page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / දස වධ දී මලිති දැරිය මරා දැමු කාමාතුර නලීන් මාමා අවුරුදු පනහක් හිරේ

දස වධ දී මලිති දැරිය මරා දැමු කාමාතුර නලීන් මාමා අවුරුදු පනහක් හිරේ

“හය හතර නොතේරෙන පුංචි කෙල්ලට අර තරම් දසවධ දීලා මරලා දාපු මිනිහට මරණ දඬුවම් නොදී හිර දඬුවම් විතරක් දුන්නේ මොකද?”

බදුල්ල මහාධිකරණය පසුගිය එකොළොස් වැනිදා ලබා දුන් වසර පනහක සිර දඬුවමක් පිළිබඳ තතු දත්තෝ අදහස් පළ කළේ එලෙසිනි.

මෙම පනස් අවුරුදු සිරදඬුවම නියම වුයේ දියතලාව ඇල්ලගම පදිංචි කරුවකු වූ නලීන් පි‍්‍රයදර්ශන නමැති හතලිස් හය හැවිරිදි එක් දරු පියෙකි.

මොහුට විරුද්ධව එල්ල වී තිබුණේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ස්ත්‍රී දුෂණයක් සිදුකිරිම සහ බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම යන චෝදනා තුනය.

පළමු චෝදනාවට මොහුට හිමිවුයේ වසර දහයක බරපතල වැඩ සහිත සිර දඬුවමකි. මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වී ඇතත් එය සාවධ්‍ය නොවන බැවින් ඔහුට මෙවැනි කෙටි කාලීන සිර දඬුවමක් හිමිවිය.

මොහුට විරුද්ධ දෙවැනි චෝදනාව වුයේ ස්තී‍්‍ර දුෂණයක් සිදු කිරීමයි. එම චෝදනාවට බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමකුත්, තුන්වැන්න වූ බරපතල ලිංගික අපයෝජනක් සිදුකිරීම යන චෝදනාවට ද බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් ද ලෙස මොහුට වසර පනහක සිර දඬුවම් නියම කැරිණි.

මීට අමතරව එක් චෝදනාවකට රුපියල් දහස බැගින් දඩ නියම කළ අතර එම රුපියල් තුන්දහසක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් ද නියම කැරිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර, බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශපි‍්‍රය ගුණසේකර මහතා පැවසීමට යමක් ඇත්දැයි විත්තියෙන් විමසා සිටියේය.

එම අවස්ථාවේ නැඟී සිටි විත්තියේ නීතිඥ නලීන් වීරසිංහ මහතා ඉල්ලා සිටියේ ඔහුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසය.

“ස්වාමිනි, තමන් අතින් සිදු වූ මේ බරපතල වැරැද්ද ගැන ඔහු දැඩි ලෙස කම්පා වෙනවා. මතු කිසිම දවසක ඔහු අතින් මෙවැනි වැරැද්දක් සිදු නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මොහුගේ මව දැන් වයෝවෘද්ධයි. හැත්තෑ හැවිරිදි ඇය රැක බලා පෝෂණය කිරීමට සිටින්නේ මේ පුද්ගලයා පමණයි. එබැවින්…. මොහුගේ මේ තත්ත්වය ගැන බලා මොහුට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” ලෙසින් විත්තියේ නීතිඥවරයා ඉල්ලීමක් කළේය.

ඉන් අනතුරුව නැඟී සිටියේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අධි නීතිඥ ලක්මාලි කරුණානායක මහත්මියයි.

“අවුරුදු අටක සිඟිති දැරියක් බිහිසුනු ලෙස දුෂණය කොට ඝාතනය කළ පුද්ගලයකුට ලිහිල් දඬුවම් දෙන්න කියලා ඉල්ලනවා. දැන් සිද්ධිය ගැන සමාව ඉල්ලනවා.”

“සමාජයේ යළි මෙවැනි අපරාධ සිදු නොවීමට නම් චුදිතයාට දෙන දඬුවමින් සමාජයට ප්‍රබල පණිවිඩයක් යන්න ඕන. දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක, දෙක, තුන චෝදනා සඳහා වසර විස්ස බැගින් උපරීම සිර දඬුවම් නියම කිරීමේ බලය මහාධිකරණයට තියෙනවා. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ මේ චුදිතට දිය හැකි උපරීම දඬුවම් ලබාදෙන ලෙසයි.”

ඇය…. මහාධිකරණ විනිසුරු වරයාගෙන් කළේ එවැනි ඉල්ලීමකි.

සියලු කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරු වරයා චුදිතට වසර පනහක සිර දඬුවම් නියම කළේය. එහෙත්….. පැමිණිලි පාර්ශ්වය මෙම දඬුවමින් සෑහීමකට පත් වුයේ නැත. එබැවින් මොහුට මරණ දඬුවම ලබාදීම සඳහා නඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාමට පැමිණිලි පාර්ශ්වය සුදානම් වන බව දැනගන්නට ඇත.

සිර දඬුවමට යටත් වූ නලීන් පි‍්‍රයදර්ශන ගේ ග්‍රහණයට හසු ව දුෂණය වී මිය ගියේ දියතලාව පොලිස් වසමේ ඇල්ලගම, පාසල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරේෂිකා මලිති සත්සරණි හේරත් නම් වූ එවකට අට හැවිරිදි වියේ පසු වූ දැරියයි. මෙම ඝාතනය සිදු වුයේ දෙදහස් දහතුන වර්ෂයේ අගෝස්තු මස දහ අට වැනිදා සන්ධ්‍යාවේය.

නලීන් පි‍්‍රයදර්ශන වෘත්තියෙන් ත්‍රිරෝද රථ අලුත් වැඩියා කරන්නෙකි. විවාහක එක් දරු පියෙකි. මලිති දැරිය ඝාතනය කිරීමට වසරකට පමණ පෙර මොහු රක්ෂිත බන්ධනාගාර ගතවන්නේ තමාට පහර දුන් බවට ඔහුගේ බිරිය දියතලාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය.

මෙම පහරදීමේ සිද්ධියට පොලිසිය මොහු අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

දින දාහතරකින් පසු ඇප මත එළියට ආ මොහු වස පානය කළේය. එහෙත්…. ඔහු මිය ගියේ නැත.

සුවය ලබා නිවෙසට ආ…. නලීන් සමඟ එක වහලක් යට ජීවත් වීම බිරියට අපා දුකක් බඳු විය.

විකෘති කාමාෂාවන්ගෙන් වියරූ වැටී සිටි ඔහු සමඟ තව දුරටත් විසිය නොහැකි බැවින් ඇය සිය දරුවා ද මව ද සමඟ මොනරාගල සිටින ඥාාතිවරයකුගේ නිවෙසේ පදිංචියට ගියාය.

ඇය ගේ නික්ම යාමෙන් අනතුරුව ගිනි තබා නිවෙස විනාශ කළ නලීන් යළිත් වරක් සැර අඩු වස වර්ගයක් පානය කළේය. රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගත්තේ ගෙට ගිනි තැබීමේ චෝදනාවටය.

දින දාහතරක් බන්ධනාගාරයේ ගත කළ ඔහුට ඇප නියම වු අතර ඔහුගේ මවත් මිතුරකු වූ අමරෙත් ඇප වී ඔහු එළියට ගත්තේ දෙදහස් දහතුන වර්ෂයේ අගෝස්තු මස දෙවැනිදාය.

සිර ගෙදරින් පිට ව ආ ඔහුට නිවෙසක් නැත. බිරියත් දරුවාත් නැත. එබැවින් ඔහු මවගේ නිවෙසේ ලැඟුම් ගන්නට ගියේය.

මවගේ නිවෙසට ගොස් කා බී විවේක ගත් ඔහු ඊළඟට ගියේ සුකිරි ගේ නිවෙසටය. සුකිරි යන අනවර්ථ නාමයෙන් හඳුන්වන්නේ මලිති දැරියගේ පියාය. පෙදරේරුවකු වූ ඔහු නලීන්ගේ හොඳම මිතුරෙකි.

දින දාහතරක් හිරේ ලැග එළියට ඒමේ පී‍්‍රතිය සැමරීම සඳහා සුකිරි සිය නිවෙසේ මත්පැන් සාදයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. මත්පැන් සාදය පැවැත්වෙන අතරතුර ටිකෙන් ටික සුර් වන නලීන් මලිති දියණිය ද තුරුලට ගෙන සුරතල් කරන්නට වූ අතර ඊට ඇයගේ මවු පියන්ගෙන් කිසිම විරෝධයක් එල්ල වුයේ නැත.

ඉන් අනතුරුව නිතර නිතර සුකිරි ගේ නිවෙසට ආ නලීන් වැඩි වේලාවක් කළේ මලිති දියණිය සුරතල් කිරීමය.

මෙලෙස මලිති දැරියට දැඩි ලෙස ඇලුම් කළ නලීන් නිතර නිතරම සුකිරි ගේ නිවෙසට යාම් ඊම් කළේය. සුකිරි නිවෙසේ සිටින විට මෙන්ම නොමැති අවස්ථා වලදී ද නලීන් මෙම නිවෙසට ආගිය අතර ඔහුගේ වැඩි ආකර්ෂණය යොමුව තිබුණේ මලිති වෙතය.

පහළ ඇලේ මාලු බෑමට යද්දී ද මලිති දියණිය රැගෙන යාමට නලීන්ට හැකිවිය. ඒ….. දියණියගේ මවුපියන්ගේ අනුමැතිය මතය. දැරිය ඔඩොක්කුවේ ඉන්දවාගෙන මාලු බාන නලීන් පුංචි මලිති දැරිය යළි බාර දෙන්නේ බාගත් මාලු කූරියන් කිහිප දෙනෙකු ද සමඟය.

තදින්ම මතට හුරුව සිටි නලීන් කසිප්පු, අරක්කු පමණක් නොව ඒවා පානය කිරීමෙන් අනතුරුව දැනෙන මත් ගතිය මදිනම් මත්වෙන පෙති පවා පාවිච්චි කිරීමට ඔහු පෙළඹ වී සිටියේය.

සිද්ධිය වූ දින සවස මොහු සුකිරිගේ නිවෙසට යන්නේ දහවල් දොළහමාරේ සිට එක දිගට මත් වතුර බී මදි ටිකට මත් පෙති තුනක් ද බීමෙන් අනතුරුවය.

හොඳහැටි වෙරී වී නලීන් සුකිරිගේ නිවෙසට යන විට එහි සිටියේ මවත් දියණියත් පමණි. නලීන් සුකිරිගේ බිරියගෙන් මලිති දියණිය ඉල්ලන්නේ එදින පැවැත්වෙන පෙරහර බලා එක්කගෙන එන්නම් ලෙස පවසමිනි.

මුවින් මත්පැන් ගඳ වහනය වන කෙලින් සිටගෙන සිටින්නවත් බැරි තරමට වෙරි වී සිටි නලීන් ට මලිති දියණිය රැගෙන යාමට මව අවසර දෙන්නේ නලීන් පිළිබඳ තිබු දැඩි විශ්වාසය නිසා විය යුතුය.

එදා මලිති දැරිය දුෂණය කොට ඝාතනය කිරිමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් නලීන් පවසා තිබුණේ පෙරහර බැලීමට යැයි කියා නිවෙසින් රැගෙන ගිය දැරිය සිය මව ගේ නිවෙසට කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදු කළ බවය.

එහෙත්… එදා මලිතිගේ මව පැවසුවේ වෙනස් කතාවකි.

“දුවත් එක්ක නලීන් හරිම යාළුයි. ගෙදර ආවම දුවත් එක්ක බෝල ගහනවා. සෙල්ලම් කරනවා. එදා හවස හයට විතර අපේ ගෙදර ආවා. ඇවිත් විනාඩි පහෙන් එක්කගෙන එන්නම් කියලා දුවව එයාගේ ගෙදර එක්කගෙන ගියා.”

“දුවව එක්කගෙන ගිහින් විනාඩි දහයකුත් පහුවෙලත් ආපහු එක්කගෙන නාපු නිසා මම ලොකු දුවත් එක්ක නලීන්ගේ ගේ පැත්තට ගියා. ජනේල සේරම වහලා. පිටි පස්සේ දොර එළියෙන් ඉබ්බ දාලා තිබුණා.

“ගේ ඇතුලේ කිසිම සද්දයක් නෑ. නලීන් දුවත් එක්ක කඩේට ගියාද බලන්න මම ලොකු දුවව ගෙදර යවලා කඩේ පැත්තට ගියා. කඩේ ළමයා කිව්වා ඒ පැත්තේ ආවේ නෑ කියලා. ගෙදර ඇවිත් ආපහු ලොකු දුවත් එක්ක නලීන්ලගේ ගෙදර ගියා. ඒත් දොරවල් වහලා පස්සේ ගෙදරට වෙලා දැන් එයි දැන් එයි කියලා බල බල හිටියා.”

“රෑ හතහමාරට විතර මහත්තයා ගෙදර ආවා. විස්තරේ කිව්වම එයා නලීන්ගේ යාළුවෝ දෙන්නෙකුගේ ගෙවල් වල ගිහින් බැලුවා. ඒත් හිටියේ නෑ. අපේ පුතා කොළඹ ඉඳලා ආවා. එයාට විස්තරේ කිව්වම නංගීව පෙරහර බලන්න එක්ක යන්න ඇති කියලා හිතලා අපි ත්‍රිවිල් එකකින් ටවුමට ගියා. ඒ වෙද්දී පෙරහර ඉවර වෙලා.”

“පස්සේ මමයි පුතයි ආපහු නලීන්ගේ ගේ ළඟට ගියා. ගිහින් ජනේලයක් කඩලා පුතාව ගෙට රිංගවලා දොර ඇරවගෙන මම ඇතුලට ගිහින් බැලුවා.”

“කාමරේ එක ඇඳක දරුවා ඇඳගෙන හිටපු ඇඳුම් තිබුණා. එක සෙරෙප්පුවක් ඇඳ උඩයි අනෙක බිමයි තිබුණා. මෙට්ටෙ ලේ තිබුණා. නලීන් ඇඳගෙන හිටපු ඇඳුම් රෝල් වෙන්න ගලවලා අනිත් ඇඳේ දාලා තිබුණා.”

“බුදු අම්මෝ මගේ දරුවා මරලා දාලා කියලා මම කෑ ගහද්දී ගමේ අයත් ගේ ඇතුලට දුවගෙන ආවා.”

එදා…. මලිති දියණිය ගේ මව එලෙස සිද්ධිය විස්තර කළාය.

ඒ වන විට දැරියගේ පියා දැරියගේ අතුරුදන් වීම ගැන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ…. මොහොතේම ක්‍රියාත්මක වූ පොලිසිය ගම්මුන්ගේ ද සහාය ඇතිව ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

පැය දෙකක් පමණ සිදුකළ මෙහෙයුමේදී නලීන්ගේ නිවෙසේ සිට මීටර් දෙසීයක් පමණ එපිටින් පිහිටි කුඹුරක මඩුවේ තිබී දැරියගේ නිරුවත් මළ සිරුර හමුවිය. සිරුර පුරා සපා කෑ පහරවල් දක්නට ලැබුණ අතර ලිංගික ප්‍රදේශය ලෙයින් තෙත්ව තිබිණි.

මෙම පරීක්ෂණ සඳහා බදුල්ල අපරාධ නිල සුනඛ “ෂැඩෝ” ද කැඳ වූ අතර මළ සිරුර අසල ඉවකළ ෂැඩෝ කැලෑව මැදින් නගරයට පිවිස බස් නැවතුම අසලට ගොස් නතර විය. ඒ අනුව පොලිසියේ නිගමනය වුයේ සැකකරු බසයක නැගී ප්‍රදේශය හැර පලා ගිය බවය.

එවකට ඌව පළාත භාරව සිටියේ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු වන අතර දියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වුයේ තිළිණ හෙට්ටිආරච්චිය.

නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ද උපදෙස් මත නලීන් සොයා මෙහෙයුම් දියත් කළ තිළිණ ඇතුලු කණ්ඩායමට දැනගන්නට ලැබුණේ නලීන් කතරගමට ගොස් ඇති බවය.

මොහු ඇල්ලීම සඳහා කතරගමට කණ්ඩායමක් පිටත් කර යැවු නමුත් ඔහු යළි දියතලාවට පැමිණ සිටින බවට පසුව තොරතුරු ලැබිණි.

ඒ තොරතුරු වලට අනුව පොලිසිය නලීන් අත්අඩංගුවට ගත්තේ දියතලාව, ජයමිණිපුර පදිංචි අමරේ නමැති පුද්ගලයාගේ නිවෙසේ සිටියදීය.

පොලිසිය එම නිවෙසට යන විට නලීන් ආහාර ගනිමින් සිටි අතර පොලිසිය දුටු වහාම ඔහු කෑම පිඟාන විසිකර දමා පැනයන්නට උත්සාහ කළේය. පොලිස් කණ්ඩායම ඔහු පසු පස පන්නාගෙන ගොස් අල්ලා ගන්නට සැරසෙද්දී ඔහු වස කුප්පියක් ගෙන පානය කිරීමට සැරසුණේය.

පොලිස් කණ්ඩායම ඔහුට වස පානය කිරීමට ඉඩ නොදී දෑත්වලට මාංචු දැම්මේය. පොලිසියට කොටු වූ ඔහු මලිති දැරිය රැගෙන ගොස් දුෂණය කොට මරා දැමු අයුරු විස්තර කර තිබුණේ මෙලෙසය.

“පෙරහැර බලන්න එක්ක යනවා කියලා මම ළමයව අරගෙන ගියේ අපේ ගෙදර. එදා කවුරුත් ගෙදර හිටියේ නෑ. මම ළමයව කාමරේට එක්කගෙන ගිහින් ඇඳේ වාඩි කරගෙන කතා කර කර හිටියා. ඒ අතරේ මම ළමයාගේ ඇඟ අත ගෑවා. ළමයා ඒකට විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ. පස්සේ මම ළමයව ඇඳේ පෙරලගත්තා.”

“ටිකකින් බලද්දී ළමයට සිහි නැතිවෙලා. මම නැගිටලා ළමයගේ මුණට වතුර ඉහලා බැලුවා. ඒත්… ළමයා මැරිලා කියලා මට හිතුණා. ඒ වෙද්දී හොඳටම කළුවර වෙලා.”

“මම ළමයව කරේ තියාගෙන ටොයිලට් එක ළඟින් පහළට ගිහින් වැටෙන් පැනලා පහළ කුඹුරේ පැලට අරගෙන ගිහින් මැස්ස උඩින් තිබ්බා. වෙච්ච දේ වෙලා ඉවර නිසා මම ආපහු ළමයත් එක්ක මට ඕන දේවල් කරගත්තා.”

“පස්සේ ළමයගේ මිනිය බිම දාලා පෝර උරෙන් වහළා පහළට දිව්වා. බාර් එක ළඟ සෙනඟ හිටපු නිසා බියර් එකක්වත් බොන්න බැරි වුණා. බස් ස්ටෑන්ඩ් එකට ගිහින් බදුලු බස් එකකින් බණ්ඩාරවෙලට ගිහින් එතැනින් බස් එකක නැගලා කතරගමට ගියා.”

“මගේ අතේ සල්ලි තිබුණේ නෑ. ටෙලිෆෝන් පෙට්ටියකින් ගෙදරට කෝල් කළාම පොලිසියෙන් මාව හොයනවා කියලා කිව්වා. ඒත්…. කතරගමට වෙලා ඉන්න අතේ සල්ලි නැති නිසා ආපහු දියතලාවට ආවා.”

“ඇවිත් ජයමිණිපුර අමරගේ ගෙදරට ගියා. අමරෙ හිටියේ නෑ. පවුලගෙන් සල්ලි ඉල්ලුවා. ලැබුණේ නෑ. මම හොඳටම බඩගිනි වෙලා හිටියේ. කෑම ටිකක් ඉල්ලගෙන කකා ඉන්දෙද්දී තමයි පොලිසියෙන් ඇවිත් මාව අල්ල ගත්තේ.”

මලිති දැරිය දුෂණය කොට මරා දමා පැන ගිය නලීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ එලෙසය.

මලිති දියණියගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුයේ ලිංගික ප්‍රදේශයට සිදු වූ බරපතල මාරාන්තික තුවාල හේතුවෙන් ඇය මිය ගිය බවයි.

මෙලෙස මිය ගිය මලිති දැරිය ඇල්ලගම මහ විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇය පන්තියේ සිටි අහිංසක මෙන්ම දක්ෂ දැරියක වුවාය.

සිය නොසංසිඳුන කාමාෂාවන් සංතර්පනය කර ගැනීම සඳහා මලිති දැරිය පාවිච්චි කළ නලීන්ට වසර හතරක් ගෙවී යද්දී වසර පනහක සිර දඬුවමකට යටත් විය.

ඔහුට මරණ දඬුවම හිමි නොවුයේ මොහු ඇය මරා දමා නොතිබීම නිසාය. එහෙත්…. ඇය මිය ගියේ ඔහුගේ ක්‍රියාවන් නිසා ඔහුට එල්ල වූ චෝදනාව වුයේ සාවධ්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයයි.

කෙසේ හෝ ඔහුට දඬුවම් අවසන් කර එළියට ඒමට හැකි වන්නේ තව වසර පනහකට පසුවය. එනම්…. ඔහුට වයස අවුරුදු අනුහයක් සපිරෙද්දීය. ඔහු එපමණ කාලක් ජීවත්ව සිටිය හොත් හිරගෙදරින් එළියට එන්නේ කිසිවක් කර කියා ගත නොහැකි මහල්ලෙකි.

“කරන කලට පව් මිහිරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”

යන කියමනට අනුව වසර හතරකට පෙර කළ පව අද ඔහුට පමණක් නොව ඔහුගේ මවට ද පලදී අවසානය. ලෝක ධර්මතාවට අනුව ඒවා ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුය.

තක්ෂිලා ජයසේකර – දිනමිණ

Check Also

ඔසප් රුධිරය දැක මිස් බැනපු නිසා ජීවිතය නැතිකරගෙන

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!