..”

මහාවග්ගපාලියේ එන සු‍දොවුන් රජතුමා බුදුන්වහන්සේගෙන් කළ ඉල්ලීමක් මට සිහිවුණි.

“පුත්‍ර ප්‍රේමය වනාහී හම සිඳී, හම සිඳ මස සිඳී මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී ඇට සිඳ ඇට මිඳුළු තෙක් කිදා බැස එහි රැඳී සිටී..”
ඇතෙකුගේ හා ඇත්ගොව්වාගේ ප්‍රේමය ඊටත් එහා එහා අෑත ගැඹුරකට කිදා බැස රැඳී සිටී..”
එහි ඇත්තේ අව්‍යාජ වූත් කාරුණික වූත් මෛත්‍රී සහගත පූජනීයත්වයකි

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!