page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / රුසියාවෙන් ලැබුණු නුවර යුගයේ කස්තානය ගැන රහසක්

රුසියාවෙන් ලැබුණු නුවර යුගයේ කස්තානය ගැන රහසක්

ටුගැමුණු රජතුමාගේ මඟුල් කඩුව අතුරුදන් වී ඇති බවටත් එය පසුගිය සමයේ රාජ්‍යනායක පවුලක සාමාජිකයකු විසින් පැහැරගත් බවටත් පසුගිය කාලයේ කටකතා පැතිරිණ.

එහෙත් දුටුගැමුණු රජතුමා සඳහා පරිච්ඡේද 11 ක්ම වෙන්කොට ඇති සිංහලයේ අසමසම ඵෙතිහාසික මූලාශ්‍රය වන මහාවංසයේ වත් දුටුගැමුණු රජුගේ මඟුල්කඩුවක් පිළිබඳව සඳහනක් නැත.

අඩුමතරමින් ඉන් සියවස් කීපයකට පසුව ලියැවුණු එහිම අටුවාව වන වංසත්තපකාසිනියේ වත් එවැනි කඩුවක් පිළිබඳව සඳහනක් නැත.

පැරණි යුද ආයුධ ගැන සඳහන් කරන විට කඩු – කස්තාන යනුවෙන් සඳහනක් ඇත. මෙහිදී කස්තානය(Carved sword) යනු කැටයම් කළ හෙවත් වැඩ දැමූ කඩුවකි. එය බොහෝ විට රාජ්‍යත්වය සහ ප්‍රභූත්වයේ සංකේතයක් ලෙස යොදා ගනු ලබන්නකි.

වසර 44කට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ලැබුණු පළමු නිල ආරාධනය සනිටුහන් කරමින් පසුගිය මාර්තු මාසයේ රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතවූ ජනාධිපතිතුමාගේ සංචාරයට ලබා දුන් ඉහළ පිළිගැනීමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා විසින් අතීතයේ අප සතුව තිබූ මෙම ඓතිහාසික කස්තානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා ඇත.

පෞරාණික වටිනාකමකින් යුත් මෙම කස්තානය මහනුවර යුගයට අයත් වූවකි. එය ඒකාන්තයෙන්ම මහනුවර යුගයේ රාජකීයකු විසින් භාවිතා කරන ලද්දකි. ඒ 1906දී පමණ එංගලන්තයට ගෙනගොස් තිබියදී එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකින් රුසියාව විසින් මිලදී ගෙන තිබේ.

මෙම කස්තානය ඉතාමත් දුර්ලභ ගණයේ රාජකිය ආයුධයකි. එපමණක් නොව ඓතිහාසික වශයෙන් අගයක් ඇති දුර්ලභ ගණයේ නිර්මාණයකි. රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග‍්‍රහයේ 243වගන්තියට අනුව පෞරාණික වටිනාකමින් යුතු පුරාවස්තූන් හා සංස්කෘතික අගයෙන් යුත් වස්තූන්ට හානි කිරීම හෝ විනාශ කිරීම අපරාධයක් ලෙස සඳහන් වෙයි. ඒ අනුව එම වස්තූන් ආරක්ෂා කිරීමේ වගන්තියට මෙම කස්තානය ද අයත්ව තිබුණි.

එහෙත් මෙම කස්තානය පිළිබඳව බොහෝ දෙනෙක් නොදත් රහසක්   හෙළි කිරීමට හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකවරයකු, කැලණි විශ්ව විද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාට හැකිව තිබේ.

මෙතෙක් සැඟවුණු එම රසවත් ප්‍රවෘත්තිය ඔහුගේම වචන වලින් මෙලෙ‍සිනි,

“මීට අවුරුදු 45 කට විතර කලින් 1972 අවුරුද්දේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය කාලයේ සෝවියට් – ශ්‍රී ලංකා සංස්කෘතික ගිවිසුමක් සම්බන්ධ කටයුත්තකට අපි තුන් දෙනෙක් රුසියාවට ගියා. ඒ ශ්‍රී ලංකාවේ කීර්තිමක් පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහත්තයයි, සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු වන නලීන් රත්නායක මහත්තයයි, මමයි.

එහිදී රුසියානුවෝ අපිව බොහොම ආදරයෙන් පිළිඅරගෙන ඒ රටේ සංස්කෘතිය දැක්වෙන හැම තැනක්ම හැම කලාවක්ම අපට ඉදිරිපත් කළා. අන්තිමට අපි තුන්දෙනාව ‍ ‘හර්මිටේජ්’ කෞතුකාගාරයට කැඳවාගෙන ගියා. ඒකෙ රුසියාවේ විතරක් නෙවෙයි ලෝකයේ වෙන රටවල් වල පුරාවස්තු කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අතරෙ ඉන්දියානු පුරාවස්තු සමග කඩු – කස්තාන රාශියක් තිබුණා. ඒ කඩු කස්තාන අතර තිබිච්ච එක කස්තානයක් දැක්ක හැටියෙ මාව විස්මයට පත් වුණා. මොකද ඒක ඉන්දියාවට කිසිම සම්බන්ධයක් නැති අපේ රටේ මහනුවර යුගයේ කස්තානයක්. මම ඒ වෙලාවෙම ඒක භාරව සිටි අභිරක්ෂක නිලධාරිනියට කිව්වා; ඔයාලට ලොකු වැරදීමක් වෙලා
(ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ)

තියෙනවා; මේක ඉන්දියානු කෞතුක භාණ්ඩ ගොඩට දාන්න එපා; මේක ශ්‍රී ලංකාවෙ කස්තානයක්; ඒක සියයට සියයක්ම තහවුරු කරන්න පුළුවන් කියලා.

ඊට පස්සෙ ඒ අභිරක්ෂක වරිය ඒ ගැන බොහොම උනන්දුවෙලා මම කියපු හැම දෙයක්ම එයාගේ අතේ තිබුණ පුංචි නෝට් පොතේ ලියාගත්තා. ඒ වෙලාවෙ සංස්කෘතික ලේකම් නලීන් රත්නායක මහතයටත් මම කිව්වා දෙරට අතරෙ සංස්කෘතික ගිවියුමක් ඇති වෙනව නම් මේ ව‍ගේ දේවල් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා.

කොහොම නමුත් මේක නැවත ලංකාවට ලැබෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. මගේ ජීවිත කාලය තුළම ඒක ලංකාවට හිමිවෙලා මම කලක් සේවය කරපු ජාතික කෞතුකාගාරයේ තැන්පත් වීම ගැන මගේ හිතේ අහිංසක සතුටක් තියෙනවා.”

මෙම කස්තානය කෞතුකාගාරයට භාරදීමේ උත්සව සභාව ඇමතූ පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ මහතා ලොව ප‍්‍රබල නායකයෙකුගෙන් ලැබුණු මෙම ඓතිහාසික තිළිණය තම පෞද්ගලික වස්තුවක් බවට පත් කර නොගෙන එය ජාතික උරමයක් බවට පත්කරමින් එයට හිමි නිසි ස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අපේ රටේ සංස්කෘතිය සහ ජාතික උරුමයන් පිළිබඳ දරණ නිවැරදි ආකල්පය මැනවින් පිළිඹිබු වන බව පැවසීය.

මහනුවර යුගයේ රාජකීයකු සතුව තිබූ මෙම අගනා ඵෙතිහාසික කෞතුක වස්තුව දැන් ඔබටත් ජාතික කෞතුකාගාරයේ දී නැරඹිය හැක.


ලක්බිම පුවත් ඇසුරින්

මිතුරන්ටත් බලන්න පහිතින් ශෙයාර් කරන්න

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!