page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්! හැමෝම නොදන්න ඒ ක්‍රමේ මෙන්න

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්! හැමෝම නොදන්න ඒ ක්‍රමේ මෙන්න

ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින් පසුවන පුද්ගලයන් ඔබද දැක තිබෙන්නට පුළුවන.

බොහෝ විට ඔබට මේ බිහිසුණු දර්ශනය දැක ගත හැක්කේ හින්දු කෝවිල් සහ සිංහල බෞද්ධයන් විසින් පවත්වාගෙන යනු ලබන දේවාලවල දීය.

කතරගම දෙවියන් ඇතුළු දෙවිවරුන් උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් වන මෙසේ ශරීරය යකඩ කොකු වලින් එල්ලී හිඳීම හඳුන්වනුයේ ‘පරවා කාවඩි’ හෙවත් ‘එල්ලුම් කාවඩි’ වශයෙනි.

බැලූ බැල්මටම බිහිසුණු බවක් පළකරන මෙය පූජා චාරිත්‍ර ක්‍රමයක් සේම එක්තරා කලා සංදර්ශනයක් ද වේ. එහෙත් විස්මයට කරුණ වනුයේ ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන් ඇතුළු පෙරදිග ජනයා විසින් දක්වනු ලබන මේ සොඳුරු හාස්කම කිරීමට තබා සිහිනයකින් සිතීමටවත් යුරෝපා ජාතීන්ට නොහැකි වීමය.

යුරෝපීය ජාතීන් කතරගම ආදී දෙවිවරුන් නොඅදහන බැවින් මෙය එම දෙවිවරුන් දැඩි දේව භක්තියකින් යුත් පෙරදිග ජාතීන්ට පමණක් දී ඇති විශේෂ වරප්‍රසාදයක් සේ යමෙකු සිතිය හැක. එසේම කතරගම දෙවිඳුන් අදහන සිංහල බෞද්ධයන් විශ්වාස කරනුයේ මෙය ‘කඳසුරිදුන් විසින් දෙමළ ජාතිකයන්ට’ පනවා ඇති දඬුවමක් වශයෙනි. ඒ සිංහල බෞද්ධයන් මෙම ‘පරවා කාවඩි’ වල නොයෙදෙන බැවිනි. එහෙත් දෙමළ ජාතිකයන් එම ‘දඬුවම’ අසීමාන්තික සතුටකින් භුක්ති විඳිනු පෙනේ.

ශරීරයේ මස් ‘උල් කොකු’ වලින් අමුණා එල්ලා තැබීමේ දී කුරිරු‍ වේදනාවක් ඇති නොවන්නේ මන්ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකු තුළ තිබේ. ඒ ඇල්පෙනිත්තක් ඇනීමේ දී ඇති වන වේදනාව වුව යමෙකුට පහසුවෙන් දරාගත නොහැකි බැවිනි. එ‍හෙත් වේදනාව යනු හුදෙක් ‘සාපේක්ෂ’ වූවකි. ඒ බව ‘වේදනා මාදිළිකරණය (Pain Modulation)’ යන වි‍ෂයේදී උගන්වනු ලැබේ.

ශරීරයට බාහිරින් සිදුවන බලපෑමක් මත ඇතිවන වේදනාව ඒ මොහොතේ පවත්නා ඒ තැනැත්තාගේ මානසිකත්වය මත අඩුවැඩි වෙයි.

ඒ අනුව දෙවියන් සතුටු කිරීමක්, දේව පිහිට ලබාගැනීමක් ආදී වශයෙන් සලකා ශරීරය කොකු වලින් අමුණා ගැනීමේ දී ඒ තැනැත්තාට ඇති වනුයේ කුරිරු වේදනාවක් නොවේ. දේව භක්තිය, සතුට, ජයග්‍රාහී හැඟීම, තම අධිශ්ඨානය, කැපවීම ආදී හැඟීම් සමුදායක් එක්කොට ගත් සම්මිශ්‍රිත හැඟීමකි. ඒ හැඟීම මොළයේ ඉදිරිපස ඇති ‘ළලාට පිණ්ඩිකය (Frontal Lobe) ’ ආශ්‍රිත ‘උච්ච හැඟීම් දනවන ස්ථාන (Higher Centers) ’ වලින් ලබා දෙන විට එම වේදනාව ශීඝ්‍රයෙන් පහව යයි. මෙය විද්‍යාත්මක හැඳින්වෙනුයේ ‘ගේට්ටු පාලන න්‍යාය (Gate Control Theory) ’ යනුවෙනි.

එවන් අවස්ථාවල මොළයේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය මුල්කොට සිරුරට අත්වන වේදනාව විවිධ ‘ගේට්ටු’ වලදී අඩුකිරීම මෙහි සරල සිද්ධාන්තයයි.

එමෙන්ම මෙහි සංස්කෘතිකමය පසුබිමක් ද තිබේ. ඒ තැනැත්තා දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය, එම සංස්කෘතියට ඇති දැඩි ආශාව සහ කැපවීම එම ක්‍රියාව තුළින් වීරත්වයක් ආරෝපණය කර ගැනීමට ඇති ආශාව ආදී විවිධ හේතු මත එම වේදනාව පහව ‍ගොස් කෙමෙන් එය සතුට මිශ්‍රිත අපූරුතම හැඟීමක් බවට පත්වෙයි.

එමෙන්ම මෙහිදී කහ දියර, දුම්මල අළු ආදී විෂබීජ නාශක ද්‍රව්‍ය එම ස්ථානවල ගල්වන අතර සංගීතය, සීනු හඬ ආදී තියුණු ශබ්ද මගින් ඒ තැනැත්තාගෙ සිත තුළ සතුටක් ජනිත කෙරේ. මෙය එක්තරා අන්දම තුෂ්ටක ක්‍රියාකාරීත්වය (placepo effect) කි.

නමුත් දෙවියන් සම්බන්ධයෙන් අපට වඩා වෙනස් අකාරයක භක්තියක් දනවන යුරෝපා ජාතීන්ට මෙම හපන්කම කළ නොහැකිය.

මෙහිදී ‘සතුට මිශ්‍ර වේදනාව’ යන්න ඔබට තරමක ගැටළු සහගත දෙයක් විය හැක. එහෙත් ලිංගිකත්වයේ දී තමන්ට පීඩා සිදුකරගන්නා තරමට සතුටක් ලැබිය හැකි ‘ස්වපීඩක කාමුකත්වය’(Masochism) නම් රෝගයක් තිබේ.

එමෙන්ම දැඩි ‘භාවමය කම්පනයක දී’ හෝ ‘භාවමය උත්තේජනයක දී’ ද වේදනාව දැඩිව නොදැනෙන බව යුද බිමේ දී දරුණු ප්‍රහාරයන්ට ලක් වූ රණවිරුවන්ගෙන් අසා දැනගත හැක.

‘ඒ වෙලාවෙ නම් මට කිසිම ගාණක් තිබුණේ නෑ.’ තම බිහිසුණු අත්දැකීම විස්තර කරමින් ඔවුන් එසේ කියනුයේ මෙම මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය පදනම් කර ගනිමිනි.

එසේම මෙලෙස කොකු වලින් එල්ලීම පුරුදුවන තරමටම වේදනාව අඩුවන බව ද ප්‍රායෝගික සත්‍යයකි. එසේ නිතර නිතර ‘එල්ලුම් කාවඩි’ වල යෙදෙන පුද්ගලයන්ගේ එම කොකු ගසන ස්ථාන වල කැලැල් ඝණ වී ඇති බැවින් එම ස්ථානවලට නැවතත් යකඩ කොකු ගැසීමේ දී එම වේදනාව දිගින් දිගටම අඩුවේ.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ. එනම් එම ශරීරයට කටු ගැසීම ආවාට ගියාට කළ නොහැක්කක් බවය. හුදෙක් සම ඝණ ස්ථානවල ශරීරයේ උඩු සම හා මේද ස්ථරය සහිත ස්ථාන වලටම එම කටු ගැසිය යුතුය. එහිදී එම කටු ගැසීම් වලදී දැඩි රුධිර වහනයක් සිදු නොවෙනුයේ එම ප්‍රදේශ රුධිරනාල හා සෘජු සබැදියාවක් නොමැති බැවිනි. එමෙන්ම පුද්ගලයාගේ බර එම ‍කොකු වලට දරාගත හැකි ආකාරයට ප්‍රමාණවත් සංඛ්‍යාවක් ගැසීමට ද එම කොකු ගසන්නෝ නිරතුරුව වග බලා ගනිති.

ඒ කෙසේ හෝ මෙවැනි කටයුත්තක යෙදීමට හැක්කේ ඒ සඳහා වන දැඩි දේව භක්තියක්, චිත්ත ශක්තියක් නැතහොත් ආත්ම විශ්වාසයක් ඇත්තවුන්ට පමණි.

එමෙන්ම දේවභක්තියකින් තොරව වුවද මෙසේ කටු ගසා වීරයෙකු වීමට හැකිය යන දැඩි විශ්වාසයේ පසුවන්නෙකු හට වුවද මෙලෙස වේදනාවකින් තොරව කොකු වලින් එල්ලී සිටීමට පුළුවන.

තිලක් සේනාසිංහ

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!