page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / රටම දැනගතයුතු විජයදාස ඇමැතිකමින් පැන්නූ රහස්‌ මෙන්න…

රටම දැනගතයුතු විජයදාස ඇමැතිකමින් පැන්නූ රහස්‌ මෙන්න…

-රුපියල් මිලියන 96කට ෆොන්සේකා තරහ වෙයි

අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‌ෂ පසුගිය 23 වැනි බදාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ විශේෂ නියෝගයකට අනුව තනතුරෙන් පහකරනු ලැබ අවසන්ය. තවදුරටත් ඔහු දැන් ඇමැතිවරයෙක්‌ නොවේ. විජයදාස රාජපක්‌ෂ දැන් වර්තමාන යහපාලන ආණ්‌ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක්‌ වී අවසන්ය.

විජයදාස රාජපක්‌ෂට එරෙහිව සටන් කළ ආණ්‌ඩුවේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ කිහිප දෙනකුට හා සමහර රාජ්‍ය නොවන සංවිධානවලට මෙම කාරණාව අපමණ සතුටට කාරණාවක්‌ වුවද රටේ ජනතාව ඉන් ලැබූ ආශ්වාදයක්‌ නොවීය. රටේ ජනතාව ප්‍රශ්න කළේ ඉන්පසුව අධිකරණ ක්‌ෂේත්‍රයට හා නීතිපති දෙපාර්තමේන්තුවට අත්වන ඉරණම ගැනය. අරලියගහ මන්දිරයට කැඳවා පසුපෙළ මන්ත්‍රීවරු විසින් රටේ නීතිපතිවරයාව වටකර උපදෙස්‌ දෙන වාතාවරණය යහපාලන රජයේ ස්‌වාධීන අධිකරණ කොමිසමට අත්වන ඉරණම කුමක්‌ වේද කියාය.

කෙසේ වෙතත් දැන් රටේ ජනතාවට ටිකක්‌ පැහැදිලි වී හමාරය. විජයදාස රාජපක්‌ෂව ඉවත් කරනු ලැබුවේ යහපාලන රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යැමට බාධකයක්‌ ඇති කර ගැනීමක්‌ ලෙස නොව, රජයේම සිටින එක්‌තරා පිරිසකගේ පරණ කෝන්තරවලට සුබවාදී විසඳුමක්‌ දීම සඳහා බවය. ඒ සුබවාදී විසඳුම දැන් ඔවුන්ට ලැබී අවසන්ය. එහෙත් විජයදාස රාජපක්‌ෂ හා මේ පිරිස අතර කොන්තර හට ගත්තේ රටට වැඩදායක ජාතික වැදගත්කමක්‌ සහිත කාරණා නිසාද නැත්නම් පුද්ගලික ප්‍රශ්න හා අවුල් වියවුල් නිසාද යන සංවාදය තවම අවසන් නැත. මේ එම සංවාදය දිගට ගෙන යැම සඳහා කරන ලද හෙළිදරව්වකි.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කරන සමයේ දිනක්‌ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‌ෂට ජනාධිපති මන්දිරයෙන් ඇමතුමක්‌ ලැබිණි. එම අවස්‌ථාවට අනුව නීතිඥවරයා ජනාධිපතිනිය හමුවන්නට යන විට ජනාධිපතිනියත්, මංගල සමරවීරත් යම් කාරණයක්‌ ගැන දීර්ඝව කතාබහ කරමින් සිටියහ. ජනාධිපතිනිය විජයදාසව පිළිගෙන ඔහුගේ අතට එක්‌තරා ලිපිගොනුවක්‌ දී මෙසේ කීවාය.

මෙතන තියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ සම්බන්ධ වෙලා කරපු වෙළෙඳ ව්‍යාපාරයක්‌ ගැන සියලු තොරතුරු. අපට කියන්න මේකෙන් මොකක්‌ හරි නඩු කටයුත්තකට ඉඩක්‌ පාදා ගන්නට පුළුවන් වෙයිද කියලා… දැන් ඕක කියවන්න… ජනාධිපතිනිය කීවාය.

ලිපිගොනුව අතට ගත් විජයදාස රාජපක්‌ෂට පිටු දෙක තුනක්‌ කියවාගෙන යන විට කාරණාව වැටහිණි. මේ කවරක්‌ද කවරෙක්‌ද කුමක්‌ද යන කාරණාව ඔහු හොඳින් තේරුම් ගත්තේය.

රාජිත සේනාරත්න නම් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයකුටත් ඔහුගේ සහෝදරයකුටත් අයත් සේනාරත්න අසෝසියේට්‌ නම් වාණිජ ආයතනයක්‌ ගැනත්, එමගින් කරගෙන ගිය ව්‍යාපාරයක්‌ ගැනත් රහස්‌ පොලිසිය විසින් ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳ කරන ලද පරීක්‍ෂණයක්‌ ගැනත් සියලු තොරතුරු එම ලිපිගොනුවේ තිබිණි. එම ආයතනය මගින් එවකට කළේ පිටරටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සැපයීමය.

මේ අතරතුර රහස්‌ පොලිසිය විසින් මේ ආයතනයට අයත් ගබඩාවක්‌ වටලා කරන ලද පරීක්‍ෂණයකට අනුව කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණ ලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවන ක්‍රියාන්විතයක්‌ද අත්අඩංගුවට ගැනින. එම බෙහෙත් දින වෙනස්‌ කළේ හමුදාවට සපයන්නට බවද හෙළිවිය.

ඒහාසම්බන්ධයෙන් ගොනු කරන ලද සාක්‍ෂි මත මහාධිකරණයේ නඩුවක්‌ පැවරිණ. නඩුව පවතින අතර වාරයේ දිනයක එම නඩුව විමර්ශනය කරන විනිසුරුවරයා හා අදාළ සැකකරුවා මීගමුව ප්‍රදේශයේ මහ හෝටලයක එකට එක්‌වී ආහාර ගන්නා පුවතක්‌ සිළුමිණ පුවත්පතේ පළවිය. එදා සිට වැඩි දිනක්‌ ගතවූයේ නැත. මාහධිකරණය නඩුව අවසන් කළ තීන්දුව නිකුත් කළේය. රාජිත සේනාරත්න නඩුවෙන් නිදහස්‌ විය.

ලිපිගොනුවේ සටහන්ව තිබුණේ එම සිද්ධි දාමය පිළිබඳ ඉතා වැදගත් සවිස්‌තර තොරතුරු අඩංගු විස්‌තර ගොන්නකි. ඉතා ඉක්‌මනින් සියල්ල කියා අවසන් කළ විජයදාස රාජපක්‌ෂ චන්ද්‍රිකා දෙස බැලුවේය.

“මොකක්‌ද කරන්න පුළුවන්…” මංගල ඇසීය.

අභියාචනාධිකරණයට ගෙනිහින් මන්ත්‍රී ධුරය අහිමි කරන තැනට වැඩ හදන්න පුළුවන්.

මේ උත්තරයෙන් වික්‍ෂිප්තව මුහුණට මුහුණ බලාගත් මේ දෙදෙනා යළි උනන්දුවෙන් තොරතුරු විමසුවේ ඒ වන විට රටේ ඉහළම නීතිවේදින් 9 දෙනකුගේ මඩුල්ලකින් මේ ලිපි ගොනුව පිළිබඳ පළකළ අදහසක්‌ සමඟද සසඳ බලමිනි.

ඒ 9 දෙනා කිව්වා මොකුත්ම කරන්න බැහැ කියලා. කොහොමද මේක කරන්නේ…

අපේ නීති පොත්වල තියනවා “කෝවරන්ටෝ රීට්‌ ආඥව” කියලා නීතියක්‌. ලංකාවට වලංගු නීතියක්‌. ඒත් මීට පෙර කවරදාවත් මේක කවුරුවත් පාවිච්චි කරල නෑ. මේකෙ කියන්නේ මහජන නියෝජිතයෙක්‌ රජයේ නිලධාරියෙක්‌ රාජ්‍ය ප්‍රධානියෙක්‌ ප්‍රතිලාභ ගැනීම සඳහා රජයක්‌ සමඟ යම් වෙළෙඳ ව්‍යාපාරයකට, වෙළෙ¹මකට ආර්ථික කටයුත්තකට හවුල් වෙනවා නම් ඒක වැරැදියි කියන ආඥව. අපට පුළුවන් ඒකෙන් ප්‍රයෝජන ගන්න… විජයදාස රාජපක්‌ෂ කීවේය.

ඒ අනුව පෙත්සමක්‌ ගොනු කරන්නට අවසරය ලැබිණි. විජයදාස රාජපක්‌ෂ අවශ්‍ය සියලු විධි විධාන සලසනු ලැබීය. එවකට පෙරළිකාර පසුපෙළ මන්ත්‍රීවරයෙක්‌ මෙන්ම දක්‍ෂ නීතිඥයෙක්‌ වූ ඩිලාන් පෙරේරා ගේ නමින් අභියාචනාධිකරණය වෙත පෙත්සම ගොනු කරනු ලැබුවේය.

අභියාචනාධිකරණයේ දින 10 ක්‌ පුරා පෙත්සම් අංක 1164/98 අංකය යටතේ මෙම නඩුව විභාග විය. කෝවරන්ටෝ රීට්‌ ආඥව යනු කුමක්‌ද කියා මේ රටේ නීති ක්‌ෂේත්‍රයේ සමහර අංශ දැන ගත්තේ පවා මේ නඩුව විභාග වෙද්දීය.

ජනාධිපති නීතිඥ චොක්‌සි ඇතුළු රටෙ නමගිය ඉහළම නීතිඥ පිරිසක්‌ නඩු විභාගයේදී චුදිත රාජිත වෙනුවෙන් පෙනී සිටියහ. ඩිලාන් පෙරේරා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‌ෂය.

අභියාචනාධිකරණය 2000 වසරේ මාර්තු 31 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේය. චූදිත රාජිත වරදකරු කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක්‌ දරන්නට නොසුදුස්‌සෙක්‌ ලෙස නම් කරනු ලැබුවේය. වැරැදි ආකාරයේ වෙළෙඳ ව්‍යාපාරයක්‌ රජය සමඟ කර රජයට වංචාකර ප්‍රතිලාභ ලබා වරදකරු වී මන්ත්‍රී ධුරය අහෝසි කරගත් රාජිත එදා අපේ රටේ අධිකරණ තීන්දු අතරට එක්‌වූයේ මෙවන් වරදක්‌ කර හසුවී මන්ත්‍රී ධුරය අහිමි කරගත් ලංකාවේ පළමුවැනියා ලෙසටය.

මන්ත්‍රී ධුරය අහිමි වී මසක කාලයක්‌ ඇවෑමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ නැවතත් ඔහුව ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයෙකු බවට පත්කර පාර්ලිමේන්තුවට පත්කළේ ජනපති චන්ද්‍රිකාට හොඳ දේශපාලන අතුල් පහරක්‌ද එල්ල කරමිනි.

විජයදාස – රාජිත වෛරය හා මහ විරසකය පටන් ගන්නා ලද්දේ ඒ ආකාරයටය. අදටත් මේ දෙදෙනා වෛරක්‌කාරයෝය. එහෙත් එදා ඒ අනතුර රාජිතට සිදු කරන්නට අණදුන් චන්ද්‍රිකා, උදව් කළ මංගල, පෙත්සම්කරු ඩිලාන්, එදා හුරේ දැමූ රාජ්‍ය නොවන සංවිධාන, රාජිත බේරාගත් රනිල් හා සෙසු පාර්ශ්වකරුවෝ එක බෝට්‌ටුවේය. විජයදාස රාජපක්‌ෂ පමණක්‌ තවත් බෝට්‌ටුවකය.

රාජිතගේ වෛරය එතකින් සමාප්ත නොවීය. ඉන්පසුව ඔහු එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කටයුතු කරමින් රජයේ ඉහළම ඇමැතිකම් හොබවනු ලැබුවේය. ඉඩම් ඇමැති ලෙස ඔහු ඉඩම් හිමිකම් පනත යනුවෙන් තවත් පනතක්‌ ගෙන ආවේය. එය ගෙන ආවේ මෙරට සිටි කීර්තිමත් අගමැතිවරයෙක්‌ වන ඩී. එස්‌. සේනානායක මහතා 1935 ඔක්‌තෝම්බර් 15 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනැවිත් සම්මත කළ 1935/19 දරන ඉඩම් හිමිකම් පනත අහෝසි කිරීමටය. එමගින් එදා උත්සාහ කළේ එම පනත ප්‍රකාරව රටේ අති බහුතර සිංහල ජනතාවට ගොවි ජනපදවල පැවරී තිබූ ඉඩම් අයිතිය අහෝසිකොට ජාවාරම්කරුවන්ට ඉඩම් මිලදී ගත හැකිවන පරිදි නීතිරීති සකස්‌ කර දීමටය. 2002 දී රාජිත මේ පනත ගෙනැවිත් සම්මත කර ගැනීමට උත්සාහ කරනු ලැබීය.

මේ වෙලාවේ විජයදාස රාජපක්‌ෂ මැදිහත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනතට එරෙහිව පෙත්සමක්‌ සූදානම් කළේය. රටේ කීර්තිමත් ගොවි ජනපද ක්‍රියාකාරිකයෙක්‌ වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක පෙත්සම ඉදිරිපත් කළේය. එවකට අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක විසින් ඓතිහාසික නඩු තීන්දුවක්‌ දෙමින් එම පනත අභියෝගයට ලක්‌ කළාය. රජය පෙත්සම අකුලා ගත්තේය. රාජිත වෛරය විජයදාස සමඟ වර්ධනය කර ගනිමින් එදා ද පරාජිත වී ගෙදර ගියේය.

බර්ටි ප්‍රේමලාල් අද ජීවතුන් අතර නැත. ඔහුගේ පුත් දුමින්ද, රාජිතගේ උපදෙස්‌ අකුරටම ක්‍රියාත්මක කරන ගෝලයෙකු බවට පත්වී රාජිතගේ බෝට්‌ටුවට නැග ඇත. විජයදාස රාජපක්‌ෂ වෙනත් බෝට්‌ටුවකය. රාජිත විජයදාස නොහොඳ නෝක්‌කඩුව 1998 දී පමණ ආරම්භ වී වර්ධනය වී ආවේ මේ ආකාරයටය. අදටත් විජයදාස ගැන කතා කරන විට ඔවුන්ගේ ඇස්‌ කෝපයෙන් දිලිසෙන්නේත්, ඇඟ වෙව්ලන්නට පටන් ගන්නේත් මේ පරණ කෝන්තර නිසාය. යහපාලන ආණ්‌ඩුව තුළ මහින්ද විරෝධී බලවේගය ලෙස එකට එක්‌වූවන් මේ වෛරය පිරිමසා ගන්නට “මහින්ද විරෝධය” පමණක්‌ ප්‍රමාණවත් නොවීය.

විජයදාස රාජපක්‍ෂට එරෙහිව ආණ්‌ඩුව ඇතුළේම සිටි ප්‍රබල හඬක්‌ නඟන එදිරිවාදීන් අතර දෙවැනි තැන හිමි වන්නේ සරත් ෆොන්සේකාටය. ගාර්දි හේවගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මේ තරමටම විජයදාස රාජපක්‍ෂට එරෙහිව හඬ නඟන්නේ “ජාතික කාරණා” හෝ පොදු ජනතාවාදී කාරණා විස¹ ගන්නට බැරි නිසාද…… නැත්නම් පුද්ගලික ආරවුලක්‌ මුල් කර ගෙනද… මෙයද හොඳින් විමසා බැලිය යුතු කාරණාවකි.

අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව විජයදාස රාජපක්‍ෂ මෙහෙය වූ නඩු කිසිවක්‌ නැත. ඔහු හමුදාපති වී සිටි සමයේ සිට පවතින කෝන්තරයක්‌ ද නැත. කෝන්තරය පටන් ගන්නේ නිසැකවම ජනවාරි 8 විප්ලවයට දින දෙක තුනකට පසුව සිට බව ඔප්පු කරන්නට මේ කරුණු කිහිපයක්‌ ගොනු කරනු කැමැත්තෙමි.

විජයදාස රාජපක්‍ෂ යනු සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වේලාවේ සරත් ෆොන්සේකා සමග සිටි නීතිඥයා ය. ෆොන්සේකාගේ ප්‍රබලම නීති උපදේශකයා ය. ෆොන්සේකා එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් මහින්ද රාජපක්‍ෂට එරෙහිව ඡන්දය ඉල්ලන මොහොතේ ෆොන්සේකාගේ සටන් පෙරමුණේ මෙහෙයුම් කටයුතු භාර ගන්නා ලෙස එවකට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සිටියා මිසක්‌ වගකීම් භාර කළේ විජයදාස රාජපක්‍ෂටය.

ඔහු ෆොන්සේකා සමඟ එක්‌ව සැලසුම් කළේය. සරත් ෆොන්සේකාට ජාතික ඇඳුම ඇන්දුවේද විජයදාස රාජපක්‍ෂය. විජයදාසගේ නාවල විජයබා මාවතේ නිවසේ කාර්යාලයේ සිටියදී හර්කියුලිස්‌ ටේලර්ස්‌ ආයතනයේ ටේලර්වරුන් ගෙන්වා අදාළ මැහුම් මිමි ගෙන පාට කිහිපයකින් ජාතික ඇඳුම් දුසිමක්‌ මසා දුන්නේ ද විජයදාස රාජපක්‍ෂගේ වියදමෙන් බව මා අසා තිබේ.

ඒවා පරණ කතාය. කෝන්තරය ඇති වුණේ ඊට බොහෝ කලකට පසු 2015 ජනවාරි 8 වැනිදායින් පසු සරත් ෆොන්සේකා මේ රජයේ ප්‍රබල ඇමැතිවරයකු ලෙස දිව්රුම් දෙන ලද සමයේ දිනක සිටය…

දිනක්‌ විජයදාස රාජපක්‍ෂ අරලියගහ මන්දිරයේ අගමැති රනිල් සමග පවත්වන ලද සාකච්ඡාවක්‌ නිමවී කොරිඩෝව දිගේ ආපසු යද්දී ඔහු පසුපසින් දෙදෙනකු පැමිණ ලිපි ගොනුවක්‌ අතට දුන්නේය. ….

මේ මොකක්‌ද…….

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිතුමාගේ නිදහස සම්බන්ධ ලියකියෑවිලි වගයක්‌. ඔබතුමාගේ අනුමැතිය ඕන……. අධිකරණය භාරයේ මුදල් වගයකුත් තියෙනවා. ඒවා නිදහස්‌ කරගන්න ඕන…

විජයදාස රාජපක්‍ෂ ලිපි ගොනුව අතේ තබාගෙන මේ දෙදෙනා දෙස විමසුම් බැල්මක්‌ හෙළීය. එක්‌ අයෙක්‌ සරත් ෆොන්සේකාගේ පුද්ගලික සහකාර සේනක සිල්වාය. අනෙකා නීතිවේදියෙක්‌ වූ ශ්‍රී කාන්තන් ය. ඔවුන් ගෙනැත් දුන් ලියකියෑවිලි මෙසේ වග විභාගයක්‌ නැතිව පාරේ අත්සන් කළ හැකි ඒවා නොවේ.

මේවා ගැන මෙහෙම පාරේ කතා කරල තීන්දු ගන්න බෑ…….. කාර්යාලයේදී හමුවන්න.

සේනකට හා ශ්‍රී කාන්තන්ට එසේ කී විජයදාස ආපසු ගොස්‌ ඔවුන් ලබාදුන් ලිපි ගොනුවේ තිබූ කාරණා විමසා බැලීය. සමහර ලිපි ලේඛන පිළිබඳ නීතිමය ප්‍රශ්න පැනනොනැඟිනි. එහෙත් නිදහස්‌ කරගන්නට ඉල්ලා තිබුණු මුදල් පිළිබඳ ප්‍රශ්නය සුළුපටු නොවූයේ රු. කෝටි 9.6 ක්‌ (ලක්‍ෂ 960) වටිනා මෙම මුදල තුළ ඇමරිකානු ඩොලර් අන්තර්ගතව තිබීමය. ඇරත් මේ මුදල අධිකරණය මගින් රඳවා ගෙන තිබුණේ තමා අධිකරණ ඇමැති ලෙස සිටි සමයේ නොව, ඊට පෙර රවුෆ් හකීම් අධිකරණ ඇමැති ලෙස සිටි සමයේය. අධිකරණය විසින් ඇමැතිවරයාගේ අභිමතය පරිදි එම මුදල කළමනාකරණය කරන්න කියා නියෝගය නිකුත් කර තිබුණේ විජයදාස ඇමැතිවරයාට නොව, රවුෆ් හකීම් ඇමැතිවරයාට අදාළ ලෙස එම කාල වකවානුවට වලංගුවය.

මේ කාරණාව, මෙම ඉල්ලීම රවුෆ් හකීම් ට ඉදිරිපත් නොකර මේ වනතෙක්‌ සඟවා තබාගෙන මටම ඉදිරිපත් කළේ ඇයි දැයි විජයදාස රාජපක්‍ෂ සිතන්නට ඇත. එහෙත් ඔහු එක්‌ අවස්‌ථාවක්‌ සරත් ෆොන්සේකා පාර්ශ්වය වෙත දුන්නේය.

හරි…… මම මේක ගැන සලකා බලන්නම්. හැබැයි මේවා විදේශ මුදල්. රජය පවරාගෙන තියෙන්නේ වෙන කෙනකුගේ ආරක්‍ෂිත සේප්පුවක තිබියදී හා අත්අඩංගුවට ගැනීමකදී. මෙන්න මේවා ලබා ගත්තේ, ලැබුණේ කොහොමද කියලා දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරන්නත් වෙයි….. විජයදාස රාජපක්‍ෂ ඉදිරිපත් කළ අවසාන තීන්දුව එය වූ නිසා දණ්‌ඩෙන් පහර ලත් නයෙකු සේ සරත් ෆොන්සේකා කෝපාවිෂ්ට වන්නට වූයේ විජයදාස ඔහුට කළ සියලු උදව් උපකාර මතකයෙන් මකා දමමිනි. එය සමාන වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කළ උදව් අමතක කිරීමේ සිද්ධි දාමයටය.

විජයදාස රාජපක්‍ෂ අධිකරණ ඇමැතිවරයා ලෙස එබඳු ලියවිල්ලක්‌ සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටියේ එම මුදල් පිළිබඳ ප්‍රශ්න රාශියක්‌ තිබූ නිසාය. එම මුදල අතර තිබූ රුපියල් මිලියන 80 ක මුදල ලැබී තිබුණේ දනුන තිලකරත්නගේ මවට අයත් ආරක්‍ෂිත සේප්පුවක තිබියදීය. එම මුදල නිදහස්‌ කරන්නේ නම් නිදහස්‌ කළ යුත්තේ ඇයට ය. ඉතිරි මිලියන 16 හයිකෝප් ගනුදෙනුවක ප්‍රතිඵලයක්‌ ලෙස දනුන තිලකරත්නට අයත් මුදලකි. මිලියන 96 එම මුදල් සම්භාරයේ එදා පැවැති වෙළෙඳ වටිනාකමයි. විනිමය අනුපාත වෙනස්‌ වීම මත අද ඒ මුදලේ වටිනාකම රුපියල් මිලියන 96 ඉක්‌මවනු ලබයි. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන බලන කල සරත් ෆොන්සේකා වෙනුවෙන් අධිකරණ ඇමැතිවරයා අනුගමනය කර ඇත්තේ මොන තරම් සාධාරණ ලිහිල් පිළිවෙතක්‌ දැයි කෙනකුට තේරුම් ගැනීම අසීරු නොවේ….. එය තේරුම් ගත්තේ එදිරිවාදිකමක්‌ ලෙසටය.

දනුන තිලකරත්න යනු එවකට සරත් ෆොන්සේකාගේ දියණිය විවාහ වන්නට යෝජිතව සිටි තරුණයාය. ඔහුට හා සරත් ෆොන්සේකාට උසාවියෙන් නඩු කටයුතු ගණනාවක්‌ම පැවතිනි. ඒ සියල්ලම මුදල් වංචා කිරීම් සම්බන්ධවය. ඒ සම්බන්ධයෙන් පළමු නඩුව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ බී./60/2010 යන අංකය යටතේ පැවරී තිබිණි. පළමු රුපියල් මිලියන 16 රජය භාරයට ගෙන ඇත්තේ එම නඩුව කැඳවන ලද අවස්‌ථාවේදීය. එම මුදල ඇමැතිවරයාගේ අභිමතය පරිදි කැමැත්තක්‌ කරන්නට එවකට සිටි ඇමැති හකීම්ට යොමු කර තිබුණේ මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් 2010 ජුනි 30 වැනිදාය. ඉන්පසුව කලක්‌ සැඟව සිටි දනුන තිලකරත්න රජයට භාරවී අධිකරණයට ඉදිරිපත් වීමත් සමගම මුදල පිළිබඳ තීන්දු ගැනීමේ බලය ඇමැතිවරයාගෙන් පසු උසාවිය වෙත පැවරී තිබුණේ ඉන්පසු චූදිතයන් වෙනුවෙන් නඩුව විභාගයට ගත් බැවිනි.

එහෙත් පරීක්‍ෂණවලදී හොයාගත් ඇමරිකානු ඩොලර් නෝට්‌ටු වලින් යුතු රු. මිලියන 80 ක්‌ වටිනා මුදල (ලක්‍ෂ 800) පිළිබඳ තීන්දුවක්‌ ගත නොහැකි වූයේ සේප්පුව හිමිකාරියට එම මුදල් සම්භාරය ලැබුණු ආකාරයක්‌ කීමට නොහැකි වූ නිසාය. ඒවනවිට යුද හමුදාවට භාණ්‌ඩ ගෙන්වීම (අවශ්‍ය උපකරණ සැපයීම) වෙනුවෙන් හමුදාවට අයත් රජයේ බැංකුවල ගිණුqම්වලින් විදේශීය බැංකු වෙත වරින්වර යවන ලද අති විශාල ඩොලර් සම්භාරය පිළිබඳ ප්‍රශ්න රැසක්‌ තිබිණි. එම නඩු සියල්ල අතරින් එකක්‌ ඒ වනවිට දනුන තිලකරත්න, වොලින්ටන් ටෙන්ටස්‌ සිහවුට්‌ හා ගාර්දි හේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා යන පුද්ගලයන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අංක 5284/10 යටතේ විභාග වෙමින් පැවතිණ.

එම විභාගය අනුව 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2009 මැයි 31 අතර කාලය තුළ යුද හමුදාවේ මූල්‍ය අංශ වෙත කූට ලේඛන ඉදිරිපත් කරමින් බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්‌ නමැති ඔස්‌ටේ්‍රලියානු සමාගමකට එක්‌වරක්‌ හමුදාවේ ගිණුමකින් මුදල් ඇ. ඩොලර් 299061 ක්‌ යවා තිබිණි. තවත් වරක්‌ හමුදාවට අයත් ලංකා බැංකුවේ ගිණුම මගින් ඩොලර් 43750 ක්‌ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ බෑන්ක්‌ ඔෆ් ඇමරිකා ගිණුමට යවා තිබුණේa හමුදාවේ බ්‍රිගේඩියර් මොහොමඩ් සලේව නොමග යවමින් කූට ලේඛන මත බව හෙළි විය.

තවත් අවස්‌ථාවක ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ අදාළ සමාගම වෙත තවත් ඩොලර් 13500 ක්‌ යෑවූ බව නඩුවලදී විමර්ෂණ මගින් ඔප්පු විය. තවත් අවස්‌ථාවක යුද හමුදාවට දිසා සෙවීමේ යන්ත්‍ර ලබා දීමට යෑයි කියමින් බෝර්නියෝ ඩිෆෙන්ස්‌ සමාගම වෙත ලැබෙන සේ ඩොලර් 107144 ක මුදලක්‌ ප්‍රේෂණය කර තිබිණි. එම සමාගමට දුරදක්‌නා උපකරණ 234 ක්‌ ලබාදීම වෙනුවෙන් තවත් ඩොලර් 134667 ක්‌ බැර කර තිබිණි.

මේ ආකාරයට කෙරුණු සියලුම ගනුදෙනු වෙනුවෙන් හමුදාවෙන් එම සමාගම් වෙත ලබාදුන් මුළු මුදල ඩොලර් 598122 ක්‌ බව මහාධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතුවලදී ඔප්පු විය. එම අරමුදලේ එදා වටිනාකම රුපියල් මිලියන 88 ක්‌ බව ගණන් බලා තිබිණි.

මේ ප්‍රශ්න සියල්ල අතීතයේ තිබියදී අතීතයේ විස¹ ගත යුතු ප්‍රශ්න එදා විසඳ නොගෙන වර්තමානයට ගැලපීම තුළ ප්‍රශ්න මතු වූයේ වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂටය.

අධිකරණ ඇමැතිවරයා ඉල්ලූ පරිදි එම මුදල ඉපැයූ ආකාරය හෙළි කරන ලියවිල්ලක්‌ ඉදිරිපත් කරන්නට සරත් ෆොන්සේකා ක්‍රියා නොකළේය. ඔහු එදා පටන් ම සෑම ප්‍රශ්නයකදීම අධිකරණ අමාත්‍යවරයා විවේචනය කරන්නට මුල් තැනක්‌ දුන්නේ එම කෝන්තරය මතය. කෝන්තරය සුළු පටු නොවීය. විජයදාස රාජපක්‍ෂ යම් ප්‍රශ්නයකදී සිට ගන්නේ යම් තැනක ද …. ෆොන්සේකා අනිත් පැත්තේ ඔහුට එරෙහිව සිට ගන්නේ මේ පරණ ගනුදෙනුව සමීපයට ගනිමිනි.

ඒ අනුව ෆොන්සේකාගේ ඊළඟ ඉලක්‌කය වූයේ තමන්ට කවදා හෝ මෙම මුදල ආපසු හිමිකර ගැනීමට නම් (රු. මිලියන 96) කෙසේ හෝ අධිකරණ ඇමැතිවරයා වෙනස්‌ කර ගත යුතුය කියාය………. ඒ අවශ්‍යතාවය මත ෆොන්aසේකාත් විඡේදාසගේ හොඳ හතුරෙකු ලෙස අවි අමෝරා ගත් බව පැහැදිලිය.

තෙවනුව රාජ්‍ය නොවන සංවිධාන ඔහුට එරෙහිව අවි අමෝරා ගත්තේය. කැබිනට්‌ මණ්‌ඩලයේ සහෝදර ඇමැතිවරු වන චම්පික ඇතුළු පිරිසක්‌ උරණ වූයේ තවත් සමහර හේතු නිසාය.

ජනතා විමුක්‌ති පෙරමුණට ද විජයදාස රාජපක්‍ෂ සමඟ වෙනම කෝන්තරයක්‌ පටලැවී තිබුණත් රාජපක්‍ෂ කල්ලියේ ආරක්‍ෂකයා විජයදාස රාජපක්‍ෂ යන මතය නිසාය. අර්ජුනලාට, රතන හිමියන්ට, අජිත් පී. පෙරේරාට වෙනම ප්‍රශ්න තිබිණි. ෆුට්‌ නෝට්‌ කල්ලියට විජයදාස සමග තිබූ කෝන්තරය ද වෙනම විමසා බැලිය යුතුය. මෙම ලිපියට පසුව තුන්වැනි හා අවසාන ලිපිය ලෙස එම කරුණු ගොනු කරමින් ලිපියක්‌ සකසන්නට අප ඊළඟ සතියේ බලාපොරොත්තු වන්නෙමු.

විශේෂ ලියුම්කරුවකු විසිනි. – දිවයින පුවත්පත ඇසුරින්

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!