page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා


ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ ‍පොදු අදහස ය. ලිංගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් බටහිර වැසියන්ටත් වඩා පෙරදිග වැසියෝ උනන්දු වෙති. ඇඳුම් පැළඳුම්, කතාබහ, ක්‍රියාකාරකම් සහ ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංගිකත්වය වසන් කළ යන මතය අප ජනසමාජයේ ද තදින්ම මුල් බැසගෙන තිබේ.

එහෙත්, මගේ පෞද්ගලික වැටහීම අනුව නම් එම ආකල්ප වල සැලකිය යුතු සාධාරණත්වයක් නොමැත. ඊට හේතුව දුරාතීතයේ සිට අපරදිග වැසියාට සාපේක්ෂව පෙරදිග වැසියා ලිංගිකත්වය කෙරෙහි කිසියම් විවෘත සහ සහනශීලී ආකල්පයක් දැරූ බවට නිදසුන් මානව ඉතිහාසය පුරාම පැතිර තිබෙන බැවිනි. ඒ අනුව ලිංගිකත්වය යනු ක්‍රියාකාරී සමාජය ඉදිරියේ හමස් පෙට්ටියකට දමා වැසිය යුත්තක් නොවන බවටත් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පරිදි සංවාදයට ගත යුත්තක් බවටත් අතීත පෙරදිග වැසියා සිතා ඇති බව පෙනේ.

මානව සේම සත්ව ලිංගිකත්වය පිළිබඳ මෙම විවෘත සහ සහනශීලී ආකල්ප බෞද්ධ සාහිත්‍යයෙන් සහ කලා ශිල්ප වලින් පවා මනාව නිරූපණය කෙරෙන අවස්ථා බොහොමයකි.

දැනට ලෝක උරුමයක් ලෙස පවා ප්‍රකාශයට පත්කොට ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කජුරාවෝ ආරාමික සංකීර්ණයේ මූර්තීන් සමහරකින් දැක්වෙනුයේ විවිධාකාර මානව ලිංගික සම්භෝග ඉරියව් ය. ඒ අතරේ මානව සත්ව ඉරියව් ද දක්නට ලැබේ. එම ආරාම සංකීර්ණයේ බාහිරට වන්නට එසේ මූර්තිමත් කොට ඇත්තේ ව්‍යත්සායන නම් සෘෂිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලෝක ප්‍රකට ‘කාම සූත්‍ර’ කෘතියේ දැක්වෙන විවිධ සහ විෂමාකාර ලිංගික ඉරියව් බව විචාරකයන් විසින් හඳුනාගෙන තිබේ.

නමුත්, එමඟින් පළවන දාර්ශනික අදහස වනුයේ සියලු සත්වයන් ගිලගෙන ඇති කම් සැප මුල්කොට ගත් ලෝක ස්වභාවය තත්වාකාරයෙන් වටහාගෙන ආශාවන් ප්‍රහීණ කළ යුතු බවය.

එමෙන්ම පෙරදිග සාහිත්‍යයේ ලිංගිකත්වය පිළිබඳව ඇති මෙම විවෘත සහ සහනශීලී ආකල්පය ප්‍රකට කරන නිදසුන් බොහොමයකි. අප කවුරුත් හොඳින් දන්නා පන්සිය පනස් ජාතක කතා ‍පොතේ කතා බොහොමයකින් ද ඉතා නිදහස් සැහැල්ලු ආරකින් ලිංගිකත්වය විවරණය කෙරෙන බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඒ සඳහා මා දැක ඇති විශිෂ්ටතම උදාහරණය එහි පන්සිය විසිහය වන නලනිකා ජාතකයයි. කිසිදා ස්ත්‍රියක දැක හෝ එවැන්නියක පිළිබඳව අසා නොමැති මහ වනමැද ජීවත් වන නව යොවුන් තාපසයෙකු ජීවිතයේ මුල්වරට වනයට පැමිණි යොවුන් රාජ කුමාරියකගේ නිරුවත දැක එහි එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සමග කරන ලද විස්තරය නූතන බසින් මෙහි ලිවීමට තබා ඒ පිළිබඳව සිතීමට වත් මට නොපුළුවන. ඒ නූතන විග්‍රහයන්ට අනුව එය එතරම් ‘අසභ්‍ය’ බැවිනි.

සැබැවින්ම අතීතයේ ලොව පුරා පැවැති ලිංගිකත්වය පිළිබඳව නන් වැදෑරුම් ආකල්පවල කිසියම් ඒකමිතික ස්වරූපයක් දක්නට ලැබූණේ දහනව වන සියවසේදී ය. ඒ මහා බ්‍රිතාන්‍යයේ රජ කළ වික්ටෝරියා (ක්‍රි.ව. 1837-1901) මහා රාජිනියගේ සමයේ ලොව පුරා ව්‍යාප්ත වූ වික්ටෝරියානු සදාචාරය ඔස්සේ ය. ඒ ඔස්සේ මානව ලිංගිකත්වය සම්බන්ධ නොනිල සදාචාරාත්මක ප්‍රමිතියක් ව්‍යවහාරයට පැමිණි අතර අප ශ්‍රී ලාංකීය ජන සමාජය අද වන විටද ඒ සදාචාරාත්මක ප්‍රමිතිය තුළට අන්තර්ග්‍රහනය වී තිබේ. එහෙත් ජන සමාජයක් වශයෙන් අප තුළ ඊට පෙර ලිංගිකත්වය පිළිබඳව පැවැති නිදහස්, විවෘත, සහනශීලී ආකල්ප හඳුනාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා (Folk Play) මගින් ලිංගිකත්වය පිළිබඳ සංකේතාර්ථ මනාව එළිදැක්විණි.

පුරාණ ඉන්දියාවේ මොහොන්දෝජාරෝ – හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවැති ස්ත්‍රී යෝනි වන්දනය සේම අදත් හින්දු ශිව ආගමේ ප්‍රධාන අභිචාර විධියක් වන පුරුෂ ලිංග වන්දනයට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලිංගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලිංගික සංකේත නිරූපණය දැකිය හැක.

සවිමත් දැව කඳක් පාමුල ‍පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ අංග ජාතයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනයේ වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

ප්‍රදේශයට වර්ෂාව සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම මගින් ද ලිංගික සංකේත රැසක් ඉදිරිපත් කෙරේ. කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු මෙය අභිචාර ක්‍රීඩාවකි.
මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.

අංකෙළි උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල් නෙලන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහිදී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේය. පත්තිනිය ගසයට සිටියාය. අවසානයේ මෙම සපුමල් කැඩීමේදී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය. මෙය ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලහාලවලින් අවසන් වූ බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ’ සමය කෘතියෙහි සඳහන් වෙයි.
අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්‍රචණ්ඩත්වය (Aggressive Sex) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism) නම් මානසික රෝගයේ ස්වරූපයක් ද ගනී. ඒ අනුව ඉහත සඳහන් අං ඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්‍රචණ්ඩත්වය මුදා හරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළම පිබිදී ඇති සෙසු ආවේගය නැතහොත් ලිංගිකත්වය බිරිඳ හමුවේ මුදා හැරීම පිණිස නිහඬව ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත. ඒ අනුව දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමු විය යුතු යැයි සිතමි.

දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.

මෙය හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.
“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.

වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකිනෙක අමුණා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යනතුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුවද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්‍ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවටද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අධිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.”

එමෙන්ම අපගේ ජන ආගම් සහ ජන ක්‍රීඩා සම්බන්ධ ලිංගික සංකේත භාවිතය මින් අවසන් නොවේ. වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවියේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලිංගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.

මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. මෙම වැහි බලි යාගයේදී ඔහු හඳුන්වනු ලබනුයේ ‘වැහිගම්පල මුත්තා’ යන නමිනි. මෙලෙස නිසි කලට වැසි ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී නිරුවත් බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි. මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.

ඒ කෙසේ හෝ නූතන සමාජයෙන් වසන් වී පවත්නා මෙවන් මානව විද්‍යාත්මක තොරතුරු හා දත්තයන් ජනතාව හමුවේ ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොවීම ද එක්තරා ජාතික ඛේදවාචකයකි.

උපුටුගැනීම මව්බිම පුවත්පතින්

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ලංකාවේ බෞද්ධයන් 95%ක්ම නොදන්නා රුවන්වැලි මහ සෑයේ සැගවුණු රහස් මෙන්න..

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!