page hit counter
Friday , September 22 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) තවත් දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.
ඒ, ඉන්දියාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව්වන එක්දින තරගයේදී.

ඊයේ තරගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා සිටියත් ඊට සාපේක්ෂව ක්‍රීඩා ලෝලීන් පැමිණ නොසිටීමද විශේෂත්වයක් වුණා.

මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207 ක්.

ඇන්ජලෝ මැතිව්ස් පමණක් සටන්කාමී ලකුණු 70 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව එම තරගය පරාජය වුණේ ලකුණු 168 කින්.

එය වාර්තා පොත් අතරට එක් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලෙසයි.

එමෙන්ම ඔවුන් මෙරටදී නොකඩවා ලද 6 වන එක්දින තරග පරාජයද මෙය වනවා.

මේ අතර 04 වන තරඟය ඊයේ පරාජය වීමත් සමඟ, ශ්‍රී ලංකා පිළ 2019 ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව, තහවුරු කර ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි මේ බව ප්‍රකාශ කළේ.

2019 ලෝක කුසලාන තරගාවලිය සදහා යොදා ගැනෙන්නේ කණ්ඩායම් 10 ක් පමණයි.

ඒ සදහා අයි.සී.සී එක්දින දර්ශකයේ ප්‍රථම ස්ථාන අටට ඇතුළත් කණ්ඩායම් ස්වයංක්‍රීයව සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව දැනට දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටින අතර 9 වන ස්ථානයේ සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

සැප්තැම්බර් 30 වනදා කාල විරාමය වනවිට ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලි ස්ථානය තහවුරු කර ගැනීම සදහා ඉන්දියාව සමග එක්දින තරග දෙකක් හෝ ජයග්‍රහණය කළ යුතු වුණා.

එහෙත්, ඊයේ ලද පරාජය නිසා බටහිර ඉන්දීය කොදෙව් පිල එම ස්ථානය හිමිකර ගැනීමේ අවදානමක් පවතිනවා.

දැනට පවතින තත්ත්වයේදී වුව ද කොදෙව් පිල අයර්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගය සහ එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 5 ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියට නියත අවස්ථාව හිමිකර ගන්නේ කොදෙව් පිලයි.

ඉරිදා පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් කොදෙව් පිල අයර්ලන්ත තරගය ජයග්‍රහණය කොට එංගලන්ත තරගාවලිය 4 ට එකක් ලෙස ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සදහා ප්‍රමාණවත් වනවා.

ස්වයංක්‍රීය ලෙස තේරීමේ අවස්ථාව මග හැරුණහොත් ශ්‍රී ලංකාවට, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවනවා.

Check Also

“ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී  (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!